
ඉන්දියානු සිනමා කර්මාන්තයේ දැවැන්ත නිර්මාණයකට දායක වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ ගැන කියලම කතාව පටන් ගමු?
මේ අවස්ථාව අපිට හිමි වුණේ “අයියෝ සාමි ගීතය නිසා”. අයියෝ සාමි ගීතයට ලැබුණු ඉහළ ජනප්‍රියත්වය නිසා ඉන්දියාවේ එඩිසන් සම්මාන උළෙලේදී සම්මානයක් හිමිවුණා. ඒත් එක්කම ඒ ගීතය දකුණු ඉන්දියානු සිනමාකරුවන්ගේ පවා අවධානයට ලක් වුණා කියලා මට හිතෙනවා. ඒ කාරණයත් එක්කම අයියෝ සාමි ගීතයේ පද රචක පොතුවිල් අස්මින් ඉන්දියාවේ ඉන්නේ. ඔහුට පණිවුඩයක් දීලා තිබුණා මේ ගීතය චිත්‍රපටයකට ගන්න පුළුවන්ද කියන කාරණය ගැන. ඒ විධියට තමයි මේ අවස්ථාව හිමි වෙන්නේ.
ඒ ගැන දැනෙන හැඟීම ගැනත් කතා කරමු?
ඇත්තටම විශාල සතුටක් තිබෙනවා. මොකද අපි එහෙම දෙයක් හීනෙකින්වත් හිතුවේ නැහැ. අයියෝ සාමි ගීතය කරද්දී අපි ඒක මේ තරම් ජනප්‍රිය වෙයි කියලාවත් හිතුවේ නැහැ. ඒක චිත්‍රපටයකට ගන්නවා කියලා කිව්වම විශාල සතුටක් දැනුණා. මේ චිත්‍රපටයේ නම තමයි “බයිලා”. මේක ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම්බන්ධ වුණු, රටවල් දෙකම අතර ගෙතුණු කතාවක් තියෙන්නේ. අයියෝ සාමි ගීතය මේ චිත්‍රපටයේ ඇතුළත් වෙනවා.
අයියෝ සාමි ගීතය වගේම මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණයත් ඔබ විසින් නේද කරන්නේ?
ඔව්. අයියෝ සාමි ගීතයට අමතරව මේ චිත්‍රපටයේ අනෙකුත් ගීතවල තනු නිර්මාණය, සංගීතය, පසුබිම් සංගීතය මේ සියල්ල සමඟින් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණ කටයුතු සිදුවන්නේ මගේ අතින්. ඒ වගේම අයියෝ සාමි ගීතයට අමතරව මේ චිත්‍රපටයේ අනෙකුත් ගීත සඳහාත් වින්ඩි ගායනයෙන් සම්බන්ධ වෙනවා. ඊට අමතරව දකුණු ඉන්දියානු සුප්‍රසිද්ධ ගායක ගායිකාවොත් මේ චිත්‍රපටයේ ගීත ගයන්න නියමිතයි. ඒ වගේම මේ චිත්‍රපටයේ ගීත සියල්ලම පද රචනය කරන්නේ අපේ සහෝදරයා පොතුවිල් අස්මින්.
ලෝක ප්‍රසිද්ධ සංගීතවේදීන් ඉන්න රටකින් ඔබට මේ වගේ ආරාධනාවක් ලැබීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි සතුටක් තියෙන්නේ. ඒක ඇත්තටම අපට ලැබුණු වචනවලින් විස්තර කළ නොහැකි තරම් විශාල අවස්ථාවක්. ඇත්තටම බයිලා චිත්‍රපටයේ මුහුරත් උළෙල ඉන්දියාවේ රාමේෂ්වරම්හි පැවැත්වුණා. ඒ වගේම එහි රූගත කිරීම් කිහිපයකුත් සිදුවුණා. මේ චිත්‍රපටයේ නිෂ්පාදක ආර්. කන්නන්, අධ්‍යක්ෂණය කේ. වීරකුමාර්ගේ, ඒ වගේම මේ සඳහා සුප්‍රකට දකුණු ඉන්දියානු නළු නිළියන් වන සමුත්‍රකානි, රම්‍යා නම්බීසන් සමඟින් ප්‍රධාන චරිතවලින් මිෂෙල් දිල්හාරා සහ ජීවන් කුමාරතුංග සහ රාජ්කුමාර්, යෝගි බාබු, ඉලාවරසු, සිංගම්පුලි, මධුමිතා කියන ශිල්පීන්, ශිල්පිනියන් සම්බන්ධ වෙනවා.
දැන් දැන් අපේ තරුණ නිර්මාණකරුවන් බොහෝමයක් ජාත්‍යන්තරය තුළ අවස්ථා නිර්මාණය කරගන්නවා ඒ ගැන කතා කළොත්?
මෑත කාලයේ අපේ ගීතයක් හින්දි චිත්‍රපටයකට යොදාගත්ත අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම අපේ පරම්පරාවේ දැන් දැන් මේ දේවල් සිද්ධ වෙනවා. ඊයේ පෙරේදා අපේ ශ්‍රී ලාංකික තරුණයන් තිදෙනෙක් දමිළ චිත්‍රපටයක ගීතයට වීඩියෝකරණයෙන් දායක වෙලා තිබුණා. ඒ වගේම අපේ ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් ඉන්දියානු බෑන්ඩ් කම්පෙටිශන් එකක තරග වදිනවා. ඒ වගේ මගේ පරම්පරාව ඇතුළේ සෑහෙන දේවල් ටිකක් මේ වෙලාවේ සිදුවෙමින් පවතිනවා. ඒ ගැන ගොඩාක් ආඩම්බරයි. ඒ වගේම මම, වින්ඩි සහ පොතුවිල් අස්මින් එකතුවෙලා කරපු මේ සිංදුව මේ විධියට චිත්‍රපටයක් දක්වා ආපු ගමනෙන් අපේ සංගීත ක්ෂේත්‍රයට එන්න ඉන්න අය තවත් අභිප්‍රේරණයට ලක් වෙයි කියලා තමයි අපේ බලාපොරොත්තුව.
ඉන්දියානු සිනමා කර්මාන්තය හා අපේ සිනමා කර්මාන්තය අතර තියෙන වෙනස ගැන කතා කළොත්?
මම ගොඩාක් ලොකුවට දේවල් දැකලා නැහැ. මම දැකපු පොඩ්ඩ ඇතුළත මම කියන්නේ, මුදල් කියන කාරණය නිසා අපේ සිනමාව ඇතුළේ අපිට සමහර දේවල් සීමා වෙලා තියෙනවා. එතැනදි සමහර වෙලාවට කලාත්මක දේවල්වලදි, රටේ තියෙන පහසුකම්වල අඩු බව හා මූල්‍යමය පහසුකම්වල අඩු බව එක්ක අපිට යන්න පුළුවන් සීමාවන් අඩු වෙනවා. නමුත් අපේ කලාකරුවන් ගත්තම ඔවුන්ගේ දක්ෂකම පැත්තෙන් කිසිම අඩුවක් නැහැ.
බයිලාවලට පෙර ඔබ, වින්ඩි සහ පොතුවිල් අස්මින් තිදෙනා තවත් දකුණු ඉන්දියානු සිනමා පටයකට සම්බන්ධ වුණා නේද?
ඔව්. ඒ, කාමා කියන චිත්‍රපටයට, ඒ චිත්‍රපටයටත් මම ගීත නිර්මාණයෙන්, පසුබිම් සංගීතයෙන් ඇතුළු සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වෙනවා වගේම මෙහි මමත් වින්ඩිත් ගීත ගායනා කරනවා. ඒ වගේම තවත් සුප්‍රසිද්ධ ඉන්දියානු ගායක ගායිකාවන් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම මේ චිත්‍රපටයටත් පොතුවිල් අස්මින් සහෝදරයා පද රචනයෙන් දායක වෙනවා. මංජිත් දිවාකර්ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟදක්වන්නේ ආර්.කේ. සුරේශ්, අජේ වන්දයියාර් හා ස්වාසිකා වී.ජේ.
ඔබටත් වින්ඩිටත් මේ ලැබුණු අවස්ථාව ගැන මවුපියන් බොහොම සතුටු වෙනවා ඇති?
ඒ හතර දෙනා තරම් මේ ගැන සතුටු වෙන වෙන කිසිම කෙනෙක් නැතුව ඇති. මගේ අම්මා තාත්තා, රූකාන්ත අංකල්, චන්ද්‍රලේඛා ඇන්ටි මේ හතරදෙනා නිසා තමයි අපි දෙන්නා අද මෙතැන ඉන්නේ.
අවසන් වශයෙන් ඉදිරියේදි එන්න තියෙන ගීත නිර්මාණ ගැන කතා කරමු?
ඉදිරියේදී මගේත්, වින්ඩිගේත් වැඩ කිහිපයක්ම එන්න තියෙනවා. ඒ අතර විශේෂ නිර්මාණ කිහිපයකුත් තියෙනවා.
