ඇත්තම කතාව මම මොඩ්ල් කෙනෙක් නෙවෙයි රංගන ශිල්පියෙක් - චමීර ලියනගේ

gossiplanka image 2
අද සමාජයේ ජීවත් වන සැබෑම චරිත ඇදහිය නොහැකි අයුරින් නිර්මාණය තුළට ගෙන එන්නට ‘ඉරගිනි මද්දහන’ ටෙලි නිර්මාණයේ රංගන ශිල්පීන් සමත්වී ඇති බව අතිශයෝක්තියක් නොවේ. ඔවුන් මේ කරන්නේ රංගනයක්දැයි සැක සිතෙන තරමටම ඔවුන් එම චරිතවලට අනුගත වී සිටින බව ද නොකියාම බැරිය. එහි ප්‍රධාන භූමිකාවක් වන මහතුන්ගේ චරිතයට පණ පොවන චමීර ලියනගේ රංගනයේ සියුම් භාවයන් මනාව පිළිබිඹු කරන දක්ෂ රංගන ශිල්පියකි. ‘රන්තිලිවැව, කෝලම්කුට්ටම’ ටෙලි නිර්මාණ එය මනාව පැහැදිලි කරයි. අද අපේ කතාබහ ඔහු සමඟිනි.


 චමීර මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා නේද?


ඔව්. ‘යකඩ මනමාලී’ චිත්‍රපටය නිසා මාසයක් එකදිගටම හිටියේ ගල්ගමුවේ. අප්‍රේල් 12 ෂූටින් ඉවර කරලම තමයි ගෙදර ආවේ. මේ දවස්වල මගේ අයියා ලංකාවට ඇවිත් ඉන්න නිසා පොඩ්ඩක් ගමන් බිමන් වැඩි වෙලා.


 ‘යකඩ මනමාලි’ මොන වගේ අත්දැකීමක්ද?


සුමින්ද කියන චරිතය මට වෙනස්ම අත්දැකීමක් වුණා. අලියා ගහලා බිරිය නැතිවුණු දරුවෝ දෙන්නෙක් එක්ක තනිවුණු තරුණ සැමියෙක්. මේක මිනිස්සුන්ට හදවතට දැනෙන කතාවක් වේවි කියලා හිතනවා. ඒ ලස්සන තිරපිටපත වගේම අධ්‍යක්ෂණයත් ජගත් ආනන්දගේ.


 චමීර විවාහ වෙලා කියලා මේ දවස්වල ෂෙයාර් වෙන ඡායාරූප පෙළේ කතාව මොකක්ද?


ඒක මේ ෆොටෝ ෂූට් එකක්. ගොඩක් දෙනෙක් ෆොටෝ ෂූට් කරලා හයිලයිට් කරන්න විවිධාකාර කැප්ෂන් දානවා. අපිට බොරු කියන්න බැරි නිසා අපි මොනවත් නොකියා දැම්මා. ගොඩක් දෙනා කමෙන්ට් කරලා බණිනවා. කසාද බැන්ද ද අපිට කිව්වෙවත් නෑ කියලා. ඇත්තම කතාව මම මොඩ්ල් කෙනෙක් නෙවෙයි. මම රංගන ශිල්පියෙක්. වැඩිය ෆොටෝ ෂූට් කරන්නෙත් නෑ. නයෝමියි මායි ‘රන්තිලිවැව’ එකට හිටිය නිසායි මං මේකට කැමැති වුණේ. රන්තිලිවැව මතක් වෙනවා කියලා ගොඩක් අය කමෙන්ට්ස් දාලා තිබුණා.


 ‘ඉරගිනි මද්දහනේ’ මහතුන් වෙන්න ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ?


ඒක ගැන නම් කියන්නම ඕන. පුදුමාකාර විදිහට ප්‍රතිචාර ලැ‍බෙන චරිතයක්. මේ දවස්වල වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹන සති අන්ත ටෙලි නාට්‍යය ‘ඉරගිනි මද්දහන’ කිව්වත් හරි. ලලිත් රෝහිත අයියට වගේම තරංගා දිසානායක අක්කටත් ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා මාව මේකට සම්බන්ධ කරගැනීම පිළිබඳව. නිෂ්පාදක කැලුම් අයියා වගේම කැමරා අධ්‍යක්ෂ බුද්ධික අයියත් මතක් කරන්න ඕන. මහතුන් මිනිස්සුන්ට ගොඩක් දැනෙනවා කියන්නේ මං ඒක හරියටම කරලා කියන එකනේ. ඒක ලොකු සතුටක්.


 චමීර පියෙකුගේ භූමිකාවට පණ පොවන පළමු අවස්ථාව මේක නේද?


ඔව්. මං තාම කසාද බැඳලවත් දරුවො හදලවත් නම් නෑ. අපි මේ දේවල් ගන්නේ සමාජ ආශ්‍රයෙන්මයි. මොකද අපි මේ නිරූපණය කරන්නේ මේ සමාජයේම ජිවත්වන චරිත. සමාජ ඇසුරත් එක්ක අපිට ලැබෙන දේවල්වලින් තමයි අපි අපේ චරිත සාර්ථක කරගන්නේ. මහතුන් සාර්ථක වුණේ ඒ සාධකත් එක්ක.


 තාත්තලට නින්ද ගියොත් දුවලා අතරමං වෙනවලු“ කියන දෙබස බොහෝ පියවරුන් නින්දෙන් අවදි කරන්නට සමත්වෙලා තියෙනවා නේද?


තිරපිටපතේ තියෙන දේ කිව්වට, කළාට ඇත්තටම අපිට ඒ වෙලාවේ ඒක එතරම්ම දැනෙන්නෙ නෑ, මිනිස්සු ඒක බලලා දාන කමෙන්ට් දැක්කම තමයි තේරෙන්නෙ දෙයියනේ මේක ඇත්තම කතාවක් නේද කියලා. ඒකට දාල තියෙන කමෙන්ට් දැක්කම තමයි දැනුණේ “තාත්තලට නින්ද ගියොත් දුවලා අතරමං වෙනවලු“ කියන කතාව මිනිස්සුන්ට කොතරම් දැනිලා තියෙනව ද කියලා. අපි චරිතයක් ඔස්සේ කරන, කියන දේවල් තව කෙනෙක් සැබෑ ජීවිතේ මොන වෙලාවකදි හරි අත්විඳපු දෙයක් වෙන්න පුළුවන්. එහෙම වුණහම මිනිස්සුන්ට ඒක දැනෙනවා වැඩියි. සමන්තට මේ දවස්වල බණින බැණිල්ල දැක්කම හිතෙනවා ප්‍රේක්ෂකයෝ මේ නාට්‍ය තමන්ගේ ජීවිතේම කරගෙන කියලා.


 මහතුන්ට ලැබෙන සජිවී ප්‍රතිචාර ගැන කතා කළොත්?


ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. “ඔයා මහතුන් නේද?“ අහනවා. “මේ ඔයා ද ඉන්නෙ“ කියලා ගොඩක් අය අහනවා. මං “ඔව්“ කිව්වම “අනේ ඔයා වෙනස්නේ“ කියනවා. දැනටම ලැබෙන කමෙන්ට්ස් දැක්කම ඉතිරි කොටස් ටික ප්‍රේක්ෂකයින් කොහොම වැලඳ ගනී ද, කොහොම ප්‍රතිචාර දක්වයි ද කියලා හිතාගන්නවත් බෑ. ඉදිරි කොටස් ටික අනිවාර්යයෙන්ම බලන්න කියලත් මං ආරාධනා කරනවා.


 චමීරට සතුටු වෙන්න පුළුවන් රංගන අවස්ථා මේ වෙද්දිත් ලැබිලා තියෙනවා නේද?


ඇත්තටම. මේ තාක් කළ හැම චරිතයකටම මිනිස්සුන්ගේ හිතේ මට ඉඩක් ලැබීම ගැන ගොඩක් සතුටුයි. ඔබ හිතන්නෙවත් නැති චරිතවලින් ඉදිරියේදී මාව දකින්න ලැබේවි. ශලිනි තාරකා සමඟ රංගනයෙන් දායක වෙන


‘වීදුරු‘ තිර ටෙලි නිර්මාණයත් ඉක්මනින්ම විකාශය වේවි. ඒක ශලිනිගේම සංකල්පයක්. තිරපිටපත ගයනි අශිංසලාගේ. ශාන් ජයරත්නගේ අධ්‍යක්ෂණයක්. ලංකාවේ මෙතෙක් සිදුනොවුණු ලස්සන වෙනසක් ඇති කරාවි කියලා හිතනවා. තව ටෙලි නිර්මාණ දෙක තුනකට වගේම චිත්‍රපටයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ලක්ෂ්මන් පුෂ්පකුමාර අයියාගේ ‘මීදුම් තරණය‘ චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඒ වගේම රනිල් කුලසිංහ සහ ගයාන් දිනේෂ් පෙරේරාගේ අලුත්ම වැඩකට සම්බන්ධ වෙනවා. ඒකනම් කවුරුත්ම නොහිතන කතාවක්. පහුගිය දවස්වල චිත්‍රපටවලට වැඩි නැඹුරුවක් තිබුණා කිව්වත් හරි. ඉදිරියේදී වේදිකාවට සම්බන්ධ වෙන්නත් කැමැත්තක් තියෙනවා.


 රසිකයින් කැමැත්තෙන් ඇති ඔබේ පෞද්ගලික තොරතුරු දැන ගන්න?


අපේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අයියයි, අක්කයි, මල්ලියි, මමයි. හරි ලස්සන පවුලක්. අක්කා විවාහ වෙලා. අයියා ඉන්නෙ විදෙස්ගත වෙලා. මේ දවස්වල එක අරමුණක හිත පිහිටුවාගෙන වැඩක් කරගෙන යන ගමන් නිසා දැනට ආදරය, විවාහය ගැන නම් අදහසක් නැහැ.

gossiplanka image 1
Previous Post Next Post