
මේ දිනවල ඔබ ගැන වැඩියෙන්ම කතාබහට ලක්වෙන්නේ මාස්ටර් සර් ටෙලි නිර්මාණයත් එක්ක. කොහොමද ඊට අවස්ථාව ලැබෙන්නේ?
මාස්ටර් සර් කියන්නේ උසස් පෙළ ටියුෂන් පන්තියක් වටා ගෙතුණු ගුරු ගෝල සම්බන්ධතාවක් ගැන කියවෙන අපූරු කතාවක්. අෂිනිගේ හොඳම යාළුවා තමාෂාගේ චරිතයට මං සම්බන්ධ වෙන්නේ තිර පරීක්ෂණයක් හරහා. වීඩියෝ එකක් කරලා එවන්න කියලා මේ චරිතය ගැන මාව දැනුම්වත් කළේ නිෂ්පාදන සම්බන්ධීකරණ ලෙස කටයුතු කරන මනුල අයියා. ඒ වගේම මාස්ටර් සර් අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන අයියත් විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන. සම්මානනීය අධ්‍යක්ෂවරයෙක් විදිහට ආධුනික අපට හරිම නිහතමානීව සැලකීමම ගොඩක් වටිනවා. ළඟටම ඇවිත් “මේක මෙහෙම වුණා නම් හොඳයි නේද නංගී“ කියලා දැනුවත් කරලා අපේ ඔළුවෙ බරක් නැතුව රඟපාන්න අවශ්‍ය පරිසරය හදලා දෙනවා. සහාය අධ්‍යක්ෂ අනුල අයියා, කැමරාවෙන් සහාය වුණු නඳුන් අයියා, සංස්කරණයෙන් ගයාන් වගේම ලස්සන තිරපිටපතක් රචනා කළ කාවිංග මලවිආරච්චි අයියා ඇතුළු මුළු කණ්ඩායමටම ස්තුතිවන්ත වෙන්නත් මම මේක අවස්ථාවක් කර ගන්නවා.
තමාෂා කියන්නේ මොන වගේ අත්දැකීමක්ද ?
තමාෂා කියන්නේ අෂිනිගේ හොඳම යාළුවා. අෂිනි කියන්නේ හිතුවක්කාර, ආදරය ගැන කිසිම දැනුමක් නැතුව ආදරේ කරන කෙනෙක්. ඇය ආදරය කරන්නේ තමන්ගේ ගුරුවරයාට. තමාෂා නිතරම උත්සාහ කරන්නේ ගුරුවරයෙකුට ආදරය කරන එක යෙහෙළියට ගැළපෙන වැඩක් නෙවෙයි කියලා ඒත්තු ගන්වලා ඇයව ඒකෙන් මුදව ගන්න. තමාෂා කියන්නේ හොඳ යාළුවෙක්.
තමාෂාට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?
තමාෂා තමයි මාව ප්‍රේක්ෂකයින් අතරට අරගෙන ගියේ. දැන් දැන් මඟතොටේදි වුණත් ප්‍රේක්ෂකයින් හමුවුණාම කතා කරනවා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේක මගේ තුන්වැනි ටෙලි නිර්මාණය. මීට කලින් මාව දැනගෙන හිටියෙ නැති ප්‍රේක්ෂකයින් පවා මාස්ටර් සර් නිසා මං ගැන කතා කරන්න පටන් අරන්.
මහේෂිගේ කලා ක්ෂේත්‍රයට පිවිසීම ගැන සඳහන් කළොත්?
රංගනයට තියෙන ආසාව නිසා මං 2021 වසරේ ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය තරගයට අයදුම් කරලා දෙවැනි ස්ථානය ලබාගන්නවා. එහිදී ‘සුන්දරම සිනහව‘ට මිණි කිරුළ හිමිවෙන්නෙත් මට. ඒත් එක්කම මට රංගනය හැදෑරීමේ උනන්දුවක් ඇති වුණා. මුලින්ම මං වීණාවී රංගන පාසලට ඇතුළත් වෙලා රංගනය ගැන හැදෑරීමක් කළා. ඊට පස්සේ මට රංගනයට ආරාධනා ලැබුණා. මුලින්ම බයෝ ටෙලි නිර්මාණයට සම්බන්ධ වුණේ. මුල්ම අත්දැකීමට තිබුණේ එකම එක දෙබසයි. ඒක ලොකුවටම ගිය චරිතයක් නොවුණත් අභියෝග මැද්දේ ඒ ලද අත්දැකීමත් මට ලොකු පන්නරයක් වුණා. ඊටත් පස්සේ ශාන් ජයරත්නගේ මේන් කැරැක්ටර් ටෙලි නිර්මාණයේ නිරාෂා ලෙසින් සම්බන්ධ වුණා. ඒකත් ප්‍රධාන චරිතයේ හොඳම යාළුවාගේ චරිතය. මාස්ටර් සර් නිසා තමයි ගොඩක්ම ප්‍රේක්ෂකයින් අතරට යන්න අවස්ථාව ලැබුණේ. මාස්ටර් සර් මෙගා නාට්‍යයක් වීමත් ඒකට හේතු වෙන්න ඇති කියලා හිතනවා.
ඔබ මියුසික් වීඩියෝ කලාවෙත් දස්කම් පානවා නේද?
ඔව්. මේ වෙද්දි මියුසික් වීඩියෝ දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා. එකක් මේ ළඟදි රිලීස් වුණා. අනෙක් එකත් ඉතාම ඉක්මනින් රිලීස් වීමට නියමිතයි. ඒ වගේම අලුත් ටෙලි නාට්‍යයකටත් ආරාධනා ලැබිලා තියෙනවා.
ඔබේ ගමනට පවුලෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
මේක මගේ උත්සාහයෙන්, කැපවීමෙන් ආව ගමනක්. මට ඉන්නේ අම්මයි තාත්තයි විතරයි. එයාලාගේ සහයෝගයෙන් තමයි මං මේ තාක් දුර ආවේ. ඒ වගේම මගේ ප්‍රේමවන්තයාත් විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන. මවුපියන් වගේම ඔහුත් මට ගොඩක් ලොකු සහයෝගයක් දෙනවා. ඔහු කලාවට සම්බන්ධ නැති කෙනෙක් වුණත් හැමදේම හොයලා බලලා උදවු කරනවා. කලා ක්ෂේත්‍රයේ දී එහෙම සහායක් නැතුව මේ ගමන යන්න අමාරුයි. ඒ සහාය අත්‍යාවශ්‍යයි කියලයි මට හිතෙන්නේ. ගෙදරින් වගේම ඔහුගේ සහයෝගයත් මට උපරිමයෙන්ම ලැබෙනවා. ඒ අතින් මං හරි වාසනාවන්තයි.
