මම මගේම රංගනය ඇතුළෙත් වැරදි හොයනවා-ධනුෂ්කා ජයරත්න

gossiplanka image 1
කඳුළු කැටවලින් සියුම්ව හැඟීම් ස්පර්ශ කරන, ආවේගය තුළ පවා ආදරය කැටි කොට සම්ප්‍රේෂණය කරන, ඇය අපූරු රංගන ශිල්පිනියකි. නමින් ඇය ධනුෂ්කා ජයරත්නයි. අද පිළිසඳර ඇය සමඟයි.


කොහොමද මේ දවස්වල ජීවිතේ…


ගොඩක් සතුටින්, කාර්යබහුලව කාලය ගත කරනවා.


කලා කටයුතුවල විස්තර කිව්වොත්…


මායාවී ටෙලිනාට්‍යයේ හා අකුරට යන වෙලාවේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් සමඟ සම්බන්ධ වී සිටිනවා. ඒ වගේම දෙරණ නාළිකාවේ ඉස්කෝලෙ ටෙලි නාට්‍යයටත් නුදුරේදීම සම්බන්ධ වුණා.


ඔබ මායාවී ටෙලිනාට්‍යයේ සහෘද සිත් ප්‍රකම්පනය කරන තරමටම ඒ චරිතයට ආරූඪ වෙනවා. කොහොමද ඒ මැජික් එක කරන්නේ?


මම ගොඩක් ආසයි මිනිස්සු දිහා බලන් ඉන්න. එයාලා හැසිරෙන විදිහ, එයාලා කතා කරන, අඬන, හිනාවෙන විදිහ මම හැමතිස්සෙම සියුම්ව අධ්‍යයනය කරනවා. ඒ නිසා මම මිනිස්සු එක්ක හරි හෘද්‍යාංගම හා අව්‍යාජව කතාබහ කරනවා. ඒ වගේම මිනිස්සුත් එයාලගේ හැඟීම් මාත් එක්ක ගනුදෙනු කරනවා. මම රංගනය හැදෑරූ ශිල්පිනියක් නෙමෙයි. මම මේ වන විට තාත්විකව රංගනය කරන ආකාරය සමාජය ආශ්‍රය කරමින් වගේම ගොඩක් චිත්‍රපටි නරඹමින් ස්වයංව අධ්‍යයනය කරනවා. මම මගේම රංගනය ඇතුළෙත් වැරදි හොයනවා. මම හැමතිස්සෙම හිතන්නේ මේ මගේ උපරිමය නෙමෙයි කියලා. ඒ කුතුහලය මට දිනෙන් දින රංගනය උගන්වනවා. රංගනයට පිවිසි නවකයන්ගෙනුත් මම ඇතැම් අභ්‍යාස උකහා ගන්නවා.


ඔබගේ සියුම් හැඟීම් ප්‍රකාශනයන් වඩාත් ගැළපෙන්නේ පුංචි තිරයට වඩා පුළුල් තිරයට කියලා හිතෙනවා. ඇයි ඔබට අවස්ථාවන් ලැබුණේ නැත්තේ?


රංගනයට පිවිසි අවධියේ පටන්ම මට අවස්ථාවන් ලැබුණේ ගොඩක් අඩුවෙන්. ඒ නිසාම මගේ රංගන හැකියාවන් පෙන්නුම් කරන්න මට හරියාකාරයෙන් අවස්ථාවක් ලැබුණේ නැහැ. යම් තරමින් හෝ එකී අවස්ථාවන් මට හිමි වුණේ මෑත කාලයේදීයි. රංගන කාර්යය ඇතුළේ මගේ යම් යම් රංගන පරාසයන් ප්‍රේක්ෂකයන්ට මඟහැරුණා කියලා මට හිතෙනවා. යමක් කරනවා කියලා හිතෙන්නේ වගේම දැනෙන්නෙ මට දැනුයි. ඒ දවස්වල මම බලාපොරොත්තුවෙන් හිටියා හතරමුල්ල පැනල රඟපාන්න පුළුවන් චරිතයක් කරන්න. එවන් චරිත මට නොලැබුණා කියන්නත් බැහැ. නමුත් ක්ෂේත්‍රය තුළ මාව යම් යම් අවස්ථාවලදී අතහැරුණා. ඒ නිසා සුළු හෝ චරිතයක් තුළින් මාව ප්‍රේක්ෂකයන් අතරට ගෙන ආ අධ්‍යක්ෂකවරුන්ට මම ස්තූතිවන්ත වෙනවා. ඒ අතරින් කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක ධනුෂ්ක රත්නායක මට ලොකු අභියෝගයක් ලබාදුන්නා. මම හිතනවා එයට හොඳ සාධාරණත්වයක් ඉටුකළා කියලා.


යම් චරිතයක් නිරූපණය කළ කෙනෙකු වෙනුවට වෙනත් කෙනෙකු ආදේශ කිරීම බොහෝ අවස්ථාවලදී අසාර්ථක වෙනවා. කොහොමද ඔබ ඒ අභියෝගය ජය ගත්තේ?


මට ලැබුණු රීප්ලේස්මන්ට් එක අංක එකේ අභියෝගයක්. ඒ වෙනකොට එම නාට්‍යය ජනප්‍රියත්වයේ හිණිපෙත්තෙයි තිබුණේ. ඒ වගේම දුලීකා අක්කා වගේ චරිතයක් රීප්ලේස් කරන කාර්යයට මුලින්ම මම බය වුණා. මොකද ඒ චරිතය වෙනස්ම තලයක තිබුණ චරිතයක්. මගේ අම්මා තාත්තා හා සැමියා ඒ අවස්ථාවේදී මාව දිරිමත් කළා. මටත් ලොකු ආත්ම විශ්වාසයක් තිබුණා. මට තිබුණු ලොකුම ගැටලුව ඒ චරිතය ප්‍රේක්ෂකයා කොහොම පිළිගනීද කියලයි. මොකද ලංකාව තුළ සාපේක්ෂව රස වින්දනයට එකී රංගන ශිල්පීන්ගේ පෞද්ගලික ජීවිතයත් ඇඳෑ ගන්නවා. ධනුෂ්ක ඒ චරිතය තුළ මට උපරිම නිදහස දුන්නා. දුලීකා අක්කගෙ චරිතයට හානියක් නොවෙන්න මගේ යම් යම් දේවලුත් එකතු කරගෙන ඒ චරිතය මම නිරූපණය කළා. චරිතය තුළ මම සාර්ථකයි කියලා නිහතමානී ආඩම්බරයක් මට තිබෙනවා.


කැපවීම රංගන කාර්යයට කොතෙක් දුරට ඉවහල් වෙනවද?


මට දැනෙන විදිහට කැපවීමක් නොමැතිව රංගන කාර්යය කරන්න බැහැ. මොකද අපේ ශාරීරික වෙනස් වීමක් පවා චරිතයට සෘජුවම බලපෑම් කරනවා. යම් චරිතයකට ආරූඪ වීමට හිතෙන තැන පටන්ම තිබෙන්නේ කැපවීමයි. මට යම් චරිතයක් බාර දුන් විට මම ඒ චරිතය ගැන ගොඩක් හිතනවා. සමාජය තුළ එවැනි චරිත අධ්‍යයනය කරනවා. එතැන් පටන් මම ඒ චරිතයට කැපවෙනවා. ඒ නිසා කැපවීමක් නැත්නම් රංගන කාර්යය කරන්න බැහැ. කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ මම බත් කැව්වාට වඩා වෙනස් විදිහටයි මායාවේ ටෙලි නාට්‍යයේ බත් කවන්නේ. එසේ ඇවිදීම සිනාසීම වගේ පුංචි පුංචි දේවල්වලින් පවා මම ඒ වෙනස්වීම කරනවා. එකී වෙනසට වගේම චරිතයට ආලෝකයක් වීමට කැපවීම අත්‍යවශ්‍යයි.


නපුරු චරිතවලට කොටුවුණු ධනුෂ්කා දැන් තමයි චරිතාංග රංගන ශිල්පිනියක් වගේ නිදහසේ පියාඹන්නෙ කියලා මම කිව්වොත්….ඔබ එය පිළිගන්නවද. ?


හරියටම හරි.. ඉස්සර ගොඩක්ම මට ලැබුණේ කළු චරිත. චරිතයක් සාර්ථකව නිරූපණය කළොත් පෙරළා ලැබෙන්නෙත් එවන් චරිත පමණයි. මම මුහුණ දුන්නෙත් ඒ සදාතනික සත්‍යයටයි. මම හිතන විදිහට එය රංගන ශිල්පියෙක්ට හෝ රංගන ශිල්පිනියක්ට කරන දරුණු ගණයේ අපරාධයක්. ඒ හේතුව නිසාම තවම වැඩ ගත්තේ නැති රංගන ශිල්පීන් බොහොමයක් අපේ රටේ සිටිනවා. එය ප්‍රේක්ෂකයාට වගේම රංගන ශිල්පීන්ටත් කරන හානියක්.


ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?


මට පුතෙක් ඉන්නවා. පුතාගේ අනාගතය තමයි මගේ එකම අනාගත බලාපොරොත්තුව. මගේ ජීවිතය සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් මහා ගොඩක් නැහැ. කාටහරි උදව්වක් කරගෙන සතුටින් ජීවත් වෙන්නයි මම හැමතිස්සෙම උත්සාහ කරන්නේ. ඒ වගේම මැරෙනකම්ම රංගනය කරන්නත් මම බලාපොරොත්තු වෙනවා.

gossiplanka image 2
Previous Post Next Post