
ඉමායා කොහොමද ඉතිං? දැන් පදිංචිය ඉතාලියේ ද?
ජීවිතය හොඳින් සතුටින් ගෙවිලා යනවා. මේ දවස්වල ජීවිතය හරිම කාර්යබහුලයි. දැන් ස්ථිර පදිංචිය ඉතාලියේ මිලානෝ නගරයේ.
ඇයි මේ ලංකාව දාලා ගියේ?
ලංකාව දාලා ගියා නෙමෙයි. විවාහයත් එක්ක තමයි මම විදෙස්ගත වෙන්නේ. 20019 දෙසැම්බර් මාසයේ තමයි මම විවාහ වෙන්නේ. මගේ සැමියා අවුරුදු දොළහක් විතර ඉතාලියේ තමයි සේවය කරන්නේ. විවාහයෙන් පසුව මමයි මහත්තයයි දෙතැනක ඉන්න ඕනෙ නෑ කියලා තීරණය කළාට පස්සේ තමයි ලංකාව දාලා විදෙස් ගත වුණේ.
ඉමායාගෙන් අලුත් වැඩක්…
ආපහු ලංකාවට එන්නේ නැතිද?
ලංකාවට එන්නෙ නැත්තේ නැහැ. අනිවාර්යයෙන්ම ලංකාවට එනවා. අවුරුද්දකට වතාවක් විතර ලංකාවට ඇවිත් නිවාඩුවක් ගතකරලා යන්න එනවා. ඉතාලියට ඇවිත් අවුරුදු පහක විතර කාලයක් ගතවෙනවා. නමුත් මම මේ වෙනකම් ලංකාවට ආවේ නැහැ. ස්ථිර පදිංචියට නොවුණත් ලංකාවට ඇවිත් යන්න එනවා.
ඉතාලියේ වෙසෙන විවාහක අවිවාහක ලාංකික තරුණියන් වෙනුවෙන් අලුත් වැඩක් පටන් ගත්තා කියලා ආරංචියි ?
ඔව්. ඉතාලියේ ජීවත්වන ලාංකික විවාහක අවිවාහක තරුණියන් වෙනුවෙන් අලුත් වැඩක් පටන්ගත්තා. ඒ නිසා තමයි මේ දවස්වල ඉතාම කාර්යබහුල වෙලා තියෙන්නේ.
කොහොමද මේ වැඩේට සම්බන්ධ වෙන්නේ?
ඉතාලියේ පදිංචි වෙලා ඉන්න ශ්‍රී ලාංකික විවාහක අවිවාහක තරුණියන්ට තමයි මේ වැඩේට සම්බන්ධවෙන්න පුළුවන්. ඉතාලියේ මිලානෝ නගරයේ තමයි මේ වැඩේ පැවැත්වෙන්නේ. අපි මේ තරගාවලියේ අයැදුම්පත් භාර ගැනීම සිදුකරන්නේ ඔන්ලයින් තාක්ෂණය හරහායි. ඒ අනුව වීඑස්එල් මෘදුකාංගය හරහා මේ සඳහා අයැදුම් කළ හැකියි. මේ තරගාවලියට අවිවාහක අය ඉදිරිපත් වෙනවා නම් ඔවුන්ගේ වයස අවුරුදු දහසයත් තිහත් අතර උස අඩි පහයි අඟල් තුනක්වත් තියෙන්න ඕනෑ. විවාහක අය ඉදිරිපත් වෙනවා නම් වයස අවුරුදු දහඅටයි හතළිහයි වෙන්න ඕනෑ. ඔවුන්ගෙත් උස අඩි පහයි අඟල් තුනක්වත් වෙන්න ඕනෑ.
මේ වගේ වැඩසටහනක් කරන්න හිතුවේ ඇයි?
මේ වෙනකොට මම ඉතාලියට පදිංචියට ඇවිත් අවුරුදු පහක වගේ කාලයක් වෙනවා. ඉතිං මේ අවුරුදු පහක වගේ කාලය ඇතුළත මම මගේ ක්‍ෂේත්‍රයේ වැඩකටයුතුවලින් ඈත්වෙලා හිටියේ. පවුලට මුල්තැන දීලයි තිබුණේ. දැන් මට පුංචි බබාල දෙන්නෙකුත් ඉන්නවා. විවාහ ජීවිතයට පත්වුණාට පස්සේ තමයි මගේ ක්‍ෂේත්‍රයේ කටයුතුවලින් නිහඬවෙලා පවුල් ජීවිතයත් එක්ක කාර්යබහුල වෙලා හිටියේ. නමුත් දැන් වසර පහක් විතර විවාහ ජීවිතය ගෙවිලා ගිහින් තියෙනවා. ඉතිං දැන් මම හිතුවා නිහඬවෙලා හිටියා ඇති කියලා. දැන් මම මගේ ක්‍ෂේත්‍රයේ දෙයකින් හරි මොනවා හරි කරන්න ඕනෑ කියලා හිතුවා. එතකොට මම ස්ථිර පදිංචිවෙලා ඉන්නේ ඉතාලියෙනේ. ඉතාලියේ ඉඳගෙන මගේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ දෙයක් මම කරන්න ඕනෑ කියලා හිතුවා. අනික අපි මේ ක්‍ෂේත්‍රයට ඇවිත් සෑහෙන කාලයක් වෙනවානේ. හැම ක්‍ෂේත්‍රයකම වගේ දැන් මේ ක්‍ෂේත්‍රයෙත් අලුත් පරම්පරාවක් බිහිවෙලා තියෙනවා. ඉතිං මම හිතුවා ලංකාවෙන් ඉතාලියට ඇවිත් ඉන්න දක්ෂතා තියෙන තරුණියන් වෙනුවෙන් යමක් කරන්න ඕනෑ කියලා.
මේ තරගාවලියට ඉදිරිපත් වන විවාහක අවිවාහක තරුණියන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවාද ?
මේ තරගය විවාහක අවිවාහක දෙගොල්ලන්ටම විවෘතයි. විවාහක කිරුළ ජයග්‍රහණය කරන තරුණියට මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ තායිලන්තයේ පැවැත්වෙන මිසිස් ඒෂියා ඉන්ටර්නැෂනල් කියන ජාත්‍යන්තර තරගය සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට පුළුවන්. ඒ වගේම අවිවාහක කිරුළ ජයග්‍රහණය කරන තරුණියට මේ වසරේ ඔක්තෝබර් මාසයේ පිලිපීනයේ පැවැත්වෙන මිස් ඒෂියා පැසිපික් ඉන්ටර්නැෂනල් කියන තරගය ඉතාලිය නියෝජනය කරමින් සහභාගි වීමට පුළුවන්. ඒක තමයි මෙයට ඉදිරිපත් වීමෙන් ලැබෙන ප්‍රධානම අවස්ථාව. මම හිතනවා නිකම්ම තරගයක් ජයග්‍රහණය කරනවාට වඩා ඔවුන්ට ජාත්‍යන්තර අත්දැකීමක් ලබාගැනීමට හැකි වෙනවා.
මේ තරගාවලියේ විනිසුරුවන් විදිහට වැඩ කටයුතු කරන්නේ කවුද?
මේ තරගාවලියේ අවසන් මහා තරගාවලියට ලංකාවෙන් කිහිපදෙනෙක්ම සහභාගිවීමට නියමිතයි. දැන්ම නම් වශයෙන් කියන්නේ නැතිව ඉමු. ඒක සර්ප්‍රයිස් එකක් විදිහට තමයි දෙන්න ඉන්නේ. ඊට අමතරව ඉතාලියේ නිරූපණ කේෂ්ත්‍රය, ඇඳුම් නිර්මාණ අංශයේ කිහිපදෙනකුත් අපිත් එක්ක එකතු වෙනවා.
මෙවැනි තරගාවලියක් සංවිධානය කරන එක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි නේද?
මේ වගේ තරගයක් සංවිධානය කරන එක ඇත්තට ම ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. විශේෂයෙන්ම මේ වගේ විදෙස් රටක දී අපිට බාධක අභියෝග ගොඩක් එල්ල වෙනවා. මොකද අපිට අපේ රටේදී මේ වගේ දෙයක් සංවිධානය කරද්දී ඒවෙනුවෙන් සහයෝගය ලබාදෙන්න අතහිත දෙන්න විශාල පිරිසක් ඉන්නවා. ප්‍රධානම දේ තමයි ඉතාලියේ ලංකාකියන් ජීවත්වෙන්නේ සුළු පිරිසයි. එතැනිනුත් පොඩි ප්‍රමාණයක් තමයි ඉතාලියේ ලාංකික ව්‍යාපාරික ප්‍රජාව විදිහට ජීවත්වෙන්නේ. මෙතැනදී අනුග්‍රහකයෙක් සොයාගනිද්දී අපිට දැඩි කැපවීමක් කරන්න සිද්ධ වෙනවා. විශේෂම හේතුව මෙහේ ජීවත්වන ශ්‍රී ලාංකික පිරිස ඉතාම සීමිතයි.
දැන් රඟපෑමෙන් ඈත් වෙලාද?
රඟපෑමෙන් ඉවත්වෙලා නැහැ. ලංකාවෙන් පිටවත්වෙලා ඉතාලියට එනකොට මම හිතන්නේ රංගන කේෂ්ත්‍රයේ මගේ හොඳම කාලය ගතකරමින් තමයි හිටියේ. ඒ වෙනකොටත් සිරස නාලිකාවේ මගේ මඩොල් කැලේ ටෙලිනාට්‍යය විකාශය වෙමින් තිබුණේ. ඒ වෙනකොටත් රූගත කරමින් තිබුණේ. ඉතිං මම ඉතාලියට එන හින්දා මම රඟපෑ ඒ චරිතයට තවත් රංගන ශිල්පිනියක් ආදේශ කිරීමට පවා සිද්ධ වුණා. අවුරුදු පහක කාලයක් මම නිහඬවෙලා හිටියා. නමුත් මම රඟපෑමෙන් ඉවත්වෙලා නැහැ. විශේෂයෙන්ම බලාපොරාත්තු වෙනවා නිවාඩුකාලවලදී චිත්‍රපටවලට වගේ සම්බන්ධ වෙන්න. ටෙලිනාට්‍යවලට නම් සහභාගි වෙන්න අමාරුයි. මොකද රූපගත කිරීම්වලට දීර්ඝ කාලයක් ලංකාවේ රැඳී සිටිමින් සම්බන්ධ වෙන්න ඕනනේ. ආපහු රඟපාන්න අදහසක් තියෙනවා. චිත්‍රපටවලට සම්බන්ධවෙන්න තමයි ලොකු අදහසක් තියෙන්නේ.
දිනේෂ් විතාන
