මට ඕන ලෝකෙම දන්න නිරූපිකාවක් වෙන්න -සිදංගනා කුරේ

 


අම්මා විදිහට රඟපාන නැන්දා ළඟට දුවන්න කිව්වම දිවුවේ මගෙ අම්මා ළඟට වැඩේ අල්ල ගත්ත නිසා ඉක්මනින් දෙබස් මතක හිටිනවා අලුත් අවුරුදු කාලය යනු අවුරුදු කුමරියන් පිළිබඳ වැඩිපුර කතාබහ කරන කාලයකි. 2022 ස්වර්ණවාහීනි සිඟිති අවුරුදු කුමරිය ලෙස ජයග්‍රහණය කළ ඇය දැන් දක්ෂ ළමා රංගන ශිල්පිනියක් සේම ළමා නිරූපණ ශිල්පිනියකි. සිදංගනා කුරේ වන ඇය මේ දිනවල ප්‍රේක්ෂකයා අතරට පැමිණෙන්නේ දෙරණ නාළිකාවේ විකාශය වන ‘නිකිණි කුසුම්’ ටෙලි නාට්‍යයේ ‘ජිත්මි’ ගේ චරිතයෙනි.


සිදංගනා කොහොමද මේ දවස් ගත වෙන්නේ ?


පාසල් වැඩකටයුතුත් කරන ගමන් මේ දවස්වල මං රඟපාන පළවෙනි චිත්‍රපටයේ අවසාන කොටස්වල රූගත කිරීම්වලට සම්බන්ධ වෙනවා. බන්දු සමරසිංහ මාමා, රොඩ්නි මාමා, රෝස් මාමා වගේම තාරුකා වන්නිආරච්චි නැන්දා එක්ක මම ප්‍රධාන චරිතයක් ඒ් චිත්‍රපටයේ රඟපානවා. මගෙ වයස අවුරුදු අටයි. මං ඉන්නේ කිරිබත්ගොඩ. කිරිබත්ගොඩ විහාර මහා දේවි විද්‍යාලයේ 4 වසරේ ඉගෙන ගන්නවා.


ඔයා රංගනයට එන්නේ සිඟිති අවුරුදු කුමාරි තරගයෙන් ජය ලැබුවට පස්සෙද?


ඔව්, ස්වර්ණවාහිනී 2022 සිඟිති අවුරුදු කුමාරි විදියට මම ජයග්‍රහණය කළාට පස්සේ ස්වර්ණවාහීනි නාළිකාවේ විකාශය වුණු ‘මැස්සා’ටෙලි නාට්‍යයට ආරාධනා ලැබෙනවා. ඊට පස්සේ හිරු ටීවී එකේ ‘සසර සෙවණැලි, දුරුතු මන්දාරම‘ කියන පෝය ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා. මං අවුරුදු කුමාරි වෙන්න කලින් ඉඳලම සිරස ටීවී එකේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරන වැඩසටහන්වලට, නත්තල් වැඩසටහන්වල ඒන්ජල් විදියට සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මට වයස අවුරුදු දෙක හමාරයි. ඒ අවස්ථා මට ලබා දුන්නේ සුසන්ත සෙනෙවිරත්න මාමා. ඊට අමතරව වෙළඳ දැන්වීම් සහ මියුසික් වීඩීයෝ වලට මම රංඟනයෙන් සම්බන්ධ වෙලා තියෙනවා.


පාසලේදී ඔයා පොතපතේ වැඩවලට අමතරව කරන විශේෂ වැඩකටයුතු මොනවද ?


මං ඇරොබික්, ජිම්නාස්ටික් ක්‍රීඩා කරනවා. පාසලේ කථික සංගමයේ සාමාජිකාවක් විදියටත් මම ඉන්නවා. ඒ වගේම සුමිත් ගල්හේන සර් යටතේ නාට්‍ය හා රංග කලාව හදාරනවා. නර්තනයත් ඉගෙන ගන්නවා.


රඟපානකොට මුහුණ දුන්න අමතක නොවෙන සිද්ධිය මොකක්ද ?


දවසක් රූගත කිරීම්වලදී අම්මා ළඟට මට යන්න කියනවා. ඒ යන්න කියන්නේ කතාවේ හැටියට මගේ අම්මා විදියට රඟපාන නැන්දා ළඟට. ඒත් මට ඒක අමතක වෙලා මං ඇත්තම අම්මා ළඟට තමා දුවගෙන ආවේ. ඒ සිද්ධිය මට අමතක වෙන්නේ නෑ.


රඟපානකොට ඔයාට බයක් දැනෙන්නැද්ද, දෙබස් එහෙම පාඩම් කරගන්න අමාරු නැද්ද?


නැහැ. මොකද ප්‍රවීණ රංගන ශිල්පී නැන්දලා මාමලා මට හරි ආදරෙයි. ඒක නිසා මට රඟපානකොට බය හිතෙන්නේ නෑ. රඟපාන මුල් කාලේ නම් දෙබස් ඉක්මනට මතක හිටින්නේ නැහැ. හරියට මම දැන් වැඩේ අල්ල ගත්ත නිසා ඉක්මනට මට දෙබස් දැන් මතක තියාගන්න පුළුවන්.


සිදංගනාට කලා ක්ෂේත්‍රයේ සම්මාන, ඇගැයීම් එහෙම ලැබිලා තියෙනවද ?


2023 වසරේ “Child Model Of Thrikala Darani” සම්මානයත්, 2024 වසරේ රයිගම් සම්මාන උළෙලේදී දෙරණ නාළිකාවේ විකාශය වුණු “හේල්‍යන්” නාට්‍යය වෙනුවෙන් ජූරියේ කුසලතා සම්මානයත් හිමි වුණා.


රඟපෑමට අමතරව ඔයාගේ විනෝදාංශ ගැනත් කියන්නකෝ?


මගේ ආසම විනෝදාංශය තමයි කෑම හදන එක. ගෙදර ඉන්න වෙලාවට මගේ පූස් සුරතලත් ළඟ තියාගෙන මම කෑම හදනවා.


රඟපාන්න ආස කරන විශේෂ චරිතයක් තියෙනවද ?


අපොයි ඔව්. මම කැමතියි ගමක ජීවත් වෙන දුප්පත් ගැමි දැරියක් එයාට පුළුවන් විදියට උයලා දීලා සීයා කෙනෙක්, අත්තම්මෙක් රැකබලා ගන්න විදියේ චරිතයක් කරන්න. ගැමි පරිසරයට මම ගොඩාක් ආදරෙයි. ප්‍රවීණ රංගන ශිල්පි බන්දු සමරසිංහ මාමත් මම ගැමි චරිතයක් කරන්න හොඳින්ම ගැළපෙනවා කියලා කීවා.


අලුත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවද ?


තවත් අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න මට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම මම සම්බන්ධ වුණු පළමු සිනමා නිර්මාණය ඉදිරියේදී තිරගත වෙන්න නියමිතයි.


සිදංගනා කැමති අනාගතයේදී වෘත්තීමය රංගන ශිල්පිනියක් වෙන්නද ?


නැහැ. මම ගොඩක්ම ආසයි නිරූපණ ශිල්පය හදාරන්න. මට ඕන ‘ඉන්ටර්නැෂනල් මොඩ්ල්‘ කෙනෙක් වෙන්න. ඒත් එක්කම දක්ෂ සූපවේදිනියක් වෙන්නත් මං හරි කැමැතියි.


ස්තූති කරන්න ඉන්න පිරිස ගැනත් මතක් කරමු.


මගේ කලා ගමනට අත දෙන විශාල පිරිසක් ඉන්නවා. මගේ පවුල, පාසල, තුෂාර තෙන්නකෝන් සර්, ත්‍රිකලා ධරණී මිස්, රුක්ෂානා දිසානායක මිස්, සුමිත් ගල්හේන සර්, සූරියආරච්චී සර්, රෝස්, දේවා, එරන්ද මාමලා, චතූ, මාධවී නැන්දලාට හැමෝටම මම ස්තුති කරනවා.



Previous Post Next Post