
කවුරුත් දන්න ලොකු බ්‍රදර් ගැන වචනයක් කතා කරමු?
ලොකු බ්‍රදර් ගැන වචනයකින් කතා කරලා ඉවර කරන්න අමාරුයි. ලොකු බ්‍රදර් කියන්නේ මගේ ටෙලිනාට්‍ය ජීවිතේ එක්තරා හැරවුම් ලක්ෂයක්. ලොකු බ්‍රදර්ගේ චරිතයට මට ආරාධනා කළේ මගේ ජීවිතයේ ඉතා වටිනා සහ මම ඉතා ගෞරව කරන චරිතයක් වන පාට කුරුල්ලෝ ටෙලිනාට්‍යයේ නිෂ්පාදක, චාමර සමරවික්‍රම මහත්මයා. ඉතින් මේක වෙනස්ම චරිතයක්. මම හිතන්නේ ලොකු බ්‍රදර්ගේ චරිතයේ නැති චරිත ලක්ෂණයක් නෑ. ලොකු බ්‍රදර් කියන්නේ අමුතු හැසිරීමක් තියෙන, නමුත් මානුෂීය චරිත ලක්ෂණ තියෙන කෙනෙක්. ඔහුගේ චරිතයේ හාස්‍ය ලක්ෂණ තියෙනවා. වෙනම මානුෂීය පැතිකඩක් තියෙනවා. බොහොම හිතවත්, පවුලට ආදරය කරන චරිතයක්. මේ චරිතයේ හැසිරීම ටිකක් වෙනස්. ලොකු බ්‍රදර්ගේ හැසිරීම වෙනස්. ඔහු කතා කරන විදිහ වෙනස්. ඔහුගේ භාෂා ශෛලිය වෙනස්. ඉතින් ඒක ටිකක් වෙනස් රංගනයක්. ලොකු බ්‍රදර්ගේ චරිතය මගේ රංගන ජීවිතයේ මම අත්හදා බලන තවත් එක් රංගන විධික්‍රමයක්. මොකද මගේ ජීවිතයෙන් මම වෙනස් වුණා ලොකු බ්‍රදර්ට. මොකද ඒ ඇක්ෂන් එක, කතා කරන විදිහ, භාෂා ශෛලිය, හැසිරීම, ඉරියව්, මේ සියල්ල සැබෑ ජීවිතයේ අපි දකින චරිත ලක්ෂණවලට වැඩිය ගොඩක් වෙනස්. ඉතින් මේක තමයි ලොකු බ්‍රදර්ගේ අනන්‍යතාවය. ඒ වගේම ලොකු බ්‍රදර්ට ප්‍රේක්ෂක ආකර්ෂණය සහ ආදරය ලැබෙන්නෙත් මේ හේතු නිසා. මේ චරිතය සාර්ථක කර ගැනීමේ ගෞරවය මම මුලින්ම ලබා දෙන්නේ මාව විශ්වාස කරලා මේ චරිතය මට බාරදීපු චාමර සමරවික්‍රම අපේ නිෂ්පාදකතුමාට. චාමර අයියා නොහිටින්න ලොකු බ්‍රදර් කෙනෙක් ඉන්න විදිහක් නෑ. ඒ වගේම පාට කුරුල්ලෝ අධ්‍යක්ෂණය කරපු ජයප්‍රකාශ් සිවගුරුන්නාදන් මහත්මයාට මගේ චරිතය මෙහෙයවීම ගැන විශේෂයෙන් ස්තූති කරන්න ඕනෑ. ඔහු චරිතයේ තියෙන හැසිරීම්, චරිතයේ තියෙන සංවේදනා, සොම්නස දොම්නස, මේ හැමදේම එක්ක ඉතාම සියුම් ලෙස අපිව හසුරුවනවා. මේ නාට්‍යයේ රචකයා බුද්ධික සේමසිංහ. ඔහු තමයි ලොකු බ්‍රදර්ව ලියන්නෙ. හැමෝම අහනවා ලොකු බ්‍රදර් කියන වචන කොහොමද ඔයාගේ කටට එන්නෙ කියලා. මගේ කටට එන්නේ බුද්ධික සේමසිංහ ලියන වචන තමයි. ඔහු ඉතා දක්ෂ විදිහට ලොකු බ්‍රදර්ව ගොඩනගනවා.
පාට කුරුල්ලෝ ටෙලිනාට්‍ය ඔබට දැනෙන්නෙ කොහොමද?
මම හිතන විදිහට පාට කුරුල්ලෝ කියන්නේ ලංකාවේ දීර්ඝ නාට්‍ය කලාවේ වෙනස් සංධිස්ථානයක්. චරිතයක් විදිහට ගත්තොත් මම ඉතාම විඳිමින් රඟපාන නාට්‍යයක් ඒක. මේ නාට්‍යයේ හොඳම සාර්ථකත්වය තමයි මෙහි සියලුම නළු නිළියන් පවුලක් විදිහට කටයුතු කිරීම. අපි හැමෝම විඳිමින් මේ චරිත රඟපානවා. පාට කුරුල්ලෝ කණ්ඩායමේ සෑම රංගන ශිල්පියෙක්ම, රංගන ශිල්පිනියක්ම සියයට සියයක්ම තමන්ගේ චරිතයට සාධාරණයක් කරමින් රඟපානවා. ඔවුන්ගේ චරිතවල තියෙන අනන්‍යතා ලක්ෂණවලට ඔවුන් සාධාරණයක් ඉටු කරනවා සහ මේ නාට්‍යයෙන් පිට ගත්තොත් ඔවුන් ඉතා හොඳ පවුලක් විදිහට කටයුතු කරනවා. අනිත් කාරණාව ගත්තොත් චාමර සමරවික්‍රම කියන්නේ සාමාන්‍ය නිෂ්පාදකවරයකුට වඩා එහා ගිය නිෂ්පාදකවරයෙක්. ඔහු මේ නාට්‍ය ගැන සොයා බලනවා. නළු නිළියන් එක්ක ගනුදෙනු කරනවා. ඔවුන්ගේ අවශ්‍යතා සොයා බලනවා. ඔය විදිහට තමයි පාට කුරුල්ලෝ වැඩ කටයුතු සිදු වෙන්නෙ. මම කියන්න ඕනෑ තව වැදගත් දෙයක් තමයි, මේ ගත වෙන්නෙ මගේ ජීවිතයේ අමාරුම කාලයක්. මම අඬමින් ගත කරන කාලයක් මේක. මොකද මගේ මාමා අසනීප තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ඉන්නෙ. ඔහු තමයි මට තාත්තා වුණේ. ඉතින් මම අඬමින් හාස්‍ය චරිතයක් රඟපානවා, අනිත් අයව හිනස්සවන්න. අමාරුම කාලයක රඟපාන හොඳම චරිතයක් මේක. ඉතින් මම පාට කුරුල්ලෝ ටෙලිනාට්‍යයට ආදරෙයි සහ සෙට් එකට යන්න ගොඩක් කැමතියි.
අපි දැක්කා දේවින්දට බිරින්දෑවරු තුන්දෙනෙක් ඉන්නවා කියලා කතාවක් තියෙනවා. ඇත්තටම මොකක්ද ඒ?
බුදු අම්මෝ... ලොකු ප්‍රශ්නයක් වුණා. ඒක හැමෝම ඇහුවා. මට බිරින්දෑවරු තුන්දෙනෙක් තියා එක්කෙනෙක්වත් නැහැ. මම තවම විවාහ වෙලා නෑ. ආදරවන්තියකුත් නෑ. බිරින්දෑවරු තුන්දෙනෙක් කියන්නේ... මම මෙහෙම කියන්නම්. මම වෘත්තීන් තුනක යෙදිලා ඉන්නවා. එකක් රංගන රංගන ක්ෂේත්‍රය. අනිත් එක මම බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා. තුන්වැනි දේ, මම රාජ්‍ය සේවකයෙක් විදිහටත් කටයුතු කරනවා. මේ තුන මම එක විදිහට වගකීමෙන් කරනවා. එකකටවත් අසාධාරණයක් කරන්නේ නෑ. බිරින්දෑවරු තුන්දෙනෙක් කියලා අදහස් කළේ මේ වෘත්තීන් තුන.
ඉදිරියේදී ඔබව රිදී තිරය ඔස්සේ දැකබලා ගන්න හැකියාව ලැබෙනවා. ඒ ගැන වචනයක් කතා කරමු?
ඔව්... මට සිනමාවට ආරාධනා කිහිපයක්ම ලැබුණා. නමුත් මගේ කාර්යබහුලත්වය සහ කාලයත් සමඟ වෙනස්ම විදිහේ චරිතයක් මම බාරගත්තා. මේක සංදේශ් බණ්ඩාර අධ්‍යක්ෂණය කරන ‘අමීගෝ‘ චිත්‍රපටය. අමීගෝ චිත්‍රපටයේ රූගත කිරීම් ඉදිරියේදී සිදු කිරීමට නියමිතයි. මම රඟපාපු චරිත අතරින් හාත්පසින්ම වෙනස් චරිතයක් තමයි මේ සිනමා සිත්තම තුළ මම රඟපාන්නෙ. මම මේ වගේ චරිතයක් මීට කලින් කරලා නැහැ. අභියෝගයක් විදිහට තමයි මම මේ චරිතය බාරගත්තෙ. මම විශේෂයෙන් ස්තූතිවන්ත වෙන්න ඕනෑ රොෂාන් පිලපිටිය අයියාට. එයා තමයි අමීගෝ චිත්‍රපටයේ මේ චරිතයට මම සුදුසුයි කියලා මගේ නම යෝජනා කළේ. අමීගෝ ගැන වැඩි විස්තර දැන්ම ඕනෑ නැහැ. චිත්‍රපටය ගැන අපි ප්‍රේක්ෂකයන්ට කුතුහලයක් ඉතිරි කරමු.
ඔබ කලාකරුවෙක් ලෙස ජීවිතය පටන් ගත්තේ වේදිකාවෙන්. ඒ ගැනත් සටහනක් තබමු?
ඇත්තටම වේදිකාව තමයි මගේ ජීවිතේ. ඒකට හේතුව මම පාසල් වේදිකාවෙන් එන නළුවෙක්. පසුව මම විශ්වවිද්‍යාලයට එනවා. විශ්වවිද්‍යාලයෙන් ප්‍රසිද්ධ වේදිකාවට එනවා. වේදිකා රංගනය කියන්නේ මම කිසිම වෙලාවක අමතක කරන්නේ නැති මගේ ජීවිතයම රඳා පැවතිලා තියෙන තැන. වේදිකාව මේ තරම් විශේෂ වෙන්නේ ඇයි කියලා ඇහුවොත් මට කියන්න පුළුවන් නළුවකුගේ විනය හැදෙන්නේ වේදිකාවෙන්. නළුවකුගේ හැකියාව විශාල පරාසයකට විහිදුවන්න පුළුවන් තැනක් තමයි වේදිකාව. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට එනකොට රංගනය සම්බන්ධව ලොකු අත්දැකීමක් අරන් එන්න පුළුවන් තැනක් තමයි වේදිකාව කියන්නෙ. වේදිකා රංගනයේදී ජීවිතය, තෘප්තිය, අත්දැකීම් සහ සම්බන්ධතා ලැබෙනවා සහ වර්ධනය වෙනවා. වේදිකාවෙන් එන රංගන ශිල්පියකුට අත්දැකීම් ගොඩක් තියෙනවා. වේදිකාව කියන්නෙ අපි සජීවී ඉදිරිපත් කිරීම් කරන තැනක්.
වර්තමාන ටෙලිනාට්‍ය කලාව පවතින තත්ත්වය ගැන දේවින්දගේ අදහස මොකක්ද?
මම මේක කරුණු දෙකක් ඔස්සේ කියන්නම්. එකක් තමයි, දැන් අපේ ටෙලිනාට්‍ය වෙන් කරලා තියෙනවානේ මෙගා, සම්භාව්‍ය වගේ විවිධ කොටස්වලට. නාට්‍ය සම්මාන උළෙලවල් ගත්තම, නාට්‍යවලට සම්මාන දෙන්නේ බොහෝ විට කොටස් සියයට අඩු නාට්‍යවලට. එතකොට මම අහන්නේ කොටස් 300 ක්, 400 ක් යන නාට්‍යයක හොඳ නළුවන් ඉන්නම බැරිද? හොඳ නිළියන් ඉන්නම බැරිද? අනිවාර්‌යෙන් පුළුවන්. එතකොට ඒ රංගන ශිල්පියා හෝ රංගන ශිල්පිනියව ඇගයීමකට ලක් වෙනවද? නෑනේ.. හැබැයි මම පෞද්ගලිකවම දැකලා තියෙනවා මෙගා නාට්‍යවල රඟපාන නළුවෝ සියයට සියයක් තමන්ගේ චරිතයට සාධාරණයක් ඉටු කරනවා. ටෙලිනාට්‍ය කියන්නෙත් එක්තරා විදිහක කර්මාන්තයක්නෙ. ඉතින් මේ කර්මාන්තය රැකෙන්නත් ඕනෑ. කලාව රැකෙන්නත් ඕනෑ. හොඳ නිර්මාණ ලැබෙන්නත් පුළුවන්. නොලැබෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් හොඳ නිර්මාණ කියන දේ ලැබෙනකම් ඉන්නවාට වැඩිය, තමන්ට ලැබෙන නිර්මාණය හොඳින් කරන්නේ කොහොමද කියලා හිතන එක තමයි වැදගත් වෙන්නෙ. අනිත් කතාව තමයි, මේක මට කියන්නම වුවමනා වෙලා තිබුණු කතාවක්. දැන් YouTube views වලින් තමයි ගොඩක් දුරට නාට්‍යයක සාර්ථකත්වය මනින්නෙ. Comments මත තමයි තීරණය කරන්නේ මේ නාට්‍ය හොඳද නැද්ද කියලා. එතකොට අපි කියමු මුළු නාට්‍යයේම views මිලියනයක් විතර යනවා. Comments දාහක් හෝ පන්සියයක් විතර තියෙනවා. එතැනින් එහාට TV Ratings තියෙනවා. ටීවී බලන ගොඩක් මිනිස්සු ලංකාවේ ඉන්නවා. ඒ ප්‍රේක්ෂකාගාරයේ දත්ත තවම හරියටම ගණනය වෙන්නේ නෑ. උදාහරණයකට පාට කුරුල්ලෝ ටෙලිනාට්‍යම ගත්තොත් මේ ටෙලිනාට්‍ය බොහෝ රටවල්වල ප්‍රේක්ෂකයන් යූටියුබ් ඔස්සේ බලනවා. අපේ රටෙත් බලනවා. ඒත් මම හිතනවා ඊට එහා ගිය විශාල ප්‍රේක්ෂාගාරයක් රූපවාහිනිය ඔස්සේ ටෙලිනාට්‍ය නරඹනවා කියලා. ඒ ජන ආකර්ෂණය වෙනම එකක්. රූපවාහිනියෙන් නාට්‍ය රසවිඳින ප්‍රේක්ෂකාගාරය කවදාවත් නැතිවෙන්නේ නෑ. ඒ වගේම යූටියුබ්වලින් විතරක් නාට්‍ය රසවිඳින ප්‍රේක්ෂකාගාරයකුත් ඉන්නවා. ඉතින් මම හිතනවා මේ දෙකම එකතු වුණාම අති විශාල ප්‍රේක්ෂකාගාරයක් අපේ ටෙලිනාට්‍ය රසිකයන් බවට පත්වෙලා ඉන්නවා කියලා.
අද වෙනකොට කලා ක්ෂේත්‍රයට වැඩි වශයෙන් ආධුනික තරුණ පිරිසගේ පැමිණීමක් තියෙනවා. මේ තරුණ පිරිසට ඔබ දෙන උපදෙස මොකක්ද?
රංගනය ඉගෙන ගන්න. මූලිකවම හදාරන්න කියන්නේ work shops ගිහින් හදාරන්න කියන දේ නෙවෙයි. එහෙම යන්න. ප්‍රශ්නයක් නෑ. හැබැයි රංගනය හදාරනවා කියන්නේ ස්වයංවරය හදාරන්න. හොඳ නිර්මාණ බලන්න. එතකොට හැඟීම්, සංවේදනා පුහුණු කරන්න. එතකොට චරිත අධ්‍යයනය කරන්න. අමුතු විදිහට හැසිරෙන මිනිස්සු ඉන්නවා. අමුතු විදිහට කතා කරන මිනිස්සු ඉන්නවා. ඒත් චරිත පුහුණුවීම් කරන්න. නාන කාමරයේදී හරි කණ්ණාඩිය ඉස්සරහදී හරි ඒවා කියලා බලන්න. ඒක තමයි හැදෑරීම. නාට්‍යයක රඟපානකොට අපිට චරිතනේ වැදගත් වෙන්නෙ. එයින් ජීවිතයට අත්දැකීම් එකතු කරගන්න. රංගනයේදී වැදගත් වෙන මූලිකම දේ ඒක. ඊට අමතරව පුළුවන්නම් තවත් තුනක් තියෙනවා එකතු කරගන්න. ඒ තුන තමයි කියවන්න, බලන්න, ලියන්න. ඔය තුන මම හිතන්නේ රංගන ශිල්පියකුට ඉතාම වැදගත්.
• මංගලා පවිත්‍රානි
