
ජයන්ත සාමාන්‍යයෙන් මාධ්‍ය ත්‍රිත්වයක නිර්මාණකරණයේ යෙදෙනවා. ඒ චිත්‍රපට, ටෙලිනාට්‍ය හා වේදිකා නාට්‍ය නම් මාධ්‍ය ත්‍රිත්වයේයි. එවැනි අධ්‍යක්ෂවරුන් බොහොම විරලයි. මේ මාධ්‍ය ත්‍රිත්වයේම මම ඔහුගේ නිර්මාණවලට සම්බන්ධවෙලා තියෙනවා. ඔහු අධ්‍යක්ෂණය කළ ඝරසරප, ගරිල්ලා මාර්කටිං වැනි චිත්‍රපට වගේම අත්, හංකිති 13 වැනි වේදිකා නාට්‍යවලත්, හතර දෙනෙක් සෙන්පතියෝ, දඬුබස්නාමානය, වෙද හාමිනේ වැනි ටෙලිනාට්‍යවලටත් මම සම්බන්ධ වුණා. බොහෝ වෙලාවට නිර්මාණ කාර්යයේදී ඔහුගේ මතකයේ මාව සනිටුහන් වුණාම ඔහු ඒ කෘතිය තුළ මට ගැලපෙන චරිතයක් ලබා දෙනවා. දේවි කුසුමාසන චිත්‍රපටයට දායක වෙන්න ඔහු මටත් අවස්ථාව ලබා දුන්නා.
ඔබ දායක වෙන චරිතය ගැන කතා කළොත්?
දේවි කුසුමාසන සිනමා පටයේ සීතාවක රජතුමාගේ ප්‍රධාන අමාත්‍යවරයා වුණු වික්‍රමසිංහගේ චරිතය මට ලැබුණා. මේ චරිතය නිරූපණය කරන්න ජයන්ත මට ආරාධනා කළා. මම ඒක සතුටින් බාර ගත්තා.
ජයන්ත චන්ද්‍රසිරි සමඟ නිර්මාණ බොහොමයකට රංගනයෙන් දායක වෙන්න ශ්‍රියන්තට අවස්ථාව ලැබුණා. ඔහු අධ්‍යක්ෂවරයෙක් ලෙසින් ඔබට දැනෙන්නේ කොහොමද?
ඔහු එක්ක වැඩ කරද්දි ඔහු රංගන ශිල්පියාගේ ශක්තිය ලබාගන්න පුළුවන් අධ්‍යක්ෂවරයෙක්. මම ඒකට සූදානමින් ගියේ. ඔහු සැබෑ අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ ඒ අපූරු අධ්‍යක්ෂණය, අපේ රසික ප්‍රජාවට මැයි මාසේ 22 වැනිදා සිට දේවි කුසුමාසන සිනමා පටයෙන් දැකබලා ගන්න පුළුවන් වේවි. එය නැරඹීමෙන් ඉතිහාසය කොයිතරම් සුන්දරද කියලා අපේ රසික ප්‍රජාව තීරණය කරාවි.
දේවි කුසුමාසන රූගත කිරීම් කරද්දී ලබපු අත්දැකීම් කොහොමද?
මගේ රූගත කිරීම් පටන් ගත්ත පළමු කොටසම මට හරි අපූරු කොටසක් වුණා. මම සීතාවක මහ සෙනෙවිගේ භයානක අශ්ව බලකාය එක්ක යන දර්ශනයක් රූගත කිරීම් කළා. එහිදී පන්දම් අතින් අරගෙන, මහා වේගයෙන් රජ මාලිගාවට එන දර්ශනය රූගත කිරීම් සිදු කළා. මේ හැම දර්ශනයකදීම හතළිස් හතර දෙනෙක් හිටියා. අශ්වයන් විසි දෙදෙනෙක් සහ අශ්වයෙන් පිට නැගලා විසි දෙදෙනෙක් ගමන් කළා. මහා රාත්‍රී පන්දම් අතින් අරගෙන අශ්වයන් මෙල්ල කරගෙන ගමන් කිරීම ලෙහෙසි වුණේ නැහැ. සමහර වෙලාවට පන්දමේ ගිනි ජාලයට අශ්වයන් බය වුණා. නුහුරු සතෙක් එක්ක වැඩ කිරීම ලෙහෙසි වුණේ නැහැ. අපි මහ රාත්‍රියේ ගමන් කළේ පොඩි පටු පාරක. ඒ අත්දැකීම් භයානකයි. හැබැයි ඒ භයානක බව ඇතුළේ සුන්දරත්වයක් තිබුණා. ඒ අත්දැකීම් උරගා බලන්න ජයන්ත අපිට අවස්ථාව දුන්නා. මම දින දහයක් පමණ රූගත කිරීම්වලට සහභාගි වුණා. ඒ කාලය හරිම රසවත්.
අධ්‍යක්ෂවරයෙක් වුණු ජයන්ත තුළ සිටින මිනිසා ඔබ හඳුන්වන්නේ කොහොමද?
අධ්‍යක්ෂවරයෙක් විදිහට නම් ඔහු කුරිරු අධ්‍යක්ෂවරයෙක්. එයින් බැහැරව ඔහු සොඳුරු මිනිසෙක්. කුරුරු කියන දෙයින් මෙහිදී මම නරක කියන දේ අදහස් කළේ නැහැ. නළුවෙක් හෝ නිළියෙක් ඔහුට හසුවුණොත් ඒ නළුවාගෙන් හෝ නිළියගෙන් ඒ හැකියාව උකහා ගන්න ඔහුට මැෂිමක් තියෙනවා. මෙහිදී ඔහුගේ ඒ මැෂිමට හේමාල් රණසිංහ, දිනෙත් ද සිල්වා, මේඝ සූරියආරච්චි සහ උදාරි වර්ණකුලසූරිය ගොදුරු වුණා. ඒ උකහාගත් මහා දැවැන්ත ශක්තිය මැයි 22 වැනිදා රිදී තිරයෙන් විචිත්‍රණය කරනවා. අධ්‍යක්ෂවරයෙක් විදියට ජයන්ත අති සාර්ථකයි. ඔහුගෙයි මගෙයි ඉතිහාස කතාව අවුරුදු පනහකට කිට්ටු දීර්ඝ ගමනක්. අපි දෙන්නා මේ ක්ෂේත්‍රය ආරම්භ කළේ එකට. ඔහු මට සොඳුරු මිතුරෙක්. යාළුවෙක් එක්ක අවුරුදු පනහක් ජීවත් වෙන්න හරි අසීරුයි. හැබැයි අපේ මිතුරුකම එතරම් දීර්ඝ කාලයක් වෙනවා. සම්මාන උළෙලවලදී ඔහු මාව ආඩම්බරකාර පඩිවලට නැග්ගුවා. එයින් මම සතුටු වුණා වගේම ඔහුත් ඒ නිසා දැවැන්ත සතුටක් ලැබුවා.
දේවි කුසුමාසන කියන්නේ විශාල පිරිවැයක් යොදලා කරපු සිනමා නිර්මාණයක්?
ඔව්... දේවි කුසුමාසන සිනමා පටය LYCA නිෂ්පාදනයක්. සිංහල සිනමාව වර්ණවත් කරන්න ඔවුන් දැක්වූ ඒ සහයෝගයට ඒ ආයතනයට ස්තූති කරනවා. විශේෂයෙන් ඒ සම්බන්ධයෙන් සම්බන්ධීකරණය සිදු කළේ ජානකී විජේරත්න මහත්මියයි. සිංහල සිනමාවේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුවන් කරන්න මේ චිත්‍රපටය ඔස්සේ හැකි වේයැයි මම විශ්වාස කරනවා.
ශ්‍රියන්ත ප්‍රවීණ, අත්දැකීම් බහුල කලාවේදියෙක්. කාලයක් සිනමාහල්වලින් ඈත්වුණු ප්‍රේක්ෂකයන් නැවතත් සිනමාහල් කරා ඇදී එන්න පටන් අරගෙන. මෙය කලාවේ සුබ සලකුණක් නේද...?
ඔව්... ඇත්තටම මේක සුබ ලකුණක්. කාලයක් සිනමාවේ ස්වර්ණමය යුගයක් පැවතියා. සාමාන්‍යයෙන් සංස්කෘතික ක්‍රියාවලියක රැලි වගෙයි. එක කාලයකට ඉහළ යන රැල්ල තව කාලයකට පහළට එනවා. හැබැයි පහළට එනවා කියලා කියන දෙයින් අපි පහළටම වෙලා ඉන්නවා කියලා අදහස් කරන්නේ නැහැ. ඊළඟ රැල්ලට අපි ආයෙත් උඩට යන්න පුළුවන්. ඒ රැලිවල කූඨප්‍රාත්තිය දැන් ඇතිවෙමින් පවතිනවා. සිනමාහල්වල පුටුවල මකුළුදැල් බඳින්න ඉඩ නොතියා ප්‍රේක්ෂකාගාරය පිරී ඉතිරි යන්න සලස්වන අපේ රසික ප්‍රජාවට අපි ස්තුති කරන්න ඕනෑ.
දොළොස් වැනි කාමරය කවදා වගේ ප්‍රේක්ෂකයන්ට විවෘත වේවිද?
මේ දවස්වල මම අලුත් වේදිකා නාට්‍යයක් නිර්මාණ කරනවා. ඒ දොළොස් වැනි කාමරයයි. එය කපිල කුමාර කාලිංගගේ අනුවර්තනයක්. රංගනයෙන් අංජුලා රාජපක්ෂ, කුසුම් රේණු, ජනක කුඹුකගේ, අජිත් ලොකුගේ, තරංග බණ්ඩාර, ප්‍රදීප්, තාරකී අමායා දායක වෙනවා. මෙම වේදිකා නාට්‍යයේ සංගීතය මෙහෙයවන්නේ රවීන් කනිෂ්කයි. ඔහු නව පරපුරේ නළුවෙක් වගේම ගායකයෙක්. ඒ නිසා ඊළඟ පරම්පරාවත් අපිත් එක්ක මේ ගමන යන්න අත්වැල් බැඳගෙන තියෙනවා. දොළොස් වැනි කාමරය කියන්නේ විහිළුවක් නොවන විහිළුවක්. ජූලි මාසේ 10 වැනිදා එල්ෆිස්ටන් රඟහලේදී මෙහි මංගල දර්ශනය වේදිකාගත වෙනවා. අර්ථවත් මොහොතක් ගත කරන්න ඒ දිනය වෙන්කර ගන්න යැයි අපේ ප්‍රේක්ෂකාගාරයට ආරාධනා කරනවා.
• දිශානි ජයමාලි
