විද්‍යාව-මිථ්‍යාව මුහු කරලා ඇත්ත හොයාගන්න ඕනෑ-සංක වීරසිංහ

gossiplanka image 2
ඔහු ටෙලිනාට්‍ය කලාව තුළ නව මානයක් සොයා යන අධ්‍යක්ෂවරයෙක්. ඉපැරැණි ලෝකයේ මිථ්‍යාව යැයි කියා අපි අමතක කර දැමූ අපේ පැරැණි උරුමය වත්මනට කැඳවා අනාගත යහපත කරා ගමන් කරවීම ඔහුගේ අරමුණයි. ටෙලිනාට්‍ය කලාව තුළ අතීත උරුමයන් රැක ගනිමින් නව මානයන් කරා ගමන් කරන මේ සොඳුරු අධ්‍යක්ෂවරයා සමඟ අපි කතාබහ කිරීමට සිතුවා. මුරුගසං වරුසා යනු ඔහුගේ නවතම ටෙලි සිත්තමයි. අද හදගැස්ම හා එක් වන්නේ මුරුගසං “වරුසා” ටෙලි සිත්තමේ අධ්‍යක්ෂ සංක වීරසිංහ.


මේ දවස් ගෙවෙන අයුරු ගැන කියමු?


මේ දවස්වල මුරුගසං වරුසා ටෙලිනාට්‍යයේ අවසන් කොටස් කිහිපය නිර්මාණය කිරීම සඳහා කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ නිසා එහි තිරපිටපත රචනා කිරීම කතාව නිර්මාණය කිරීම ආදී කටයුතු සිදු කරනවා. මැයි මාසයේදී එහි රූගත කිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අයුරින් කාලය ගෙවී යනවා.


මුරුගසං වරුසා නිර්මාණය වුණේ කොහොමද?


2016දී තමයි මෙහෙම කතාවක් නිර්මාණය කළ යුතුයි කියන අදහස මගේ මනසට පැමිණියේ. ඉන් පසුව අපි වසර කිහිපයකට පසුව කොරෝනා වසංගතයට මුහුණ දුන්නා. මේ කතාව වසර ගණනාවක් මගේ මනස තුළ පැවතුණා. 2020දී පමණ අපි මේ කතාව ලියන්න ගත්තා. ඊට පසුව ක්‍රම ක්‍රමයෙන් මෙය නිර්මාණය වුණා.


මෙහි තිරපිටපත ලියැවුණු අයුරු ගැනත් කියනවා නම්?


අපි මේ කතාව නිර්මාණය කරලා තිරපිටපත රචනා කරන්න කෙනෙක් සොයමින් සිටියා. ඊට පස්සේ මම මේ කතාව මාය දුන්න බණ්ඩාර සමඟ ලියන්න තීරණය කළා. ඔහු “රූ බැඳි සියඹලා” වැනි විශිෂ්ට ගණයේ නිර්මාණ ලියූ පුද්ගලයෙක්. ඔහු 70, 80 දශකවලදී මේ ජීවිතය අත්විඳපු පුද්ගලයෙක්. ඔහු ඒ සමාජයේ දිවි ගෙවූ කෙනෙක්. ඔහුට මේ නිර්මාණය  යථාර්ථවාදීව ලියන්න පුළුවන් හැකියාවක් තිබෙනවා කියන එක මට සිතුණා. ඔහු සමඟ මේ කතාව කියූ පසුව ඔහු මෙය ලියන්න කැමැති වුණා. වරින් වර කතාබහ කරමින් මෙහි තිරපිටපත රචනා වුණා.


ගැමි කතාවලට ලාංකේය ප්‍රේක්ෂකයා ගොඩක් ආදරේ කරනවා මේ ගැන ඔබේ අදහස?


මට දැනෙන අයුරින් මම මේ ගැන කියන්නම්. මගෙ උපන් ගම කුරුණෑගල. අපි කටුමැටි පැලවල්වල හැදුන එවුන්. අපි දුෂ්කර පරිසරවල, කටුක ජීවිතවල සිහින දකින එවුන්. අපි සිහිනෙකින්වත් රජ මාලිගා දකින්නේ නැහැ. ගම කියන දෙය මිනිසුන්ට මඟ හැරුණා. සොබාදහම කියන්නේ සිතාගන්න බැරි විස්මයක්. මිනිස්සු මෙය අතහැරලා දාලා විද්‍යාව සමඟ ඉදිරියට පැමිණියා. නමුත් මිනිස්සු දියුණු නැහැ. එදා මිනිස්සු සහ අද මිනිස්සු හාත්පසින්ම වෙනස්. මිනිස්සු ගොඩක් කැමැති ගැමිකමට. අදටත් මිනිස්සු ගැමිකම සොයා ගමට යන්නේ ඒ නිසා.


මුරුගසං වැරුසාවට ලැබෙන ප්‍රතිචාර ගැනත් කියමු?


ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය මාව දුරකථනයෙන් අමතනවා. කොහෙන් නොම්බරේ හොයා ගන්නවාද මන්දා. සමහරු පැය ගණන් කතා කරනවා. මට හාමුදුරු නමක් කතා කළා. උන්වහන්සේ මට මුරුගසං වරුසාව ගැනත් කියලා දුන්නා. එය කල්පාවසානයේ වසින වැස්සක් කියලා උන් වහන්සේ මට කිව්වා.


නිසල විල සසල කළ මුරුගසං වරුසා මොකක්ද මෙහි අරුත?


නිසල විල සසල කළ කියන දෙයින් අදහස් කළේ මෙන්න මෙහෙම කතාවක්. ගම කියන්නේ නිසල විලක් වගේ දෙයක්. නමුත් මේ කතාවට අනුව දොස්තර මහතාගේ පැමිණීමෙන් මේ ගම සසල වෙනවා. මිනිස්සු සිතනවා දොස්තර මහතාගේ ආගමනයෙන් මේ ගමට සුබ සෙතක් වෙයි කියලා නමුත් මේ ගමම විනාශ වෙනවා. මේ කතාව වත්මන් දේශපාලනය මොහොත සමඟ කියවා ගන්නත් පුළුවන්.  


ඔබ මේ නිර්මාණය හරහා අතීත ලෝකයේ මිථ්‍යාව විද්‍යාව තුළින් සොයා යනවා  මේ ගැනත් කතා කරමු?


මිථ්‍යාව කියා අපි දකින දෙය මිථ්‍යාවක් නෙවෙයි. එය මිථ්‍යාවක් වී තිබෙන්නේ අද සමාජයට පමණයි. මම කොණ්ඩදෙණිය පන්සලට ගිහින් මාස ගණනක් එහි ජීවත් වෙලා මේ දේවල් අත්වින්ඳා. යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍රවලින් වැඩගත් පිරිසක් අතීතයේ සිටියා. පුස්කොළ පොත්වලින් වැඩගත් පිරිස සිටියා. අද සමාජයේ සිටින හරියට සිංහලවත් කියවා ගන්න බැරි මිනිස්සු මේ දේවල්වල තිබෙන වචන කිහිපයක් අල්ලා ගෙන ඒ දේවල් බොරු කියන්න උත්සහ දරනවා. අද මේ දේවල්වලින් බඩවියත රැක ගන්න පිරිසක් බිහිවෙලා. ඒ නිසා ඇත්ත යටගියා. අපි විද්‍යාව සහ මිථ්‍යාව මුසු කරන්න ඕන. ඒ තුළින් සත්‍ය සොයා යන්න ඕන.


මේ ටෙලිනාට්‍ය තුළ ඉපැරැණි පුස්කොළ පොත් තුළ ගැබ්වුණු දැනුම අඩංගු වෙනවා. මේ දේවල් සොයා ගත් අයුරු කියනවා නම්?


මේ ඉපැරැණි දැනුම මට ලබා දුන්නේ එප්පාවල රතන විදුස්සි හාමුදුරුවෝ. උන්වහන්සේ අදටත් මේ පුස්කොළ පොත් සංරක්ෂණය කරනවා. උන්වහන්සේ ඉතා බල සම්පන්න හාමුදුරු නමක්. මේ තොරතුරු සියල්ල සත්‍ය තොරතුරු. අපි ඉදිරියේදී මේ සත්‍ය තොරතුරු අපේ මිනිස්සුන්ට ලබා දෙනවා.


මේ නිර්මාණය සාර්ථක කර ගැනීමට රංගන ශිල්පී, ශිල්පිනියන්ගෙන් සහ නිෂ්පාදන කණ්ඩායමෙන් ලැබුණු සහයෝගය මොන වගේද?


මේ නිර්මාණය සාර්ථක කර ගැනීමට මට ඔවුන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණා. ඔවුන් සමඟ සාකච්ඡා කරමින් තමයි මම මේ නිර්මාණයට ඔවුන්ව දායක කර ගත්තේ. මේ නිර්මාණයට දායක වුණු සියලු දෙනා ගුප්ත විද්‍යාව, හෙළ වෙදකම වගේ දේවල් විශ්වාස කළා. කාර්‍ය මණ්ඩලයෙන් පවා මට විශාල සහයෝගයක් ලබා දුන්නා. නිෂ්පාදක රුචිර කහඳ වගේම චන්දන ජයසිංහ, අජිත් හත්වැල්ල, තරිඳු පතිරත්න, ගයාන් ගණකධාර, විශ්ව ප්‍රභාත්, කපිල කුමාර කාලිංග කියන පිරිස මට විශාල ලෙස උපකාර කළා. ඔවුන් ඇතුළුව මට උදවු උපකාර කළ සියලු දෙනා මේ මොහොතේ ආදරයෙන් සිහිපත් කරනවා.


ඉදිරි වැඩ කටයුතු ගැන කියමු?


කලාව තමයි මගේ ජීවිතය. අපි මේ දේවල් වෙනුවෙන් තමයි ජීවත් වෙන්නේ. නාට්‍ය හැත්තෑවක විතර  කටු කාලා තමයි මගේම නිර්මාණයකට ප්‍රවිශ්ට වුණේ.  ඉතින් ඉදිරියේදී තවත් නිර්මාණ කිහිපයක්ම නිර්මාණය කරන්න  බලාපොරොත්තු වෙනවා. මේ දිනවල ඒ සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කරනවා.

gossiplanka image 1
Previous Post Next Post