
1956 පෙබරවාරි 06 දින උපන් සමන් මිය යන විට 69 වැනි වියේ පසු වූයේය. කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ සමන් බාල වියේ සිටම සංගීතයට ඇල්මක් දැක්වූවද රැකියාව සඳහා තෝරා ගන්නේ වෙනත් අංශයකි. පාසල් වියේ සිටම හමුදාවට බැඳෙන්නට ආසාවෙන් සිටියද පසුව ඔහු මැණික් සංස්ථාවේ පාඨමාලාවක් හදාරා එහිම රැකියාවක නියුතු වන්නේය. වසර දාහතරක් පමණ එහි රැකියාව කරන ඔහු ඒ අතරතුර සිය ගායන හැකියාවද දියුණ කර ගන්නේය.
ගවන්විදුලියෙන් බිහිවුණු ගායක ගායිකාවන් අතර තවත් ජනප්‍රිය නමක් ලෙස සමන් හඳුන්වා දීමට පුළුවන. තමා ගුවන්විදුලියෙන් බිහි වූ ගායකයකු බව හඳුන්වා දෙන්නට ඔහු කිසිවිටෙකත් මැළි නොවිය. එකල ගුවන්විදුලියෙන් බිහි වූ එම්. එස් ප්‍රනාන්දු, මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි, එච්.ආර්. ජෝතිපාල වැනි ප්‍රකට ගායන ශිල්පීන්ට මෙන්ම සමන්ටද ස්වාධීන හඬක් තිබිණි. ජීවත්ව සිටියදී ඔහු ඒ ගැන පවසන්න වූයේ මහත් ආඩම්බරයෙනි. එහෙත් කිසි විටෙකත් තමා බයිලා ගායකයකු ලෙස හඳුන්වා දෙනවාට අකැමැති වූ ඔහු හැම විටම පැවැසුවේ:
“මම ගායන ශිල්පියෙක්. කිසි සේත්ම බයිලා ගායකයෙක් නෙමෙයි. අද ලංකාවේ බයිලා ගීත කලාව නැත්තටම නැති වෙලා වගෙයි. මම සික්ස් එයිට් වේග රිද්මයට ගීත ගයලා තියෙනවා. සික්ස් එයිට් යනු රිද්මයක් විතරයි. ඒ රිද්මයට අපේ අමරදේවයනුත් ගීත ගයලා තියෙනවා. සනත් නන්දසිරි මහතා ගයන ගමේ කෝපි කඩේ ගීතයත් ඒ වගේ වේග රිද්ම ගීතයක්. ගීතයක් සික්ස් එයිට් වූ පමණින් එය බයිලා වන්නේ නැහැ. බයිලා ගී යනු වෙනම ගායන ශෛලියක්. තණනිල්ල දිගේ ගීතයෙන් පටන් ගත් විට, පුංචි කුරුලු කූඩුවේ වැනි ගීතත් මා ගායනා කරලා තිබෙනවා. ඕනෑම රිද්මයකට, ඕනෑම ශෛලියකට ගීත ගයන්න මට පුළුවන් බව ඔප්පු කර පෙන්වූ ගායකයෙක්.“
1975 වසරේදී ගීත ගායනට එළඹී ගෙවුණ කාලය තුළ සමන් තවත් යුග ගණනාවක් යන තුරුත් මතකයේ රැඳෙන ගීත රැසක්ම සිය රසිකයන්ට ඉතිරි කර ගියේය. නියරේ පියනඟලා, පුංචි කුරුලු කූඩුවේ, එපා එපා රැවටෙනු, සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න, තණනිල්ල දිගේ, පුරහඳ නැඟුණා, අයරින් ජොසපින්, දෙව්ලොව දෙවියනේ, හඬවලා සිතක්, මතකයි අම්මෙ… ආදි ගී රැසක් ඔහුගේ ගීත අතරට එක් වේ.
ගායක ගායිකා සංගමයේ සභාපතිවරයා ලෙසද කලක් කටයුතු කළ සමන් ද සිල්වා විදෙස් සංචාර ගණනාවකට ද සහභාගි වී ඇත.
තවත් දශක ගණනාවක් යන තුරු ඔහුගේ ගී හඬ සංගීත ක්ෂේත්‍රයේ රැව්දෙනු ඇත. ඒ හඬ ඒ තරමටම රසිකයන් පිනවා ඇත. දරුවන් තිදෙනකුගේ පියකු වන සමන් මුනුපුරු මිනිපිරියන් කිහිප දෙනකුගේ මුත්තණුවෙක්ද වේ. මෙලොව හැර ගියද ඔහුගේ ගී හඬ සදා ජීවමානය.
“මාගේ අවසාන මොහොත වෙලාවේ
නාදේ කුමටද මට නළාවේ
හමු වෙමු අපි දෙන්නා ස්වර්ගේ
වියෝලේ වියෝලේ මාගේ…”
