අපේ ක්ෂේත්‍රයේ දක්ෂයන්ගේ කිසිම අඩුවක් නෑ-අයිශාරා අතුකෝරල

 


මේ දිනවල මෙරට චිත්‍රපට  ප්‍රේක්ෂකයන්ගේ වැඩිම අවධානයට ලක්වී සිටින්නී ඇයයි. අයිස් ක්‍රීම් චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය සමඟින් වසර ගණනකට පසුව ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්ව සිටින ඇයගේ සුරූපී පෙනුම මෙරට සිනමාවට පමණක් නොව හොලිවුඩයට වුවද ගැළපේ. රංගන ශිල්පිනියක් පමණක් නොව දක්ෂ නිරූපණ ශිල්පිනියක්ද වන ඇය නමින් අයිශාරා අතුකෝරලය.


ලැබෙන ප්‍රතිචාර ගැන කියලම කතාව


පටන් ගමු?


අයිස්ක්‍රීම්වලට ලැබෙන ප්‍රතිචාරය ගැන කියද්දී බොහොම උද්‍යොගිමන් ප්‍රතිචාර ලැබෙනවා. සමහර අයට මාව අලුත් මුහුණක්  වුණාට සමහර අයගේ ප්‍රතිචාරය ඊට වෙනස්. මාව මීට කලින් දැකලා තිබෙන අය  ප්‍රතිචාර දක්වන්නේ කාලෙකින් නැවතත් ක්ෂේත්‍රයට ඇවිත් කියන අදහසින්. මම මොඩ්ලිං කරපු කාලයේ දැකපු  කිහිප දෙනෙක්ට හෝ මාව මතක ඇති කියන අදහස තිබුණා. ඒත් එක්කම ප්‍රේක්ෂකයන් මාව නැවතත් නිර්මාණයකින් දකින්න ලැබීම  ගැන උනන්දුවෙන් කතා කරන එකම ලොකු සතුටක්.


අයිස්ක්‍රීම්වලට අමතරව තවත් අලුත්ම චිත්‍රපටයක් සමඟ වැඩ කරන බවට ආරංචියි.  ඒ ගැනත් පොඩ්ඩක් විස්තර කියමු?


ඇත්තටම මම ලංකාවට එන්නේ ඒ වැඩේට. මම ලංකාවට ආවේ ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයාගේ සැඟවුණු නගරය කියන චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා. අනුරාධපුර රිටිගල සිදුකරපු එහි රූගත කිරීම් මේ වෙද්දී අවසන්. ඒ අතරතුර තමයි අයිස්ක්‍රීම් චිත්‍රපටය තිරගත වීම ආරම්භ වුණේ.


එයත් වෙනස්ම වැඩක් වෙයි එහෙනම්?


ඔව්, ඇත්තටම ඒ චිත්‍රපටයේ කතා කෙරෙන්නේ රිටිගල ජයසේනගේ කතාව.  එය සම්පූර්ණ ඓතිහාසික කතාවක් නොවන වෙනස්ම ආකාරයේ නිර්මාණයක්.  මම එහි නිරූපණය කරන්නේ රිටිගල ජයසේන ආදරය කරන කාන්තාවගේ චරිතය.


සිංහල චිත්‍රපට ප්‍රේක්ෂකාගාරය රට ඇතුළට විතරක් සීමා වීම ගැන ඔබේ අදහස?


ඔය ගැන කතා කරද්දී සමස්ත රට  සම්බන්ධයෙන්ම කතා කරන්නේ සිද්ධ වෙනවා. එතැනදී චිත්‍රපට කර්මාන්තය ගැන විතරක් වෙනම වෙන් කරලා කතා කරන්න අපහසුයි. මම දකින විධියට මේකට හේතුව අපේ රටේ ඉන්න දක්ෂයන්ගේ අඩුවක් නෙවෙයි. අපිට හොඳ අධ්‍යක්ෂවරු, හොඳ රංගන ශිල්පීන්, හොඳ නිෂ්පාදකවරු, හොඳ තිරපිටපත් රචකයන් වගේම හොඳ වේශ නිරූපණ ශිල්පීන් පවා ඉන්නවා. මේ ක්‍ෂේත්‍රය ඇතුළේ දක්ෂයන්ගේ කිසිම අඩුවක් නැහැ. විදෙස් රටවල ජීවත්වෙලා අත්දැකීම් තියෙන කෙනෙක් විධියට අපි ඒ රටවලදී වැඩක් කරගන්න ගියත් ආපහු ගෙදර එන්නේ අපෝ ලංකාවේ වගේ වැඩ්ඩෝ මේ රටවල නැහැ කියන එක කියන ගමන්. මට හිතෙන විධියට මෙතැන ගැටලුව තිබෙන්නේ මූල්‍යමය පැත්තෙන්. නිර්මාණයකදී වියදම් කරන්න තිබෙන මුදල් ප්‍රමාණය සීමිත වෙද්දී, නිර්මාණයේ නිර්මාණශීලීත්වය සෑහෙන දුරට සීමා වෙනවා. මම ඉඳලා තිබෙන රංගනය සහ නිරූපණය කියන ෆීල්ඩ් දෙකේදිම මම ඔය ගැටලුව දැක්කා. අපේ අයගේ පරිකල්පනයේ හෝ නිර්මාණශීලීභාවයේ කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඔවුන්ගේ නිර්මාණය ඒ විධියටම එළියට දාන්න ගොඩක් වෙලාවට මුදල් කියන දේ හරස් වෙනවා. ඒක ඇත්තටම කනගාටු හිතෙන තැනක් ඉතින්.


ඔබේ පෙනුමෙන්, හැකියාවෙන් වැඩක් ගත්තා මදි කියලා හිතෙන්නේ නැද්ද?


එහෙම හිතෙන තැන් ගොඩක් තිබෙනවා. නමුත් ඒකට මමත් වගකියන්න ඕනෑ. මම ලංකාවේ ජීවත් වුණු කාල සීමාව ඉතාමත් අඩුයි. පාසල් අවධියෙන් පස්සේ මම ලන්ඩන් යනවා. ඊට පස්සේ වසර ගණනක් එහි ඉඳලා තමයි මම 2013 විතර ලංකාවට ඇවිත් කලාවට සම්බන්ධ වෙන්නේ. ඊට පස්සෙත් 2017 නැවතත් රටින් පිට වෙනවා. ඔය අවුරුදු හතරට මට නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ විශාල ප්‍රමාණයක් හිමි වුණා. ඒ හිටපු කාලයේ හැමදාම වැඩ කළා. ඒ අතරතුර තමයි මම ටික ටික කලාවට සම්බන්ධ වෙන්නේ. එතැනදී මගේ සමකාලීන මිත්‍රයෙක් වුණු දිනෙත් ඩී. සිල්වා තමයි මාව පැණි මකුළුවෝ චිත්‍රපටයට සම්බන්ධ කරන්නේ. ඔහු තමයි මාව ඒ කාලයේ රංගනයට උනන්දු කළේ. මගේ පළමු වැනි චිත්‍රපටය තමයි ඉසුරු විරසිංහ මුදලිගේ පැණි මකුළුවෝ. ඔය අතරතුර මම ෆැශන් ෆූට් එකක් කළා. ඒ හරහා තමයි මට ජයන්ත චන්ද්‍රසිරි හමුවෙන්නේ. එතැනදී ඔහු මට හන්කිති 13ට එකතු වෙන්න ආරාධනා කළා. ඔය විධියට තමයි මම ඒ කාලයේ වැඩ කළේ. ලංකාවෙ වැඩි කාලයක් නොසිටීම නිසා තමයි නිර්මාණවලට අඩුවෙන් සම්බන්ධවීමට හේතුව.


රංගනය සහ නිරූපණය එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර දෙකක්, මේ දෙක එකිනෙකට පටලවගන්නේ නැතුව වැඩවලට සම්බන්ධ වුණේ කොහොමද?


ඔව් ඇත්තටම ඒ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් ක්ෂේත්‍ර දෙකක්. නිරූපණයදී අපි හරියට හැඟර් එකක් වගේ. එතැනදී අපේ මුහුණෙන්  කිසිම හැඟීමක් පෙන්වන්න බැහැ. ශරීරයත් එහෙම වෙන්න අවශ්‍යයි. ඒ කාලයේ මට සමහර අවස්ථාවල මගේ මුහුණ තව හැඟීම් විරහිත වෙන්න ඕනෑ, තවත් කෙට්ටු වෙන්න ඕනෑ වගේ ප්‍රතිචාර හිමිවෙලා තිබෙනවා. මම නීතිය හදාරපු කෙනෙක් විධියට නිරූපණය කරන එක අනිවාර්ය නොවුණත් ඒ දවස්වල ආසාවට ඒ වෙනුවෙන්  මහන්සි වුණා. රංගනයේදී ඒක ඊට වෙනස්. එතැනදී අපි අපේ හැඟීම් නියම විධියට එළියට දෙන්න අවශ්‍යයි. නිරූපණයේදී අපි ගොඩනඟා ගන්න ශරීරය අපිට රංගනයේදී ඒ විධියට පවත්වාගෙන යන්න බැහැ. එහිදී චරිතයෙන් චරිතයට වෙනස් වෙන්න සිද්ධ වෙනවා. එහෙම බලද්දී රංගනය සහ නිරූපණය කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස්  ක්ෂේත්‍ර දෙකක්. ඒ දෙක ගැන අවබෝධ ලබාගත්තේ අත්දැකීම ඇසුරෙන්.


පසුගිය කාලයට වඩා මේ වෙද්දී චිත්‍රපට නරඹන්න එන ප්‍රේක්ෂකයන් පිරිසේ විශාල වර්ධනයක් සිදු වෙලා. මේ කාරණය මොන විධියටද දකින්නේ?


ඇත්තටම එක ලොකු සතුටක්. පහුගිය කාලයේ සමහර චිත්‍රපටවලට විශාල ප්‍රේක්ෂක අවධානයක් හිමි වුණා. මම බලාපොරොත්තු වෙනවා මේ රැල්ල දිගටම තිබෙයි කියලා. එහෙම වුණොත් අපේ චිත්‍රපට ක්ෂේත්‍රය ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන්. හැබැයි මෙතැනදී නිර්මාණකරුවන් ප්‍රේක්ෂකයන්ට හොඳ නිර්මාණයක් ලබා දෙන්න කටයුතු කරන්න ඕනෑ. එහෙම හොඳ නිර්මාණයක් බිහි කරන එක ගැන කතා කරද්දී අපිට ආපහු මුලින් කතා කරපු මූල්‍යමය අර්බුදය කියන කාරණාවට ආපහු යන්න වෙනවා. ඒක හරියට කුකුළද ඉස්සෙල්ලා ආවේ බිත්තරේද වගේ ගැටලුවක්. වැඩේ හොඳ නම් මිනිස්සු බලනවා, මිනිස්සු බලනවා නම් තමයි වැඩේ හොඳ වෙන්නේ. නමුත් චිත්‍රපට සම්බන්ධයෙන් ඇතිවෙලා තිබෙන මේ උනන්දුව ගැන හරිම සතුටුයි.


අවසන් වශයෙන් අයිශාරා අතුකෝරාළව අපිට ඉදිරියේදි  දිගටම දැකගන්න ලැබෙයිද කියන කාරණයටත් උත්තරයක් දෙමු?


ඇත්තටම ඉදිරියේදී දිගටම ඉන්න බලාගෙන ලංකාවට එන්න අදහසක් තිබෙනවා. වැඩ කිහිපයකුත් කතා කරගෙන යනවා. ඒවත් බොහෝ දුරට ඉදිරියේදි සිදු වේවි, ඊට අමතරව මට ලංකාවේ නීතිඥවරියක් විධියට කටයුතු කරන්න නම් ඒ සඳහා වන අවසන් පරීක්ෂණයට මුහුණදෙන්න සිද්ධ වෙනවා. ඒ කටයුතුත් කරගන්න බලාපොරොත්තු වෙනවා. මගේ ආදායම් මාර්ගය රංගනය නෙවෙයි. ඒ නිසා ඕනෑම නිර්මාණයකට එකතු වීමේ අදහසක් නැහැ. නමුත් හොඳ නිර්මාණයන් වෙනුවෙන් දායකත්වය ලබා දීම සිදු කරනවා.


අක්ෂි මාපා වීරසිංහ



Previous Post Next Post