ඉන්දියානු සිනමා අඹරට පායන අලුත්ම තාරකාව මිෂෙල්




මිෂෙල් දිල්හාරා කියන්නේ ලංකාවේ කලාවට දායාද වුණු දක්ෂ තාරකාවියක්. රයිගම් සම්මාන උළෙලේ ජනගත නිළිය විධියට සම්මානිත වුණු ඇය ගැන මෙරට මාධ්‍යවල පළ වෙද්දී ඒ හා සමගාමීව ඉන්දියානු පුවත්පත්වලත් ඇය ගැන සඳහන් වුණා. ඒ ඇය දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරි තරු කිහිපයක් එක්ක දැවැන්ත ඉන්දියානු සිනමාපටයකට රංගනයෙන් දායක වන නිසා. කලාතුරකින් කෙනෙක්ට ලැබෙන මේ විශාල අවස්ථාව ගැන දැනගත්තම හදගැස්ම අපිට හිතුණා මේ ගැන ඇගෙන්ම අහලා දැනගන්න.


ඔබට දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරි තරු කිහිපයක් සමඟම චිත්‍රපටයකට අවස්ථාව ලැබිලා තියෙනවා, මුලින්ම ඒ ගැන කතා කළොත්?


මේක මට ලැබුණු පළමුවැනි දකුණු ඉන්දියානු චිත්‍රපටය. එහි මා සමඟ සමුත්‍රකානී, යෝගි බාබු, රම්‍යා නම්බීසන් ඇතුළු පිරිස රංගනයෙන් දායක වනවා. ඒ චිත්‍රපටය නම් කරලා තියෙන්නේ “බයිලා” නමින්. මේක ඇත්තටම මට ලැබුණු විශාල අවස්ථාවක්. මේ චිත්‍රපටයේ තිර පිටපත සහ අධ්‍යක්ෂණය කේ වීර් කුමාර් සිදු කරන්නේ. නිෂ්පාදනය ආර්. කන්නන්ගේ. මේ චිත්‍රපටයට සංගීතයෙන් සනුක වික්‍රමසිංහ  සහ ගීත පද රචනයෙන් පොතුවිල් අස්මින් දායක වනවා. පසුගිය දවසක ඉන්දියාවේ රාමේශ්වරම්හි කෝවිලක මෙහි මුහුරත් උළෙල පැවැත්වුණා. ඒ සමඟම රූගත කිරීම් කිහිපයකුත් සිදු වුණා.


මේ වගේ ලෝකයක් හඳුනන දැවැන්ත තරු සමඟ නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?


අදිරන් චිත්‍රපටයට පස්සේ මේ චිත්‍රපටයේ නිෂ්පාදක ආර් කන්නන් මහත්මයා මට කතාකරලා එයාලගේ අලුත්ම චිත්‍රපටයට මාව සම්බන්ධ කරන්න කැමැතියි කියලා කිව්වා. කොහොමහරි ඊට පස්සේ ඔවුන් ලංකාවට ඇවිත් ඒ ගැන සාකච්ඡා කළා. මේ සාකච්ඡා වට සතියක් පුරා වගේ පැවැතුණා. එතැනින් පස්සේ තමයි මේ චිත්‍රපටයේ මගේ චරිතය සහ කතාව ලස්සන නිසා මම  ඒකට එකතු වෙන්න කැමැති වුණේ. 


කෙනෙක්ට ලේසියෙන් නොලැබෙන අවස්ථාවක් ඔබට ලැබිලා තියෙන්නේ. ඒ ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?


ඒක ඇත්තටම මට ලැබුණු ලොකුම අවස්ථාවක්. මට හරිම සතුටුයි ඔවුන් සමඟ වැඩ කරන්න ලැබීම ගැන. ඉන්දියන් ප්‍රඩක්ෂන් එක කියන්නේ වෙනමම අත්දැකීමක්. විශේෂයෙන්ම එහි නිෂ්පාදක ආර්. කන්නන් සර් තමයි මට මේ වැඩේට ගොඩක්ම කතා කළේ.


දකුණු ඉන්දියානු සිනමාව අද බොලිවුඩය තරමටම ලෝකයට නිරාවරණය වී අවසන්. ඒ වගේ දැවැන්ත කර්මාන්තයකට දායක වීම ගොඩක් අයගේ හීනයක්?


මට ගොඩක් සතුටුයි. මට ලැබුණු ලොකුම අවස්ථාව. ඉන්දියානු නිර්මාණවල සම්පූර්ණ ප්‍රඩක්ෂන් එකම හරිම වෙනස්. එයාලගේ කොස්ටියුම්, මේකප්, කැමරාකරණය, ෂූටිං මේ හැමදේම හරිම වෙනස්. ඉතිං එහෙම අවස්ථාවක් ලැබීම ලොකු සතුටක්. ඒ වගේම ඉදිරියේදී අවස්ථා ලැබුණොත් ලංකාවේ සිනමා නිර්මාණ සහ දකුණු ඉන්දියානු සිනමා නිර්මාණ සමබරව කරගෙන යන්න බලාපොරොත්තු වනවා. 


අදිරන් ටීසරයටත් විශාල වශයෙන් ප්‍රතිචාර හිමි වෙනවා නේද?


අදිරන් කියන්නේ මගේ පළමු දමිළ චිත්‍රපටය. ඒක අධ්‍යක්ෂණය කළේ දිනේශ් කනගරාජ් සර්, නිෂ්පාදනය ඒඩ්‍රියන් ප්‍රඩක්ෂන්. එහි මාත් එක්ක ප්‍රධාන පිරිමි චරිතය නිරූපණය කළේ සුදර්ශන් රවින්ද්‍රන්. එහි ට්‍රේලර් එක නිකුත් වුණා. ඒ් චිත්‍රපටයත් මට වෙනස්ම අත්දැකීමක් වුණා. මොකද මම පළමු වතාවට තමයි දමිළ භාෂාවෙන් නිර්මාණයකට දායක වුණේ. ඉතින් සති දෙකක් පමණ එහි දෙබස්වල උච්චාරණය සිංහලෙන් ලියාගෙන පුරුදු වුණා. චිත්‍රපට රූගත කිරීම් අවසානයේ මම දමිළ භාෂාව යන්තමින් කතා කරන්න සහ කියන දේවල් තේරුම්ගන්න පුළුවන් මට්ටමට ආවා.


වසරේ ජනගත නිළිය ඔබ. ප්‍රේක්ෂකයන්ගේ මේ ආදරය ගැන මොකද හිතන්නේ?


රයිගම් ටෙලි සම්මාන උළෙලේ වසරේ ජනගතම නිළියට හිමි සම්මානය තමයි මට හිමි වුණේ. ඇත්තටම ප්‍රේක්ෂකයන්ට තමයි ඒ සම්මානය අයිති. ඔවුන් නිසා තමයි රංගන ශිල්පීන් හා චරිත පවතින්නේ. ඒ වගේම මම විශේෂයෙන්ම ලලයි ලිලයි ලයි ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සුපුන් රත්නායක මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. මිලා චරිතය කියන්නේ ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරය කරපු චරිතයක්. ඉතින් ඒ චරිතය මට ලබා දීම ගැන මම ඔහුට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම රස රහසක්හි මිශාරාගේ චරිතය මට ලබා දුන්නු අරුණ ජයවර්ධන, රොන් සොයාහි හසරැලිගේ චරිතය ලබා දුන්නු නිවන්ත ප්‍රසාර යන මහත්වරුන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. 


ඒත් එක්කම ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් මතක් කරමු?


මේ දවස්වල අදිරන් චිත්‍රපටයේ රිලීස් එකට සූදානම් වෙනවා. ඒ වගේම බොහෝ දුරට අවුරුද්දෙන් පස්සේ දකුණු ඉන්දියානු සිනමා පටයේ රූගත කිරීම් පටන් ගන්නවා. ඊට අමතරව රංගනයෙන් දායක වුණු  ටෙලි නාට්‍ය කිහිපයක්ම එන්න තියෙනවා. ඒ දේවල් එක්කම මගේ දෙවැනි පොතේ වැඩකටයුතු සහ විශ්වවිද්‍යාල සමඟ සිදු කරනගෙන යන ව්‍යාපෘතිවල වැඩකටයුතු සිදු කරගෙන යනවා.


අවසන් වශයෙන් මෙතෙක් ආපු දුර ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම මට ගොඩක් සතුටුයි. මම හැමවෙලාවෙම අලුත් චරිතයක් ලැබුණම මම නිතරම උත්සහ කරනවා ඒ වන තුරු කරපු චරිතවල ගුණාංගවලට වඩා වෙනස් අලුත් ගුණාංග එකතු කරලා වෙනමම චරිතයක් ගොඩනඟා ගන්න. ඉතින් මේ තාක් කාලයක් ආවා වගේම ඉදිරියටත් මට මේ ක්ෂේත්‍රයේ ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. මොකද මේක දිනපතා අප්ඩේට් වෙන ක්ෂේත්‍රයක්. ඉතින් අලුත් දේවල් ඉගෙන ගනිමින් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව. 


මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවත් ඉගෙනගෙන ලංකාවේ වගේම ජාත්‍යන්තරවත් පිළිගත්ත හොඳ රංගන ශිල්පිනියක් වීම තමයි බලාපොරොත්තුව. ඒ පාර හරිම දුරයි. ඒ අරමුණට යන්න ගොඩක් දේවල් අධ්‍යයනය කරන්න ඕනෑ. ඉතින් ඒ දෙවල් එක්කම හිමීට ගමන යන්න බලාපොරොත්තු වෙනවා.


අක්ෂි මාපා වීරසිංහ



Previous Post Next Post