ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන ‘රාග’ ටෙලි නාට්‍ය මේ දවස්වල බොහෝ දෙනා අතර ජනප්‍රියයි. ‘රාග’ ටෙලි නාට්‍යයේ පිටපත ලියන්නේ ඔබ දන්න කෙනෙක්. ඔහු සුනන්ද සිල්වා. ‘මලී’, ‘ආත්තම්මා’, ‘සරා’ ඇතුළු ජනප්‍රිය ටෙලි නාට්‍ය වගේම බොහෝ ටෙලිනාට්‍ය රැසක් ඔබ අතරට ආවේ ඔහුගේ පිටපත් රචනයෙන්. ‘රාග’ ගැන වගේම පිටපත් රචනය ගැනත්, අතීත තොරතුරු ගැනත් ඔහු බොහෝ දේ අපට කිව්වා.
තරුණ සුනන්ද අනුරාධපුර ඉඳන් කොළඹ එන්නේ රඟපාන්න හිතාගෙන. ඒ වෙනකොටත් ඔහු අනුරාධපුර කලා උලෙළේ වේදිකා නාට්‍ය කරලා විවිධ දක්ෂතා පෙන්වලයි තිබුණේ. එහිදී හොඳම නළුවා වගේම හොඳම අධ්‍යක්ෂ, හොඳම පිටපත් රචනය සඳහාත් ඔහු සම්මාන ගත්තා. මේ හැම දෙයකින්ම පස්සේ සුනන්දගේ නළු උණ අසනීපය එන්න එන්නම වැඩි වුණා. ඒ නිසාම සාමාන්‍ය පෙළ විභාගය කරලා කොළඹට ආව ඔහු ඉස්සෙල්ලාම පුංචි පුංචි චරිත රඟපාමින් නිර්මාණවලට දායක වුණා. පස්සේ ඔහුගේම කියලා වේදිකා නාට්‍ය නිර්මාණ කිහිපයක්ම කළා. ඒ එකක් පාරාජිකා. සම්මාන රැසක්ම දිනා ගත්තා. ඔහුගේ සහකාරි ඔහුට මුණගැහෙන්නේත් වේදිකාවෙදිමයි. ඒ කාලයේ සුනන්ද ටෙලි නාට්‍යවලත් රඟපාන්න බොහොම කැමැත්තෙන් හිටියේ. ඒ සඳහා ඔහු අධ්‍යක්ෂවරුන්ගෙන් චරිතයක් ඉල්ලගන්න වෙනස්ම දෙයක් කළා. ඒ තමන්ගේ ගෙදර තිබුණු කර්තකොළම්ඹ ගහෙන් ගෙඩි කඩලා ඒ අධ්‍යක්ෂවරුන්ට දීමයි. ඒ කොහොම වුණත් ඔහුට මුලින්ම ටෙලි නාට්‍යයක චරිතයක් දෙන්නේ සිවගුරුනාදන්. ඒ ‘අහිමි ජීවිත’ ටෙලි නාට්‍යයේ. ඒ වගේම ඔහුගේ ජීවිතයේ නව පිටුවක් පෙරළෙන්නේ අපේ නිළි රැජිණ මාලිනී ෆොන්සේකාගේ හමුවීමෙන්. ඔහු ටෙලි පිටපත් රචකයකු වීමේ අත්පොත් තියන්නේ ඇගේ මූලිකත්වයෙන්. ඒ ‘රන්ගිරිදඹ’ ටෙලි නාට්‍ය ඔස්සේ. ඒ විදියට ඇරැඹි ඔහුගේ ගමන අද වන විට බොහෝ දුර ඇවිත්.
‘රාග’ කියන්නේ ඒ දිගු ගමනේ වර්තමාන පියවරවලින් එකක්. ඒ ටෙලි නාට්‍ය පිටපත නිර්මාණය කිරීමේ වස්තුබීජය ඔහුගේ සිතේ පිළිසිඳ ගන්නේ කොහොමද කියලා විමසූ විට ඔහු දුන්නේ මෙහෙම උත්තරයක්.
“මම මේ කියන කාලයේ මේ තරම්ම යූ ටියුබ් සක්‍රියව තිබුණේ නැහැ. ඒ කාලයේ මම යූටියුබ් එක බලන විට එක තැනක මෙහෙම සිද්ධියක් සටහන් වෙලා තිබුණා. ඒ ස්පා එකකට ගිය මනුස්සයෙක් එතැනම මැරිලා කියන ප්‍රවෘත්තිය. මගේ හිතේ මේ ප්‍රවෘත්තිය තිබුණේ කැකෑරෙමින්. ඒ නිසාම මේ ප්‍රවෘත්තිය ගැන මා දිගින් දිගටම හිතන්න ගත්තා.”
ඒ හිතේ පිළිසිඳ ගත්ත වස්තුබීජය ඔහු විවිධ මාන වෙත අරගෙන යමින් කතාවක් ගොඩනැඟුවා. ඒක නරඹන්නන් වෙත රැගෙන එන්නට ඔහු තෝරගත්තේ අධ්‍යක්ෂ සිවගුරුනාදන්ව.
“කතා වස්තුවක් කියන්නේ හරියට මවකගේ කුසේ කලලයක් පිළිසිඳ ගන්නවා වගේ වැඩක්. දරුවෙකු විදියට බිහිවෙන්න මේ කළලය මාස ගාණක් මෝරන්න ඕන. ලේඛකයෙකුත් ඒ වගේ තමයි. ඒ කතා වස්තුව නමැති කලලය ලේඛකයාගේ හිතේ පිළිසිඳ ගත්තට පස්සේ විලිරුදාව හැදෙනතුරු ඒක පෝෂණය කරලා අවසානයේ ඒ සම්පූර්ණ කතාව ප්‍රසූත කරන එකයි ඔහුගේ කාර්යය. ප්‍රසූත කළාට පස්සේ දරුවාව හදා ගන්න දෙන්න ඕන ඒ සඳහා සුදුසු පියෙකුට. මට මුණගැසුණු අධ්‍යක්ෂවරුන්ගෙන් ඒ පිය පදවියට සුදුසුම කෙනා විදිහට මට හැඟුණේ සිවගුරුනාදන් මහතා. එතකොට සිවා හිටියේ ‘පාර දිගේ’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන ගමන්. මම ඔහුව මුණගැහෙන්න ගිහිල්ලා මේ පිටපත ගැන කිව්වා. අවසානයේ ඔහු පැවසුවේ මේ පිටපත වෙන කාටවත් දෙන්න එපා කියලා.”
ඒ අදහසේ හිටිය නිසාම සුනන්ද සිල්වාට තමන්ගේ පිටපත නරඹන්නන් අතරට අරගෙන එන්න කාලයක් යනවා.
“එහෙම වුණේ සිවා ඒ වන විටත් නිර්මාණ කීපයකටම වගේ දායක වෙලයි හිටියේ. ඒ නිසා මේ නිර්මාණයට ඔහුගේ අවධානය යොමු කරන්න කාලය ගත වුණා. සිවගුරුනාදන් මේ නාට්‍යය රූගත කිරීම් කරන්න පටන්ගෙන ස්වාධීන රූපවාහිනියට නිර්මාණය ඉදිරිපත් කළාට පස්සේ ඔවුන් මේක විකාශය කරන්න තෝරගත්තා.”
එහෙම තෝරගත්ත ‘රාග’ ටෙලි නාට්‍යයේ ස්පා ආයතනයක මිය යන පුද්ගලයා විදියට සුනන්ද සිල්වා තෝරා ගන්නේ පුවත්පත් ආයතනයක ප්‍රධානියෙක්.
“ජනමාධ්‍යට පුළුවන් ඕනම දෙයක් ඇති කරන්නත් නැති කරන්නත්. ඒ වගේම මේ වගේ තැනක මනුස්සයෙක් මැරුණාම ගෙදරට ඔප්පු කරන්න ඕන වෙනවා ඒ වගේ තැනක නෙමේ මේ මනුස්සයා මැරුණේ කියලා. ඒක සාමාන්‍ය මනුස්සයෙකුට කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ඒත් පුවත්පත් ආයතනයක් තියෙන කෙනෙකුට පුළුවන් බොරුව ඇත්ත කරන්නත්, ඇත්ත බොරුව කරන්නත්. ඒ නිසා මා ඒ අදාළ පුද්ගලයා විදියට පුවත්පත් ආයතනයක අයිතිකරුවකු තෝරගත්තා.”
රාග. මේ නාමය විවිධ අර්ථ ගැන්වෙනවා.
“මුලින්ම මේ ටෙලි නාට්‍යයට තියන නම ‘ලන්සු තියෙන මල්’. ඒත් ස්වාධීන රූපවාහිනියෙන් කිව්වේ මේ ටෙලි නාට්‍යයට කෙටි නමක් අවශ්‍ය බවයි. ඒ අවස්ථාවේ මගේ බිරිඳට මා පැවසුවේ මේ නිර්මාණයේ යන්නේ මෙහෙම කතාවක්, ඒකට හරියන නමක් කියන්න කියලා. එවිට මගේ බිරිඳ තමයි ටෙලි නාට්‍යයට ‘රාග’ කියන නම යෝජනා කළේ. ඒ නමත් සමඟ නම් කීපයක්ම මම ස්වාධීන රූපවාහිනියට යැව්වා. ඔවුන් රාග කියන නම තෝරාගෙන තිබුණා.”
දීර්ඝ නාට්‍ය ලියන පිටපත් රචකයන්ට අද බොහෝ චෝදනා නැෙඟනවා. ඒ රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ට කලින් පිටපත ලබාදෙන්නේ නැහැ කියන කාරණාව.
“මා නිතරම පිටපත ලියද්දි වැඩි කොටස් ප්‍රමාණයක් අවසන් කරන්න වග බලා ගන්නවා. මේ වන විටත් කොටස් හතළිහක් විතර ලියල අවසානයි. ඉන් කොටස් 35ක් මේ වනවිටත් ටයිප් කරලා අධ්‍යක්ෂවරයාට වගේම කැමරා අධ්‍යක්ෂවරයාටත් යවලා අවසානයි. මේ නාට්‍ය විතරක් නෙවෙයි මා මෙතෙක් ලිව්ව හැම නාට්‍යයකදිම ඒ විදිහට කලින් පිටපතේ වැඩි කොටසක් ලියලා ඔවුන්ට ලබා දෙන්න අමතක කරලා නැහැ. ඒ වගේම මේ ටෙලිනාට්‍යය අවසානය කොහොමද වෙන්නේ කියන කාරණය ඔළුවේ තියාගෙනයි මා පිටපත ලියන්නේ.”
ටෙලිනාට්‍ය පිටුපස තියෙන පිටපත් රචන කාර්යය පහසු කාර්යයක් නොවෙයි.
“කොහොමත් මම උදේ තුනට නැඟිටිනවා. ඒ නැඟිටලා උදේ එකොළහ විතර වන තුරු දිගටම ලියනවා. ඊට පස්සේ ඉතින් හවස් වෙන තුරු නිදාගන්නවා. මගේ දවස ගෙවෙන්නේ ඔය විදියට.”
මෙවන් වගකීම් රැසක් අතර සැරිසරන සුනන්ද සිල්වා මේ වන විට අධ්‍යක්ෂවරයෙක්. ඒ දෙරණ පෝය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ ඔහු. එවැනි භූමිකා රැසක් අතර සැරිසරමින් සිය භූමිකාවල කාර්යයන් නිවැරැදිව කරන්නට වෙරදරන ඔහුට තවත් එවැනි නිර්මාණ කරන්නට අපෙන් සුබපැතුම්.
තිලානි ශානිකා විතානාච්චි