තාරක ආචාරිගේ කියන්නේ පොලොන්නරුව ප්‍රදේශයෙන් බිහිවුණ දක්ෂ, තරුණ සංගීතවේදියෙක්. මේ දිනවල ඔහු ගැයූ කවර් සෝන්ග් එකක් බොහෝ දෙනාගේ අවධානය දිනාගෙන තියෙනවා. ඒ තමයි බන්දුල නානායක්කාරවසම් ලියූ, ආචාර්ය රෝහණ වීරසිංහයන් තනු නිර්මාණය කළ, සුනිල් එදිරිසිංහ මුල් ගායනයේ යෙදෙන “වියෝ වූ පසුවයි” ගීතයට කළ අපූරූ cover song එක. ඒ ගැන වගේම තාරක ආචාරිගේ මෙතෙක් ආ සංගීත ගමන් මඟ ගැන කළ කෙටි කතාබහයි මේ…
මුලින්ම ඔබේ සංගීත ගමන පටන් ගන්න තැනින් කතාව පටන් ගමු
මම ඉපදෙන්නේ පොෙලාන්නරුව පලුගස්දමන කියන ගමේ. මුලින්ම සංගීතයට එන්නේ පාසලේ හය ශ්‍රේණියේ දී. මගේ මවුපියන් වයලීන වාදනය ඉගෙන ගන්න සුනිල් නෙත්තසිංහ ගුරුතුමා ගාවට මාව යොමු කළා. එතැනින් පස්සේ මම වැඩිදුරටත් වයලීන වාදනය ඉගෙන ගන්න ධර්මදාස මුල්ලේගම කියන ගුරුතුමා ගාවට ගියා. ඒ හරහා හොරණ තියෙන එරන්දතී ලලිත කලා ආයතනය මඟින් ඉන්දියාවේ භාත් කණ්ඩේ විභාග කළා. ඔය කාලේ මගේ අයියා ඕගන් වාදනය සහ කී බෝර්ඩ් වාදනය ඉගෙන ගන්න නිසා මටත් ආසාවක් ආවා ගිටාරය ඉගෙන ගන්න. මම සිරිල් විජේසිංහ කියන ගුරුතුමාගෙන් ගිටාරය ඉගෙන ගත්තා. ඔහු තමයි මගේ අයියටත් කී බෝර්ඩ් වාදනය උගන්වපු ගුරුතුමා. ඔහු ගාවට ගිහින් ගිටාරය පුරුදු වෙන ගමන් සර්ගේ සංගීත කණ්ඩායමේ වාදන ශිල්පියෙක් විදියටත් හිටියා. ඔය කාලේ මට වුවමනාවක් ආවා මගේම සංගීත කණ්ඩායමක් හදා ගන්න. වයස අවුරුදු 18දී මගේම සංගීත කණ්ඩායමක් ආරම්භ කළා. විශේෂම දෙයක් තියෙනවා කියන්න ඔය ගුරුතුමාලා තුන්දෙනාගෙන් ඉගෙන ගත්තට පස්සේ මම තීරණය කළා බටහිර සංගීතය න්‍යායාත්මකව ඉගෙන ගන්න. ඒක තීරණය කරද්දී මගේ මිත්‍රයෙක් මාව යොමු කරනවා බත්තරමුල්ල කොස්වත්තේ හිටිය විශ්ව පරණයාපා කියන විශේෂ සංගීතඥයා ගාවට. ඔහු මට බටහිර සංගීතයේ සිද්ධාන්ත කියලා දෙනවා. මම හරි ආසාවෙන් ඒ දේ ඉගෙන ගත්තා. ඉන් පසු ඔහු මාව යොමු කරනවා ඔහුගේත් ගුරුතුමා වන ඩී. ඩී. සී. නවරත්න ගුරුතුමා ගාවට. එතැනින් තමයි සංගීතය ගැන ප්‍රායෝගිකව සොයන්න පටන් ගත්තේ. ඔහු මට උගන්වන දේට අමතරව මම ප්‍රශ්න කරමින් මට අවශ්‍ය දේ සොයා ගත්තා. මම අවුරුදු 16 ඉඳන් සංගීතය ගවේෂණය කරමින් හිටියේ. මගේ පරමාදර්ශි චරිත වුණේ ලෝක සංගීතයේ හිටපු මයිකල් ජැක්සන්, ඒ.ආර්.රහුමාන් වගේ අය.
පවුලෙ සංගීත පසුබිමක් තිබුණද?
මගේ මව හෝ පියා විෂයක් විදිහට සංගීතය හදාරා නැති වුණත්, මම අහලා තියෙනවා සහ මට කියලා තියෙනවා මගේ තාත්තාත් යම් යම් සංගීත සංදර්ශන වල ගීත ගායනා කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ සංගීතයට ලොකු ආශාවක් තිබිලා තියෙනවා. මගේ සංගීත කණ්ඩායම පටන් ගත්තමත් තාත්තා සින්දු කියනවා. මගේ අයියා කීබෝර්ඩ් වාදනයට යොමු වුණා. ඒවත් මම දැක්කා. හැබැයි අපේ පවුලේ සංගීත පසුබිමක් ඇති කළේ මම.
පාසල් කාලයේ පාසලේ කැපී පෙනුණු ශිෂ්‍යයෙක් ද?
අනිවාර්යයෙන්ම ඔව්. මම මුලින්ම ඉගෙන ගත්තේ පලුගස්දමන මහා විද්‍යාලයෙන්. පහ වසර ශිෂ්‍යත්වය සමත් වෙලා මම යනවා පොලොන්නරුව රාජකීය විද්‍යාලයට. ඊට පස්සේ හය හත වසරේ සිටම සංගීතයට යොමු වුණා. ඒ නිසාම ගුරුවරුන්ගේ පැසසුම් තිබුණා. පළවෙනියෙන්ම මම සංගීත කණ්ඩායම හදලා මුල්ම දර්ශනය පැවැත්වූවේ පාසල් ළමුන්ට විශේෂ දර්ශනයක් සහ අනෙක් අයට තවත් දර්ශනයක් විදිහට පාසල් වේදිකාවේ. එතැනින් පස්සේ මුළු පාසලේම ජනප්‍රිය වුණා. එදායින් පස්සේ අදටත් පාසලේ සංගීත කටයුතුවලට මගෙන් වියයුතු දේවල් කරනවා.
දැන් ඔබේ වෘත්තීය සංගීතය පමණ ද?
ඔව්. දැනට මගේ වෘත්තීය සංගීතය. විනෝදාංශයක් රැකියාවක් වෙනවා කියන්නේ වෙනම පැතිකඩක්. අද වෙද්දී සංගීතයේ විවිධ පැතිකඩවල භූමිකාවන් මම කරනවා.
ගායනය, තනු නිර්මාණය දෙඅංශයටම ඔබේ හැකියාවන් තියෙනවනේ, ඔබ වඩාත් කැමති ගායනයටද තනු නිර්මාණයටද?
මම මුල් තැන දෙන්නේ ගායනයට. මට තියෙන හැකියාව ගැන මම දැනුම්වත්. ඒ නිසා මගේ ආරට මගේ ක්‍රමයට මම ගයන්න උත්සාහ කරනවා. වැඩි ඉල්ලුම තියෙන්නෙත් ගායනයට. තනු නිර්මාණයේ දී හිතලා බලලා හොඳ නිර්මාණ කරන්න ලොකු ආසාවක් උනන්දුවක් තියෙනවා.
මේ වෙද්දි ඔබේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවුණු නිර්මාණ කොපමණ තියෙනවද?
ටෙලිනාට්‍ය කිහිපයක සංගීත අධ්‍යක්ෂණය කළා. එකක් ජාතික රූපවාහිනියේ විකාශය වුණු ගමනේ යා ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය. ඒ එක්කම සියත නාළිකාවේ විකාශය වන සින්ධු ටෙලි නාට්‍යයේ සහ ඔෆිස් ලන්තේ ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂණය කළා. තව ඉදිරියට එන්න තියෙන ටෙලිනාට්‍ය හතරක පමණ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙනවා. එ එක්කම චිත්‍රපට දෙකකට පමණ ගීත ගායනා කළා. එකක් හදගැස්ම චිත්‍රපටය. අනිත් එක නුහුරු වෑයම චිත්‍රපටය. මේ වන විට මගේම ගීත නිර්මාණ කිහිපයක් කරලා තියෙනවා. තව ක්ෂේත්‍රයේ අලුත් ගායක ගායිකාවන්ට ගීත නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ වේදිකා නාට්‍ය. මම කැමතිම අංශයක් වේදිකාව. මගේ තියෙන වෙනම හැකියාවක් එළියට ආව තැනක් වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය කියන්නේ. ඒ වෙනුවෙන් පැසසුම් ජයග්‍රහණ ගොඩක් මට ලැබිලා තියෙනවා. මේ වෙද්දී මගේම කියලා ශබ්දාගාරයක් ආරම්භ කරලා සංගීත වැඩ කටයුතු කරගෙන යනවා.
මෑතක ඔබ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ගීතයකට කවර් එකක් කරලා තිබුණා නේද?
ඔව්. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ගීතයකට කවර් එකක් කළා. මේ වෙද්දී ගීතය නිකුත් කරලා සති තුනක් වගේ. ඒ අවස්ථාව මට ලැබෙන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ දෙවැනි පුත් චිරාත් වීරසිංහගේ මංගල උත්සවයේ සංගීතය සැපයුවේ මම. එදා මම සජීවීව ගයපු මගේ ගායන හැකියාව සහ මගේ වාදන හැකියාව රෝහණ සර් දැක්කා. එදා මාව අගය කළා. ඊට පස්සෙත් රෝහණ සර් මට තැන් කිහිපයකදී මුණගැහුණා. ඒ එක්කම අවස්ථා කිහිපයකදී මම එතුමාගේ ගෙදරත් ගියා. ඒ එක දවසක මම කිවුවා සර් සංගීත අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක මටත් ගීතයක් ගයන්න අවස්ථාවක් දෙන්න කියලා. එදා සර් මට කිවුවේ මේ වෙලාවේ අලුත් නිර්මාණ මුකුත් හැදෙන්නේ නැහැ. හැබැයි ඔයාට පුළුවන් මම තනු යොදපු ඔයා කැමති මොකක් හෝ ගීතයක කවර් සෝන්ග් එකක් කරලා ගෙනත් දෙන්න. මම ඒක මගේ යූටියුබ් නාළිකාවේ පළ කරන්නම්. ඒ හරහා ඔයාට හොඳ අවස්ථා ලැබෙයි කියලා. මම ඒ අවස්ථාව ඉතා සතුටින් භාර ගත්තා. ඒ අනුව තමයි බන්දුල නානායක්කාරවසම් රචනා කරපු ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ තනු නිර්මාණයට, සුනිල් එදිරිසිංහයන් ගයපු වියෝ වූ පසුවයි … ගීතය ගායනා කළේ.
ඔබේ පවුලේ තොරතුරු මොනවද?
මගේ බිරිය ගයනි. අපේ පුතා ගීනුර. අපි පවුලක් විදිහට නිදහසේ සතුටින් ජීවත් වෙනවා. මගේ පවුලේ ඉන්නේ අම්මා තාත්තා සහ මගේ සහෝදරයින් දෙදෙනා ඉන්නේ. අයියා සහ මල්ලි. මම පවුලේ මැද ළමයා. උපන් ගම පොලොන්නරුව වුණාට සංගීතය නිසාම අවුරුදු 18 ඉඳන්ම කොළඹ ආවා ගියා.