සිඩ්නි ජාතිය අමතන්නයි ලෑස්ති වෙන්නේ - ප්‍රියන්ත සිරිකුමාර.

gossiplanka image 2
ඔහු ලාංකේය ටෙලිනාට්‍ය කලාව සහ සිනමාව තුළ තම අනන්‍යතාව සනිටුහන් කළ කලාකරුවෙක්. එමෙන්ම තණමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යයේ ලොකු අයියා, බොහීමියානුවා ටෙලිනාට්‍යයේ චොප්‍රා අයියා වැනි චරිත හරහා ප්‍රේක්ෂක සන්තානය කැලඹූ රංගන ශිල්පියෙක්. පසුගියදා පැවැති රයිගම් සම්මාන උළෙලේදී ඔහු හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබුවා. අද හදගැස්ම හා එක් වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර.


ඉතින් මේ දවස් ගෙවෙන්නේ කොහොමද?


පසුගිය දවස් කණිෂ්ක රාජපක්ෂගේ මිස්ටර් ප්‍රසිඩන්ට් වේදිකා නාට්‍ය සමඟ ගෙවී ගියා. එම නාට්‍යයේ යුරෝපා සංචාරයක් තිබුණා. ඉතින් රටවල් කිහිපයක දර්ශන වාර කිහිපයක් පැවැත්වුණා. දැන් වාලම්පූරි සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතු සමඟ කාලය ගෙවී යනවා. ඒ වගේම ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු වන ආනන්ද අබේනායකගේ නවතම සිනමාපටයට මේ දිනවල ලැහැස්ති වෙනවා. මේ දවස් ගෙවී යන්නේ ඔන්න ඔය විධියට.


රයිගම් ටෙලි සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවා  සම්මානය හිමිවීම ගැන ඔබේ අදහස?


මේ සම්මානය හිමිවීම ගැන ගොඩක් සතුටුයි. ජෝ දිසානායකට මේ නිර්මාණයට මාව සම්බන්ධ කරගත්තාට ස්තූතිවන්ත වෙනවා. බැක්සයිඩ් නිෂ්පාදකවරයා ඇතුළු සෙසු කණ්ඩායමත් මේ මොහොතේදී ආදරයෙන් සිහිපත් කරනවා. තමන් කරන වෘත්තිය සම්බන්ධයෙන් අගය කිරීමක් ලැබුණු විට යම් උත්තේජනයක් ලැබෙනවා. ඒ තුළින් තමන්ගේ විෂය තුළ පවතින්න විසල් පන්නරයක් ලැබෙනවා. ඉතින් ඒ ගැන මට සතුටුයි.


සම්මානයක් ලැබීම රංගන ශිල්පියෙක්ට ලබා දෙන අභිප්‍රේරණය මොන වගේද?


සම්මානයක් ලැබීම ඕනෑම ශිල්පියකුට තමන්ගේ විෂය තුළ තමන් පිළිබඳව විශ්වාසය ගොඩනඟා ගන්න, තමන්ව නිරීක්ෂණය කරගනිමින් තමා සොයා යන්න ඉතා හොඳ පන්නරයක් ලබා දෙනවා. මේ අයුරින් අපිට ලැබෙන සම්මානය එම විෂයේ අභිවෘද්ධිය සඳහා එයටම එක් කරන්න හැකි නම් ඉතා හොඳයි. සම්මානයක් කියන්නේ අපිට ඒ විෂය තුළට ගමන් කිරීමට ලැබෙන මිණුම්දණ්ඩක්. ඒ මිණුම්දණ්ඩ නිවැරැදිව වටහා ගනිමින් ඒ විෂයටම එක් කිරීම තමයි වැදගත් වන්නේ.


බැක්සයිඩ් කියන්නේ වෙනස් ආකාරයක වෙනස්ම කතාවක්. නිර්මාණයක් ලෙස බැක්සයිඩ් ගැන ඔබේ අදහස සහ නාරද ගැන මතක් කරමු?


බැක්සයිඩ් කියන්නේ මට ලැබුණු ආකර්ෂණීය පිටපතක්. මේ ටෙලිනාට්‍යය නිර්මාණය කළ කණ්ඩායම මේ ප්‍රස්තුතය තෝරා ගැනීම අගය කළ යුතු කාරණාවක්. බැක්සයිඩ් තුළ කතා කරන මාතෘකාව කාලයක් පුරාවට මේ සමාජයේ කතාබහ වන දෙයක්. මේ ටෙලිනාට්‍ය වෙනුවෙන් බැක්සයිඩ් ටෙලිනාට්‍යයට දායකත්වය සැපයූ කණ්ඩායමේ සියලු දෙනාම බොහෝ වෙහෙස මහන්සි වුණා. ඔවුන්ට මේ නිර්මාණය ගැන තමන්ගේ වෘත්තීයභාවයට එහා ගිය හැඟීමක් තිබුණා. අපි ටෙලිනාට්‍ය කලාව තුළින් සමාජයට වඩ වඩාත් මැදිහත් විය හැකි, සමාජය තව තවත් ඉදිරියට ගෙන යා හැකි නිර්මාණ කළ යුතුයි. කලාවේ පරමාර්ථය වන්නේ එයයි. කලාව මිනිසුන් උදෙසා වන සේවයක් ලෙස ගත් විට ලංකාවේ ටෙලිනාට්‍ය කලාව ඒ පැත්තට ගමන් කළ යුතුයි කියා මම සිතනවා. මම පෞද්ගලිකව ඉන් සතුටක් ලබනවා. සමාජය තුළ කතිකාවක් ගොඩනැඟිය හැකි මාතෘකා හමුවේ ටෙලිනාට්‍යකරුවන්ට වැඩ කරන්න ලැබෙනවා නම් ටෙලිනාට්‍ය කලාව ඉදිරියට ගෙන යා හැකියි කියා මම සිතනවා.


මේ දිනවල ඔබ රංගනයෙන් දායක වුණු නෙළුම් කුලුන ලාංකේය සිනමාවේ බ්ලොක්, බස්ටර් එකක් බවට පත් වෙලා. ඒ ගැන මොකද සිතෙන්නේ?


ඒ ගැන ගොඩක් සතුටුයි. අපි දායකත්වය සපයන අදාළ කලා මාධ්‍ය සිනමාව, ටෙලිනාට්‍ය හෝ වේදිකා නාට්‍ය වේවා එය වටා ප්‍රේක්ෂකයා සිටිනවා කියා දැනෙන හැඟීම අපව ඉදිරියට ගමන් කරවීමට විශාල සහයෝගයක් ලබා දෙනවා. එයින් අපිට විශාල ආත්ම විශ්වාසයක් ගොඩනැඟෙනවා. ඒ අත්දැකීම මම මේ මොහොතේ අත්විඳිමින් සිටිනවා. මේ විධියට සිනමාපටයකින් මම ප්‍රේක්ෂකයා අතර ජනප්‍රියත්වයට පත් වුණු පළමුවැනි අවස්ථාව තමයි මේ. ඒක පෞද්ගලිකව මට ලොකු සතුටක්. කර්මාන්තයක් විධියට අපි දායකත්වය සපයන නිර්මාණය ප්‍රේක්ෂකයා අතරට ගිහින් ඉන් නිෂ්පාදකයාට ලාභයක් උපයා ගැනීමට හැකියාව ලැබෙනවා නම් ඒක අපිට විශාල සතුටක්. ඉතින් මේ මොහොතේ ඒ සතුට විඳිනවා. මේ සිනමාපටය මගේ ජීවිතයේ මට ලැබුණු එක්තරා අයුරක සන්ධිස්ථානයක් විධියටත් පෙන්වා දෙන්න පුළුවන්. හිරන්‍යා පෙරේරා සහ ඉලංගෝරාම්ට මේ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. අපි මේ තුළ එකඟතාවකින් යුතුව සාමූහිකව වැඩ කළා. එහි ප්‍රතිඵල අපිට ලැබී තිබෙනවා  කියලා මම සිතනවා.


නෙළුම් කුලුනේ ලොකු පුතාගේ චරිතය ගැන කතා කරමු? 


ලොකු පුතා කියන්නේ පවුල් සංස්ථාව තුළ පවුල ගමන් කරවීම සඳහා  සෘජුවම  දායක වන වගකීම් පැවරෙන සහ ඔහු මතට වගකීම් පටවන භූමිකාවක්. පවුලක ලොකු පුතා කියන්නේ බාල සොහොයුරු, සොහොයුරියන් වගේම මවුපියන්ගේ  වගකීම හිස මතට ගත් පුද්ගලයා. යම් පවුලක සමාජ මට්ටම පවත්වාගෙන යෑම හෝ එතැනින් එහාට ගමන් කරන භාරධුර කාර්‍යයේ වගකීම පැටවෙන්නේ ඔහු මත. මම හරි ආශාවෙන් ඒ චරිතයට පණ පෙව්වා.  මේ වගේ චරිත අද සමාජයේ ඕන තරම් සිටිනවා. එවැනි චරිත අපිට මුණගැසෙනවා. මෙවැනි චරිතයක් ලබාදීම ගැන මම ඉලංගෝට ස්තුතිවන්ත වෙනවා. 


නෙළුම් කුලුන තුළ සැඟවුණු දේශපාලනික යටිපෙළ ප්‍රේක්ෂකයාට ප්‍රක්ෂේපණය වෙයි කියා ඔබ සිතනවාද?


සිනමාව රසවිඳීම කියන දෙය අපේ ප්‍රේක්ෂකයාට නුහුරු නුපුරුදු අත්දැකීමක් නෙවෙයි. ඉතිහාසයේ පටන්ම ඉතා හොඳ ප්‍රේක්ෂකාගාරයක් අපිට තිබුණා. සිනමාව සමඟ හොඳින් ගනුදෙනු කළ පරම්පරා කිහිපයක් අපට සිටිනවා. වාසනාවකට අපේ සිනමාව ඉතා ඉහළ මට්ටමක සිටිනවා. අපේ සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව ඉතා සුබවාදී මාර්ගයක ගමන් කරන බවක් පෙනෙන්න තිබෙනවා. අපිට කලින් ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් සිදු කළ කැපකිරීම්වල ප්‍රතිඵල තමයි අපි මෙලෙසින් භුක්ති විඳින්නේ. නවක පරම්පරාව කලාව සමඟ විශාල බැඳීමක් තිබෙනවා. ඔවුන්ට මෙය ඉතා හොඳින් වැටහේවි කියා මම සිතනවා.


ලාංකේය සිනමාව මලයාලම්කරණය වෙලාද මේ ගැන යම් විවේචනයක් තිබෙනවාද?


මම සිතන ආකාරයට එහෙම දෙයක් වෙන්නෙ නැහැ. වෙනත් රටක කලා නිර්මාණවලින් අපි පෝෂණය වෙනවා වෙන්න පුළුවන්. නමුත් අතීතයේ පටන්ම අපේ සිනමාවට එයටම අනන්‍ය වූ හැඩයක් පැවතුණා. 70 දශකයේ වාණිජ සහ කලාත්මක සිනමාව තුළ පවා ඒ හැඩය තිබුණා. ඉන්දියානු සිනමා කර්මාන්තය කියන්නේ අපිට සමීපතම සහ බොහෝ දේ ඉගෙන ගැනීමට හැකි තැනක්. එය කාලාන්තරයක් පුරාවට දැවැන්තව පවතින සිනමා කර්මාන්තයක්. ඔවුන් අප අසලින් සිටීම සිනමා කර්මාන්තයක් ලෙස අපිට විශාල දෙයක්. මම මෙතෙක් වැඩ කළ සහ වැඩ කරමින් සිටින සිනමාපට ශ්‍රී ලාංකික අනන්‍යතාවක් සහිත නිර්මාණ. අපි අපේ සිනමාව තුළ ඉදිරියට ගමන් කරන බවක් පෙනෙන්න තිබෙනවා. 


සිඩ්නි ඩයස් ජාතිය අමතලා, ඔන්න දෙයියෝ එහෙනම් මාරකයත් ලැබුවා, වාලම්පූරි ගැන කියමුද?


ප්‍රථම වරට සිනමාපටයක ප්‍රධාන චරිතයක් කරන්න ලැබුණේ වාලම්පූරි සිනමාපටයෙන්. සිඩ්නි ඒ සිනමාපටයෙන් දැන් ජාතිය අමතන්නයි ලෑස්ති වෙන්නේ. සිඩ්නිගේ ජාතිය ඇමැතීම ප්‍රේක්ෂකයා සමඟ බෙදාහදා ගන්න අපි බලාගෙන සිටිනවා. මේක වසර ගණනාවක් පුරාවට තිබුණු බලාපොරොත්තුවක්. ලංකාව පුරාම සිටින ප්‍රේක්ෂකයන් සමඟ මෙය ආදරයෙන් විඳගන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. මේක මගේ ජීවිතයේ මට ලැබුණු විශාලම අවස්ථාවක්. මේ සිනමාපටය තුළ තිබෙන්නේ වසර ගණනාවක් පුරාවට මේ ක්ෂේත්‍රය අල්ලාගෙන සිටි පිරිසකගේ තරුණ හැඟීම්. අපි කළ කැපකිරීම්වලට අවසානයේදී යහපත් ප්‍රතිඵල ලැබේ කියා මම සිතනවා. ලංකාවේ ප්‍රේක්ෂකාගාරය සිනමාවේ අනාගතය අත්නොහරී කියා මම සිතනවා. ලාංකේය ප්‍රේක්ෂකයා අත තමයි සිනමාවේ අනාගතය තිබෙන්නේ. ඒ ප්‍රේක්ෂකාගාරය සමඟ එක් වෙන්න අපි ආදරයෙන් බලා සිටිනවා.


ගිහාන් සචින්ත

gossiplanka image 1
Previous Post Next Post