
රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ කොහොමද?
ඒ කාලයේ රංගන ක්ෂේත්‍රයේ අයව මම දන්නේ නෑ. සුමනා අමරසිංහ මහත්මිය හරහා තමයි මට පෙම් කැකුළ චිත්‍රපටයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ. පෙම් කැකුල චිත්‍රපටයේ මට රංගනය සඳහා ලැබුණේ කුඩා චරිතයක්. ඒ වුණත් ඒක තමයි මට ලැබුණ හොඳම අවස්ථාව. ඉන් පස්සේ මට චිත්‍රපට කිහිපයකටම රඟපෑමෙන් දායක වෙන්න ලැබුණා.
චිත්‍රපටිවලට අමතරව ටෙලිනාට්‍ය වේදිකා නාට්‍යවලිනුත් ඔබ ප්‍රේක්ෂකයාට සමීප වෙනවා නේද?
ඔව්. ලකී ඩයස් මහත්මයාගේ පළමු ටෙලිනාට්‍යය ‘කතරක හසරැලි’ නාට්‍යයේ උත්පලා කියන චරිතයට පණ පොවන්නට මට අවස්ථාව ලැබුණා. ඒ වගේම නාලන් මෙන්ඩිස් මහත්මයාගේ ‘සත්පුරවැසියෝ’ ටෙලි නාට්‍යටත් සේනක විජේසිංහ මහත්මයාගේ ‘නේත්‍රා’ මංගල්‍ය’ ටෙලිනාට්‍යටත් රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබුණා. මේ වනවිට මම ටෙලිනාට්‍ය පහළොවකට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ වගේම වේදිකා නාට්‍යයත් කිහිපයකටම මගේ රංගන දායකත්වය ලබා දෙන්න මට අවස්ථාව ලැබුණා. ඒ ගැන ඇත්තටම මට සතුටුයි. දයානන්ද ජයවර්ධන මහත්මයාගේ ‘ජෙනරාල්ගේ රාජ්‍ය’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කළා. සිසිල් ගුණසේකර මහත්මයාගේ ‘පැපරැස්’ වේදිකා නාට්‍යයේත් ප්‍රධාන චාරිතයක් හිමිවුණා. නාට්‍යවල රඟපාන අතරේම සංගීත ක්ෂේත්‍රය තමයි හැදෑරුවේ.
රංගනයටත් වඩා සංගීත ක්ෂේත්‍රයට විශේෂ ඇල්මක් දක්වනවා කීවොත් නිවැරදිද?
සංගීත ක්ෂේත්‍රයට බාලවියේ ඉඳලම විශේෂ ඇල්මක් තිබුණා. සංගීතය හදාරන්න ඕන කියලා හිතුණෙත් ඒ නිසා. පාසල් කාලයේත් සංගීතය ඉගෙන ගත්තා. ඒ දවස්වල අන්තර්ජාතික මට්ටමේ තරගවලින් ප්‍රථම ස්ථානය ලබා ගන්නත් හැකියාව ලැබුණා. තරගවලින් ජයග්‍රහණය ලැබුණම සංගීතයට තිබුණ ආසාව තවත් වැඩිවුණා. වෙලාවකට හිතෙනවා රංගනයට සම්බන්ධ වීමෙන් මියුසික් පැත්ත මඟහැරුණා ද කියලත්.
ක්ෂේත්‍රයට එන්න උදවු කරපු පිරිසක් ඉන්නවද?
ක්ෂේත්‍රයට අලුතින්ම එකතු වෙන්න අවස්ථාව ලැබුණ කාලයේ මාලනී අක්කා ගොඩක් උදවු කළා. මම දකින විදියට එහෙම චරිත නම් ගොඩක් අඩුයි. ක්ෂේත්‍රයට එන නවකයින්ට ඇය උදවු කරනවා. එතුමියගෙන් ඉගෙන ගන්න දේවල් බොහොමයි. එතුමියට අමතරව ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ, සිසිල් ගුණසේකර, ලකී ඩයස් මහත්මයාගෙනුත් උදවු ලැබුණා. ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න ඒ අයගේ දිරි ගැන්වීම විශේෂ හේතුවක් වුණා. අතුල බෝපගේ අයියත් කවර් සෝන්ග් කරන්න ගොඩක් උදවු කළා. ඒ පැත්තෙන් ඉදිරියට යන්න පුළුවන් කියලා කිවුව නිසාමයි ‘මා එදා’ ගීතය කළෙත්. සතියක් දෙකක් යද්දි ඒ ගීතයට ප්‍රේක්ෂක ආකර්ෂණයත් ලැබුණා.
ආව ගමන්මඟත් සමඟ පවුලේ අයගෙන් ලැබුණ සහයෝගය කොහොමද?
අම්මයි තාත්තයි මට ලොකු ශක්තියක් වුණා. මගේ මල්ලිට රංගනයටත්, සංගීත ක්ෂේත්‍රයටත් මාව යොමු කරවන්න ලොකු වුවමනාවක් තිබුණා. එයා හදිසි අනතුරකින් නැතිවුණා. මම මල්ලී වෙනුවෙන් මුලින්ම ගාමිණි සන්දනායක සර් එක්ක ගීතයක් කළා. පස්සේ කවර් සෝන්ග් කීපයකුත් කළා. දැනට සංගීත ප්‍රසංගවලටත් ආරාධනා ලැබෙමින් තිබෙනවා. මං හිතනවා ඒ කටයුතු කරගෙන ඉදිරියටම යන්න. ඒ වගේම මේ දවස් වල ලතා වල්පොල මහත්මියගේ ගීතයකට රංගනයෙන් දායක වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදි ඒ ගීතයෙන් ආදරණිය රසිකයන් අතරට එන්න මට පුළුවන්.
