පෞද්ගලික දේවල් අද වෙනකම් එළියට දාලා නැහැ -ශෙහානි

gossiplanka image 2
මනබඳින රූ සපුවක් ඇති, මනබඳිනා විලාසිතා රැසකින් මේ දිනවල වේදිකාවට ගොඩවෙන ඇය නමින් ශෙහානි කහඳවල. රංගන ශිල්පිනියක ලෙසත් එදා සිට අද දක්වාම තම ජනප්‍රියත්වය එක ලෙස රඳවා ගැනීමට හැකියාවක් ඇති ඇය මේ දිනවල පොඩි නිහඬතාවයකින් කල් ගෙවනවා. ශෙහානි නිහඬ ඇයි? අලුත් වැඩකටවත් ලෑස්ති වෙනවාද? ඒ ගැන දැනගන්න අපි ඇයට කතා කළා.


පසුගිය කාලයේ ලංකාවේ වැඩිය හිටියෙ නැහැනේද?


ඔව්. මම ලංකාවේ හිටියේ නැහැ.


කොහේද ගියේ? මොනවද කළේ?


මම පසුගිය දවස් ටිකේම ප්‍රසංග කිහිපයකට සහභාගි වුණා. ඒක හින්දා ටිකක් කාර්යබහුල වෙලත් හිටියා.


දැන් වැඩිපුර ඉඩ වෙන්කරන්නේ සංගීතයටද?


එහෙම කියන්නත් බැහැ. හැබැයි මට හිතෙනවා මේ දවස්වල මම ගායනය පැත්තට වැඩිපුර කාලය වෙන් කළා නම් හොඳයි කියලා. රංගන ක්‍ෂේත්‍රයේ අවුරුදු 14කට අධික කාලයක් නියැළී හිටියා. මම අලුත් දෙයක් කරන්න උත්සාහ කරපු හින්දා සංගීතයට වැඩිපුර අවධානය යොමු කළා නම් හොඳයි කියලා. ඒක හින්දා මේ අවුරුද්දේ සංගීතයට වැඩිපුර අවධානය යොමු කරනවා.


ළඟදී අලුත් ගීතයක් එළිදක්වන්න අදහසක් තියෙනවාද?


ඔව්. මේ දවස්වල මම ඒකටත් අවධානය යොමු කරලයි තියෙන්නේ. පෞද්ගලික ජීවිතයටත් පොඩ්ඩක් අවධානය දෙන්න ඕනෑ හින්දා මේ ටිකේ පොඩි විවේකයක් ගත්තා. නමුත් ඉක්මනටම මගේ ගීයක් එළිදක්වනවා.


ඇයි මේ පෞද්ගලික ජීවිතයට වැඩි අවධානයක් යොමු කරන්න හිතුවේ?


පෞද්ගලික ජීවිතයට අපි අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕනෑ.


රඟපෑමයි ගායනයයි අතර වෙනස දැනෙන්නේ කොහොමද?


රංගනයේදී ලද අත්දැකීම් එමටයි. ගායනය කියන්නේ මට පුංචි කාලේ ඉඳලා ඇඟේ තිබ්බ දෙයක්. අනික ඒක වෙනම කලාවක්. මගේ තාත්තත් මේ ක්‍ෂේත්‍රයේ හිටපු කෙනෙක්. ඔහුත් ප්‍රසිද්ධ නොවුණට සංගීත කණ්ඩායම් නියෝජනය කරපු ගායකයෙක්. ඒ හින්දා මටත් ඒ ආභාසය ඇවිත් තියෙනවා. මේ කතාව කවුරුවත් දන්නේ නැහැ. මුල්ම වතාවට තමයි ‘දිවයින මීවිත’ට කිව්වේ. ඒක හින්දා මට ආපු ආභාසය මම කැමැති නැහැ අපතේ දමන්න. කාල වේලාව ආවහම ඒකට මුල් තැන දෙන්න ඕනෑ කියලා හිතනවා මම. ගායනයට අවධානය දෙන්න මේක තමයි හරිම වෙලාව.


තාත්තා දුවගේ හැකියාවන් ගැන මොනවද කියන්නේ?


එහෙම වරදක් කියන්නේ නැහැ. තාත්තා පුළුවන් විදිහට මට සහයෝගය ලබාදෙනවා. අම්මත් ඒ වගේම තමයි.


ප්‍රසංග වේදිකාවේදී කාවවත් අනුකරණය කරනවාද?


ඇත්තටම මට එහෙම කෙනෙක් නැහැ. මම වේදිකාවේදී මම වෙලා ඒ දේවල් විඳිනවා. සමහර වෙලාවට ෆෑන්ස්ලාගෙන් පොඩි පොඩි අපහසුතා තියෙනවා. ඒවත් ෂේප් කරගෙන මගේම අනන්‍යතාවයක් ගොඩනඟාගෙන ඉදිරියට යනවා. එහෙම කාවවත් අනුකරණය කරන්නේ නැහැ.


රඟපෑමට ආරාධනා ලැබුණේ නැද්ද?


එහෙම නැහැ. මගේ නුදුරේදීම චිත්‍රපටයක් තිරගත වෙනවා. තිසර ඉඹුලාන අධ්‍යක්‍ෂණය කරපු ‘මෝඩ තරිඳු’ තමයි චිත්‍රපටයේ නම.


කොහොමද ඒ අත්දැකීම්?


හොඳයි. ඒක වෙනස්ම චරිතයක්. මම කවදාවත් කරලා තිබුණේ නැති චරිතයක්. හරියටම කිව්වොත් සිනමා ක්‍ෂේත්‍රයේ මගේ දක්‍ෂතාවයන් හරියටම පෙන්වන්න පුළුවන් වුණ පළමු වැනි අවස්ථාව කිව්වොත් හරියටම හරි. මේ චිත්‍රපටය හරහා මම ගොඩක් දේවල් කළා කියලා හිතනවා. ඒ වගේම තිසර ඉඹුලාන අධ්‍යක්‍ෂවරයාගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා.


මෝඩ තරිඳු චිත්‍රපටය ගැන මේ වෙනකොට ක්‍ෂේත්‍රයේ ලොකු කතාබහක් ඇතිවෙලා තිබෙනවා නේද?


ඇත්තටම ඒ ගැන මට සතුටුයි. තවම එහි ගීත දෙකක් විතරයි එළිදක්වලා තියෙන්නේ. ඒ වගේ චූටි දෙයක් කරලාත් මේ වගේ කතාබහට ලක්වෙනවා කියන්නේ ඒ ගැන ඇත්තටම සතුටුයි. මම ඇතුළුව මගේ කණ්ඩායමට මේ තරම් ලොකු ආදරයක් ලැබේවි කියලා හිතුවේ නැහැ.


ආපු ගමන්මඟට වසර 14ක්. මොකද හිතෙන්නේ?


අවුරුදු 14 කට වැඩියි. මට ඇත්තටම සතුටුයි. මට මං ගැන ආඩම්බරයි. මම ගොඩක් මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක්. අනික මම ලොකුවට වැඩ කරන කෙනකුත් නෙමෙයි. මම සාමාන්‍යයෙන් නිර්මාණයකට සම්බන්ධ වෙලා අවසන් වුණාට පස්සේ අවුරුද්දක වගේ කාලයක් විවේකයක් ගන්නවා. ඒකාකාරීව වැඩ කරලා තෙහෙට්ටු වෙන්න කැමැති නැහැ. මගේ මානසික නිදහස මට ගොඩක් වැදගත්. ඉතිං ඒකට කාලය ලබාදීලා මම ආපහු වැඩ කරන්න එනවා.


සල්ලි පොකුරුවලින් පස්සේ පොඩි නිවාඩුවක් ගත්තද?


ඔව්. එහෙම කියන්න පුළුවන්. මට ආරාධනා ලැබෙන්නේ නැතිව නෙමෙයි. මට ගොඩක් ආරාධනා එනවා. ජීවිතයේ සමහරක් දේවල් තියෙනවා අවධානය දෙන්න ඕනෑ කියලා හිතන තැන්වලදී මම ඒ දේවල්වලට අවධානය දෙනවා. මම ඒ දේවල් හරියාකාරව ඒකාකාරිව කරගත්තාට පස්සේ ආපහු වැඩ කරන්න පටන් ගන්නවා.


මේපාර විවාහය, ආදරය වගේ කාරණාවලට ද වැඩිපුර අවධානය යොමු කරලා තියෙන්නේ?


එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. ඒ දේවල් සූදානම් වුණහම ඒ ගැන කතා කරලා කියන්නම්.


ළඟදීම ශෙහානි කහඳවලගේ ජීවිතයේ ලොකු වෙනසක් වෙනවා. එහෙමද?


නැහැ. එහෙම කියන්නත් බැහැ. ඒක මගේ පෞද්ගලික ජීවිතය. මගේ පෞද්ගලික ජීවිතයේ කිසිදෙයක් අද වෙනකම් මම එළියට දාලා නැහැ. කවදාහරි දවසක බැන්දොත් මම ඒක එළියට දානවා.


දිනේෂ් විතාන

gossiplanka image 1
Previous Post Next Post