
මේ දවස්වල වැඩි කාලයක් “මායාවි” ටෙලිනාට්‍ය එක්ක තමයි ගත කරන්නෙ. ඒ අතර තව නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒවාට සූදානම් වෙන්නත් ඕනෑ.
සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කරන “මායාවි” ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මම මේ වෙද්දි ටෙලිනාට්‍ය කිහිපයකම චරිත කරලා තියෙනවා. මම මුලින්ම රඟපෑ “ධරණි” ටෙලිනාට්‍යයේ දේවින්දගේ චරිතයට ගොඩක් අය ආදරය කළා. ඊට පස්සේ ප්‍රේක්ෂකයන් මෑත කාලයේදී මට වැඩිපුරම ආදරය කළේ “මායාවි” ටෙලිනාට්‍යත් එක්කයි. අද වෙද්දි පවන්සිරිගේ චරිතයට මම හිතුවේවත් නැති විදිහට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය “පවන පණ” කියලයි ඒ චරිතය හඳුන්වන්නෙ. ඒ නිසා මේ වෙනුවෙන් එහි තිර පිටපත් රචක මහේෂ් රත්සර මද්දුමආරච්චි මහතාටත් නිෂ්පාදක ලලිත් වසන්ත මහතාටත් එහි අධ්‍යක්ෂ සඳුන් රාජකරුණා මහතාටත් ගොඩාක් ස්තූති කරනවා. ඒ තුන්දෙනා තමයි මාව මේ චරිතයට තෝරාගත්තෙ. ඒ වගේම සුදීක්ශා සමාධි (මංගේශ්වරී), ධනුෂ්කා ජයරත්න (ශ්‍රියා මාලා), ශාන්ත ගාල්ලගේ (බන්ටි මාමා) ඇතුළු පවන්සිරිගේ චරිතය වටා ඉන්න හැම චරිතයකටම ගොඩක් ස්තූති කරනවා.
මේ සැබෑ වුණේ පුංචි කාලේ දැකපු හීනයක්ද?
පුංචි කාලේ මම ලංකාවේ ජනප්‍රිය චිත්‍ර ශිල්පියෙක් වෙන්න ආසා කළා. ඉස්කෝලේ යන්නෙ නැතුව වෙසක් කාලයට චිත්‍ර ඇඳලා පුංචි තොරණ හදපු කාලයක් මට තිබුණා. ජීවිතය ගෙවෙද්දි හීන ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තා. අපේ පවුලේ කිසිම කෙනෙක් විශ්වවිද්‍යාලයට තේරී තිබුණේ නෑ. මම උසස් පෙළට වාණිජ අංශයෙන් ඉදිරිපත් වෙලා කැලණිය විශ්වවිද්‍යාලයට තේරුණා. ඒ ඔස්සේ මට හොඳ බැංකු නිලධාරියෙක් වෙන්න ඕනෑ වුණා. හැබැයි කලාකාමී උණ ඇඟේ තිබුණා. ඒ නිසාම කලාවට නිරූපණ ශිල්පියෙක් විදියට සම්බන්ධ වෙලා, අවුරුදු කුමරු තරගවලට ඉදිරිපත් වෙලා තමයි රංගනයට එකතු වුණේ.
වාණිජ අංශයෙන් උසස් අධ්‍යාපනයක් හදාරපු හෂාන් කලාවට සම්බන්ධ වෙනවට ගෙදරින් අකමැත්තක් තිබුණේ නැද්ද?
නැහැ... මගේ ජීවිතේ කිසිම දේකට ගෙදරින් බලපෑමක්, බල කිරීමක් තිබුණේ නැහැ. අදටත් එහෙමයි. මම හැමවෙලේම නිවැරදි තීරණ ගන්න බව ඒ අය විශ්වාස කරනවා. මම හැමවෙලේම මගේ මනස නිදහස් කරන්න පුළුවන් වැඩ තෝරාගන්න කැමති කෙනෙක්. අපේ අම්මාගේ අක්කාට (ලොකු අම්මා) මම පොඩි අම්මා කියලයි කියන්නෙ. එයා තමයි මම රූපවාහිනියේ ඉන්නවා දකින්න ආසා කළේ. ඒ නිසා මම හිතන විදියට මේ මගේ පොඩි අම්මාගේ හීනයක් සැබෑ වීමක්.
මාතර ගමේදී ගත කරපු ළමා කාලය ගැන ආයෙමත් මතක් කළොත්?
මම මාතර අපරැක්ක කියන දුෂ්කර පළාතක ජීවත් වුණේ. බොහෝ දුෂ්කර අත්දැකීම් මගේ ජීවිතේ තියෙනවා. මම හිතන විදියට මට ළමා කාලයක් තිබුණේ නැති තරම්. මම පැය ගණන් පයින් ඉස්කෝලේ ගිහින් තියෙනවා. ගමට එක බස් එකයි තිබුණේ. උදේට ගිහින් හවසටයි එනවා. ඒ වෙලාවට තමයි අපි ගමනක් දාගන්න ඕනෑ. පාසල් ගිය මුල් කාලේ පාසල් යන්න අපහසු වෙලා තියෙනවා. හය වසරේදී විතර මම ගමේ පොළේ බඩු විකිණුවා. ඒ වගේ බොහෝ කටුක අත්දැකීම් තියෙනවා. ඒ නිසා අද වෙද්දි මම ඉන්න තැන ගැන හිතේ සතුටක් තියෙනවා.
හෂාන්ගේ දෙමාපියන් කළ රැකියා මොනවාද?
මගේ දෙමාපියන් කිසිම කෙනෙක් කලාට සම්බන්ධ අය නෙවෙයි. එයාලා සුළු ව්‍යාපාර කටයුතු කළා. අපේ සීයා ගොවිතැනට සම්බන්ධයි. මගේ පවුලේ මම වැඩිමලා. මට මල්ලිලා දෙන්නෙක් ඉන්නවා. තාත්තාගේ ආදායම පවුලට ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා ආර්ථික අපහසුතා තිබුණා. හැබැයි ජීවිතේ ගැටගහගෙන ඉදිරියට ආවා. පුංචි කාලේ ඉඳන් මට වගකීමක් තිබුණා. පවුලේ ආර්ථික ප්‍රශ්න, පහසුකම් නැතිකම වගේ දේවල් එක්ක ජීවිතේ දරාගන්න සිදුවුණා. පුංචි කාලේ අධ්‍යාපනය මඟහැරුණු තැන් තිබුණා. ළමා කාලය අහිමිවුණු තැන් තිබුණා. ඒ නිසා ඒ කාලේ ජීවිතේ කටුකත්වය වැඩියි. අද ඒවා ගැන මට දුකක් නැහැ.
මාතරින් කොළඹට ආවේ කොහොමද?
මම අම්මාගේ අක්කා ළඟයි හැදුණේ වැඩුණේ. මගේ පොඩි අම්මා මාව පාදුක්ක පාසලට ඇතුළත් කළා. ජීවිතේ වැඩි කාලයක් ගෙවුණේ ඇගේ සෙවණේ. අම්මාට වගේම පොඩි අම්මාටත් මම ගොඩක් ළැදියි. මාව පාසල් යවලා විශ්වවිද්‍යාලයට යවලා මගේ හැමදේම ඇය බලාගත්තා.
තමන්ගේ මහන්සියෙන් හම්බ කරපු මුල්ම මුදල මතකද?
ඔව්... මම පුංචි කාලේ පොළේ පලා විකිණුවා. සෙනසුරාදා හවස පොළේ යන්න මම සිකුරාදා ගමේ ඇවිදලා පලා එකතු කර ගත්තා. ගමේ වගා කරපු පලා ඒ ගොවීන්ගෙන් මම සල්ලි දීලා මිල දී ගත්තා. මට තාම මතකයි ඒ කාලේ අයිතිකරුගෙන් රුපියල් දෙකයි සත පනහට පලා මිටිය මිල දී ගත්තා. මම සෙනසුරාදා පාරේ යන ලොරියක නැගලා ඒවා පොළට ගෙනිච්චා. ඒ කාලේ මම පලා මිටි 25 ක් 30 ක් පොළට ගෙනියනවා. ඒ පලා විකුණලා මම චිත්‍ර අඳින චිත්‍ර පොත්, පින්සල් මිල දී ගත්තා. ඉල්ලන දේවල් අරන් දෙන්න හැකි වත්කමක් අපේ පවුලට තිබුණේ නැහැ. ඒ නිසා පලා විකුණලා මට ඒ අඩුපාඩු සපුරා ගත්තා. පාසලේදී මම පාසල් නැටුම් කණ්ඩායමට ඇතුළත් වෙන්න ආසා කළා. ඒ කාලේ නැටුම් කණ්ඩායමට ඇතුළත් වෙනවා කියන්නේ මාරම දෙයක්. හැබැයි ඒ කාලේ මට ඒ හීනයට යන්න බැරි වුණා. ඉස්සර සෙනසුරාදා හවස හයට රූපවාහිනියෙන් “දඟර වලිග ලප වානර” කියලා කාටූන් එකක් පෙන්නුවා. මම ඒකට හරි ආසයි. ඒ නිසා පලා මිටි 25 කොහොම හරි විකුණලා හවස 6 වෙද්දී ගෙදර තිබුණු කළු සුදු රූපවාහිනිය ඉස්සරහ වාඩිවෙන්න මට ඕනෑ වුණා. හැබැයි සමහර දවස්වලට මට ගෙදර යන්න ලැබුණේ නැහැ. ඒ දේවල් අදත් මතකයි.
විශ්වවිද්‍යාල ජීවිතය මොන වගේද?
පාසල් ජීවිතයටත් වඩා ජීවිතේ බොහෝ අත්දැකීම් මම විශ්වවිද්‍යාලයේදි අත්වින්දා. මිනිස්සු ආශ්‍රය කරන්න ලැබීම වගේම මගේ බාහිර කුසලතා හඳුනාගන්න විශ්වවිද්‍යාලය හොඳ තෝතැන්නක් වුණා. විශ්වවිද්‍යාලයේ අපිට උගන්වපු ආචාර්යවරුන් මම කලාවට දක්ෂ බව හඳුනා ගත්තා. ඒ වෙනුවෙන් ඔවුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ කාලේ මට මහපොළ ශිෂ්‍යත්වය ලැබුණා. ඒක මම කළමනාකරණය කර ගත්තා. තුන් වේලටම විශ්වවිද්‍යාලයේ බත් එක කාපු දවස් තිබුණා. මගේ පොඩි අම්මා මට අඩුපාඩු වෙන්න ඉඩ දුන්නේ නැහැ. ඒ කාලය හරි සුන්දර අත්දැකීමක් වුණා.
ප්‍රථම ප්‍රේමය ගැනත් කතා කරමු?
විශ්වවිද්‍යාලය තුළදී අවුරුදු එකහමාරක පමණ කාලයක් තිබුණු මට දැනුණු ප්‍රේමයක් තිබුණා. අපි කතාබහ කරලා ඒක අවසන් කළා. ක්ෂේත්‍රයට ආවට පස්සේ තව ප්‍රේමයක් තිබුණා. ඒකත් අපි සුහදශීලීව කතාබහ කරලා අවසන් කළා. දැන් ප්‍රේමයක් ගැන හිතන්නේ නැහැ. බැඳීම් තෝරා ගනිද්දී මම හරි කල්පනාකාරී වෙනවා. ඒ නිසා සුදුසු කෙනා හරි වෙලාවේදී ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා.
අද මොකද හිතෙන්නෙ?
අතීතයයි අදයි බලද්දි මම හිතුවාටත් වඩා හීනවලට ගිහින් තියෙනවා කියලා හිතෙනවා. මගේ ජීවිතේ මහ ලොකු හීන තිබුණේ නැහැ. අද මගේ ජීවිතය ගැන මම සතුටු වෙනවා.
