
ගීත්මා, ‘මා’ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
‘මා’ ටෙලි නාට්‍යය පටන්ගනිද්දිම ඒ ගැන සමාජය ලොකුවට කතාකරන්න පටන්ගත්තා, හොඳ ප්‍රතිචාර ලැබෙන්න පටන්ගත්තා. එහි පිටපත, අධ්‍යක්‍ෂ වගේම රංගන ශිල්පීන් ශිල්පිනියන් ඒ හැම දේකම ලොකු- වෙනසක් වෙලා තියෙනව. ඒ වගේම අපි පෞද්ගලිකවත් දැක්කා සමාජමාධ්‍ය තුළ මේ ගැන කතා වෙනව.
ඔබට කොහොමද මේ අවස්ථාව ලැබෙන්නෙ?
මේ සඳහා සම්බන්ධ වෙන්න කියල මට ආරාධනා කරන්නෙ නිර්මාණයේ අධ්‍යක්‍ෂ ඉරේෂ් ලොකුබණ්ඩාර මහත්මයා. මම එතුමාගේ කලින් නිර්මාණයකත් වැඩකරල තියෙනව. ආරාධනය කරන මොහොතෙ එතුමා මට කිව්වා මේක මහේෂ් රත්සර මද්දුමආරච්චිගෙ වැඩක් කියල. පසුගිය කාලෙ මහේෂ් අයියගෙ හැම වැඩක්ම වගේ සුපර් හිට් එකක් වුණා. ඒකත් එක්ක හරිම ආසාවෙන් තමයි මම මේ වැඩේට සම්බන්ධ වුණේ. මහේෂ් අයිය හැම චරිතයක් ගැනම පෞද්ගලිකව හොයල බලල හදාගන්න ඕන තැන් ගැන හොඳ ගයිඩ් එකක් දෙනව.
මම ගත්ත තීරණ වැරදුනේ නැහැ - ගීත්මා බණ්ඩාර
ගීත්මා චමත්කාව දකින්නෙ මොන විදිහටද?
චමත්කා කියන්නෙ වතු නිවාස ආශ්‍රිතව හැදිල වැඩිල ඒ තුළ අසාධාරණයට ලක්වෙන තමන්ගෙම මිනිස්සු වෙනුවෙන් කතාකරන පෙරළිකාර චරිතයක්. රසිකයො ගොඩක් වෙලාවට මාව දැකල තියෙන්නෙ හුරතල්, දඟ චරිතවලින්නෙ. ඒකත් එක්ක මේ චරිතය මටත් පොඩි වෙනසක්.
ඔබ කොහොම ද මේ චරිතය වෙනුවෙන් හැඩගැහෙන්නෙ?
ඒ මිනිස්සුත් එක්කම ඔවුන්ගේ ජීවිතේට බැහැල, ඔවුන් කරන කියන දේවල් බලාගෙන, ගොඩක් දේවල් ඉගෙනගෙන තමයි නිර්මාණයේදි මම ඒ චරිතය තුළ ජීවත් වෙන්නෙ.
මම ගත්ත තීරණ වැරදුනේ නැහැ - ගීත්මා බණ්ඩාර
චරිතය ගැන ඔබට ආරාධනය කළ අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රතිචාරය?
අධ්‍යක්‍ෂවරයා මට කතාකරපු ගමන් කිව්වෙ ගීත්මා ඔයා හුරතල්, නමුත් මේ චරිතයෙදි හුරතල් වෙන්න එපා කියල වගේම ඇත්ත ජීවිතේ ඔයා සහ මේ නිර්මාණයේ ඉන්න ඔයා අතර වෙනස මිනිස්සුන්ට දැනෙන්න ඕන කියල. එයා අදටත් හැම සීන් එකකම පුංචිම දේවල් පවා මෙහෙම හදාගන්න කියල අපිට කියනව.
වෙනත් නිර්මාණ මොනවද?
අලුතින් චිත්‍රපට දෙකක රූගතකිරීම් කටයුතු සිදුකිරීමට නියමිතව තියෙනව. ඒ වගේම ‘කල්පනා’ චිත්‍රපටයේ අවසාන අදියරේ රූගතකිරීම් කටයුතු මේ දිනවල සිදුවෙනව. ඊට අමතරව ‘සංගීතේ’ ටෙලි නාට්‍යයේ රූගතකිරීම් සිදුකරනව.
‘සංගීතේ’ ඔබේ ජීවිතයට මොන වගේ වෙනසක්ද සිදුකළේ?
‘සංගීතේ’ කියන්නෙ මගේ ජීවිතය වෙනස් කරපු තැන. මගේ වටේ ගොඩක් ප්‍රේක්‍ෂකයො එකතුවෙලා මට ආදරය කරන්න පටන්ගත්තෙ සහ ගීත්මා බණ්ඩාර කියන නම කලා ක්‍ෂේත්‍රය තුළ ස්ථාපිත වුණේ ‘සංගීතේ’ නිසා. මගේ ජීවිතේ වෙනස්කරපු තැන කිව්වොත් හරි.
බොහෝ දෙනෙක් ආදරය කරන්නෙ ගීත්මාගේ රූපයට?
ඇත්තටම සතුටුයි ඒ ගැන. නමුත් මගේ පෙනුම හදාගන්න මම මුකුත් කරල නැහැ.
අසෙනිගෙ චරිතය නොලැබුණා නම් ගීත්මා අද මොනව කරයිද?
මම සංගීතේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ උසස් පෙළ කරන කාලෙ. උසස් පෙළින් පස්සෙ මම කාලයක්ම ඉගෙනීම අතහැරියා. අවසානයේ විවෘත විශ්ව විද්‍යාලයේ සයිකොලොජි හදාරන්න පටන්ගත්තා. ෂූටිං කරන්න බැරි නිසා ඒකත් නවත්තනන සිදු වුණා. සංගීතේ, අසෙනිව හම්බවුණේ නැතිනම් මම ඉගෙනීම පැත්තෙන් ගොඩක් ඉස්සරහට ගිහින් තියෙයි.
මේ වන විට ඔබ වෘත්තීයමය රංගන ශිල්පිනියක්?
ඔව්, මගේ වෘත්තිය රංගනය කියන තැන හැමදාමත් මම හිටියා. ඒ නිසා රංගනයට තමයි මම මුල් තැන දීල තියෙන්නෙ. ඊට අමතරව මගේ ව්‍යාපාර කටයුතු කරගෙන ඉන්නව.
රංගනය කියන්නෙ ඔබේ හීනයක්ද?
නැහැ. මට තිබුණෙ කාලෙන් කාලෙට වෙනස්වෙන හීන. රංගන ශිල්පිනියක් වීම කියන්නෙ අහම්බයක්.
ඔබේ ජීවිතයේ තීරණ ගත්තෙ දෙමව්පියන්ද?
නැහැ, මගේ ජීවිතයේ ගොඩක් තීරණ ගත්තෙ මම මයි. කොහොම හරි මේ දේ කරනවා කියන තැන ඉඳන් තමයි මම ඒ තීරණ ගත්තෙ. මම හිතන්නෙ වාසනාවත් ඒ හැම දේකටම බලපාන්න ඇති. මේ වනතුරු මම ගත්ත තීරණ නිසා මම අද හොඳ තැනක ඉන්නව.
සිනමාවේ අත්දැකීම මොන වගේද?
මගේ පළමු වැනි සිනමා නිර්මාණය තමයි ‘කල්පනා’ කියන්නෙ. ඒ අත්දැකීම ගත්තොත් ඇත්තටම හරි සුන්දරයි.
රංගන ක්‍ෂේත්‍රය ගැන අදහස මොන වගේද?
ලංකාව කියන්නෙ හැමදාමත් දියුණු වෙන රටක් වගේම රංගන ක්‍ෂේත්‍රයත් ඒ වගේම තමයි. නමුත් මේ ක්‍ෂේත්‍රයේ මහා ලොකු වෙනස්කම් කරන්න ඕන නැහැ. තියෙන දේවල් රැකගෙන, යන දවසට තමන්ගෙන් දෙයක් කලාවට ඉතිරිකරල යනව නම් ඒක තමයි වටිනාම දේ.
ගීත්මාට චිත්‍ර අඳින්නත් පුළුවන්?
ඔව්, චිත්‍ර කලාව සම්බන්ධයෙන් යම්කිසි හැකියාවක් මට තියෙනව. ඒක උපයෝගී කරගෙන තමයි මම මගේ බතික් ව්‍යාපාරය පටන්ගත්තෙ.
මහේෂ් එදිරිසිංහ
