රංගනය කියන්නේ හැදෑරීමක් - ඩිලුශි එරන්දිකා

gossiplanka image 2
ඩිලුශි එරන්දිකා අබේරත්න රංගන ක්ෂේත්‍රයට පා තැබූ නවක රංගන ශිල්පිනියකි. ඇය අපට දෙරණ නාළිකාවේ “අම්මා වගේ” ටෙලි නාට්‍යයෙන් සේම “වර්ෂා” ටෙලි සිනමා සිත්තමෙන්ද මුණ ගැසෙන්නීය.


ඩිලුශි කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ කොහොමද ?


පාසල් කාලේ මං වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. රංගනයට එන්න මට අවස්ථාව ලැබුණේ මගේ මල්ලි නිසා. එයා ශේනු නවාංජන. දෙරණ මාධ්‍ය ජාලයේ හඬ කැවීම්වලට සහ නාට්‍යවලට ඔහු සම්බන්ධ වෙනවා. මල්ලිට නාට්‍ය හා රංග කලාව උගන්වන ගුරුවරිය තනුජාවී විජේවික්‍රම. මමත් ඇය යටතේ නාට්‍ය හා රංග කලාව ඉගෙන ගන්න යොමු වුණා. ඒ හරහා මට ‘අම්මා වගේ‘ ටෙලි නාට්‍යයේ නිමාදිගේ චරිතය කරන්න අවස්ථාව ලැබුණා. ඒක මගේ පළවෙනි ටෙලි නාට්‍ය. මේ වන විට මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුද්දක් විතර වෙනවා.


රංගනයට එන්න පෙර ඔබ කලා කටයුතුවල නියැළිලා තියෙනවද ?


මම යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය නාළිකාවල වෙළඳ ප්‍රවර්ධන වීඩියෝවලට පෙනී සිටියා. ඊට පස්සේ රූපවාහිනී වෙළඳ දැන්වීම් වලට සම්බන්ධ වුණා. පසුගිය අලුත් අවුරුදු දා විකාශය වුණු “වර්ෂා” ටෙලි සිනමා සිත්තමට මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබීම ලොකු ජයග්‍රහණයක්. ඒ නිර්මාණය සඳහා මට ආරාධනා කළේ ගයත්‍රී හීනටිගල මිස්. ඒක මගේ ජීවිතේ වෙනස්ම අලුත් අත්දැකීමක්. ශර්මිලා ධර්මරාසා ෆොන්සේකා මහත්මිය යටතේ වැඩ කරන්න ලැබීම මට ලැබුණු වටිනා අවස්ථාවක්.


ඩිලුශි මේ තාක් කල් ඔබ කලා ක්ෂේත්‍රයෙන් ලබපු අත්දැකීම් එක්ක රංගනය ගැන ඔබේ අදහස ?


වෙළඳ දැන්වීම් රංගනයට වඩා ටෙලි නාට්‍ය සඳහා කරන රංගනය හාත්පසින්ම වෙනස්. මුලින්ම කැමරාවක් ඉස්සරහ කොහොමද ඉන්න ඕන කියන තැන ඉඳලා හැමදේම පැහැදිලිව කියලා දුන්නේ කැමරා අධ්‍යක්ෂ මයුර කාරියවසම් සර්. ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් මට බොහොම දේවල් ඉගෙන ගන්න ලැබුණා. ‍රංගනය කියන්නේ හැදෑරීමත් එක්ක කරන්න ඕන දෙයක් කියලා මම විශ්වාස කරනවා.


ඉදිරියේදී ඔබ එක් වෙන අලුත් නිර්මාණ තියෙනවද ?


ඔව්, අලුත් ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුත් එක්ක මට මඟ හැරුණු අවස්ථාත් ගොඩක් තියෙනවා. මම ආසයි ඉස්සරහට ගැමි චරිතයක් කරන්න. ඒ අවස්ථාවත් මට දවසක ලැබෙයි කියලා හිතනවා.


පවුලේ විස්තර ගැනත් කියමු?


මට ඉන්නේ අම්මයි තාත්තයි, නංගිලා දෙන්නයි මල්ලියි.


අනාගතයේදී රංගනය ඔබේ ප්‍රධාන වෘත්තීය වශයෙන් තෝරා ගන්නවාද ?


මම කැමැති මනෝ වෛද්‍යවරියක් වෙන්න. ඒත් එක්ක කලා කටයුතුවලින් ඉදිරියට යන්න ලොකු ආසාවක් තියෙනවා.

gossiplanka image 1
Previous Post Next Post