ගොඩාක් මහන්සිවෙලා කැපවීමෙන් කෙනෙක් දෙයක් කළාම ඒකට ඇගයීමක් ලැබෙද්දී ලොකු සතුටක් හිතට දැනෙනවානේ. රංගන ක්ෂේත්‍රයේ ඉන්න අපි හැමෝටමත් සම්මානයක් ලැබෙද්දී දැනෙන්නේ ඒ වගේ සතුටක්. තව තවත් හොඳ නිර්මාණවලට සහභාගී වෙලා උපරිම කැපකිරීමෙන් රංගන කටයුතුවල නිරත වෙන්න සම්මානයකින් ලොකු උත්තේජනයක් ලැබෙනවා. ඒ නිසා කලාකරුවෙක් සම්මානයක් සඳහා නිර්දේශ වීම වගේම, කලාකරුවෙක්ට සම්මානයක් ලැබීමත් මුළු ක්ෂේත්‍රයම දිරි ගැන්වීමක් කියලයි මම හිතන්නේ.’’ බොහෝ දෙනෙක් අතර අතිශයින් ජනප්‍රිය, දක්ෂ රංගන ශිල්පිනියක් වන දිනිති වල්ගමගේ තමයි මෙහෙම කියන්නේ. මෙවර පැවැත්වූ 21වැනි රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය සඳහා ඇයගේ නමත් නිර්දේශ වෙලා තිබුණා. ඒ ස්වර්ණවාහිනියේ විකාශය වූ ‘සුසුම් රස්තියාදුව’ ටෙලිනාට්‍යයේ ගිම්හානිගේ චරිතය වෙනුවෙන්.
සුසුම් රස්තියාදුව ටෙලිනාට්‍යය වගේම ගිම්හානිගේ චරිතයත් ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනප්‍රිය වුණා. බොහෝ දෙනෙක් ඒ ටෙලිනාට්‍යයේ ගිම්හානිගේ චරිතයට පණ පෙවූ දිනිති වල්ගමගේගේ රංගන කෞශල්‍යයන් අගය කළා. ඇත්තටම දිනිති ඒ ටෙලිනාට්‍යයේ ගිම්හානිගේ චරිතයට උපරිම සාධාරණයක් කළ බව අවිවාදයෙන් පිළිගත යුතු කාරණාවක්. ඒ නිසාම ටෙලිනාට්‍ය විකාශය අවසන් වුණත් අදටත් ප්‍රේක්ෂකයන් ගිම්හානි කියන චරිතය ගැන කතාකරනවා. මේ විදිහට ප්‍රේක්ෂක සිත් ඇද බැඳ තබා ගත් සුසුම් රස්තියාදුව ගැන වගේම ගිම්හානිගේ චරිතය ගැන අපි මුලින්ම දිනිතිත් එක්ක කතා කළා.
‘‘සුසුම් රස්තියාදුවේ ගිම්හානි වගේ චරිතයක් මට ලැබුණේ මගේ පෙර පිනකට කියලයි මම විශ්වාස කරන්නේ. මේ ටෙලිනාට්‍යය වෙනුවෙන් මුළු කණ්ඩායම ගොඩක් මහන්සි වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵල අද ඇස් පනාපිටම පේන්න තියෙනවා. ප්‍රේක්ෂකයන්ගෙන් ටෙලිනාට්‍යයට හොඳ ප්‍රතිචාර බොහොමයක් ලැබෙනවා. අපි හැමෝම එක පවුලක් වගේ හිටියේ. ටෙලිනාට්‍ය රූගත කරන කාලය හරිම ලස්සනට විනෝදෙන් ගෙවුණා. ගිම්හානි ගැන හොඳ අවබෝධයක් ඇතුවයි මම චරිතය රඟපෑවේ. අනිත් හැමදෙනාමත් එහෙමයි. ප්‍රියන්ත අයියා අපි හැමෝටම වඩා ඒ වෙනුවෙන් සූදානම් වුණා. ප්‍රියන්ත අයියා කියන්නේ මට මුණ ගැහුණු හොඳම අධ්‍යක්ෂවරුන්ගෙන් එක්කෙනෙක්. ඒ වගේම සුසුම් රස්තියාදුවේ ගිම්හානිගේ චරිතය මට ලැබුණු තෑග්ගක් කිව්වත් වරදක් නෑ. මම මගේ උපරිමයෙන් ඒ වෙනුවෙන් කැප වුණා කියලා මම විශ්වාස කරනවා.’’
අද දිනිතිගේ කැපවීමට ලැබිය යුතු හොඳම වටිනාකම ලැබිලා තියෙනවා. රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටම ටෙලිනාට්‍ය නිළිය සඳහා නිර්දේශිත ජනප්‍රිය මෙන්ම අති දක්ෂ රංගන ශිල්පිනියන් තිදෙනාගේ නම් අතර දිනිතිගේ නමත් තිබුණේ ඇයගේ දක්ෂතාවය නිසාම තමයි. දිනිති ඒ නිර්දේශ වීම ගැන පවා කතා කළේ ලොකු සතුටකින්.
කොහොම වුණත් සුසුම් රස්තියාදුව ටෙලිනාට්‍යයෙන් පසුව කාලයක් යනතුරු දිනිති පුංචි තිරයෙන් නැවතත් ප්‍රේක්ෂකයන්ට මුණ ගැහුණේ නැහැ. ඒ නිහැඬියාව මොකක්ද කියලත් අපි ඇයගෙන් ඇහුවා.
‘‘අවුරුද්දක් වගේ කාලයක් අපි ලංකාව හිටියේ නැහැ. පුද්ගලික වැඩ කටයුතු කිහිපයක් සඳහා අපි මෙල්බර්න් ගිහින් හිටියේ. ඒ නිසා තමයි කලා කටයුතුවලට සම්බන්ධ නොවුණේ. හැබැයි අපි දිගටම සමාජ මාධ්‍ය හරහා අපේ අලුත් විස්තර ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්න අමතක කළෙත් නැහැ. ඒ වැඩ ටික ඉවර කරගෙන ආයෙත් ලංකාවට ඇවිත් කලා කටයුතු පටන් ගත්තා. මේ දිනවල හිරු නාළිකාවේ මාස්ටර් සර් ටෙලි නාට්‍යයේ චරිතයක් කරනවා. ඒ වගේම අලුත්ම චිත්‍රපටයේ වැඩ කටයුතුත් අවසන් වුණා. ඒ ගැන ප්‍රේක්ෂකයන්ට ඉදිරියේදී දැනගන්න ලැබෙයි.’’ දිනිති මේ කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පී සංගීත් සතරසිංහ ගැන. මේ වෙද්දී දිනිති සහ සංගීත් විවාහ වෙලා කියලා හැමෝම දන්නවනේ. සංගීත් එක්ක හරිම සතුටින් සැහැල්ලුවෙන්, විනෝදයෙන් ජීවිතය ගතකරනවා කියලා තමයි දිනිති අපිට නම් කිව්වේ. ඇත්තටම දිනිති සහ සංගීත් කියන්නේ හරිම ආදරණීය යුවළක්.
‘‘සංගීත් මට අදටත් හොඳම යාළුවෙක් වගේ. අපේ මුලින්ම මුණ ගැහුනෙත් ආශ්‍රය කළෙත් හොඳම යාළුවෝ විදිහටනේ. අදටත් ඒ බැඳීම වෙනස් වෙලා නෑ. හැමදේටම වඩා මට වටින්නේ ඒ බැඳීමයි. බිරිඳක් වුණා කියලා ඒ ගැන ලොකු බරක් ලංකාවේ ඉද්දි මට දැනුනේ නෑ. මොකද හැමදාම වගේ අම්මා තමයි හැමදේම කළේ. ඒත් ඔසී ගියාට පස්සේ තත්ත්වය වෙනස් වුණා. අම්මි කරපු හැමදේම මම කරන්න ඕන නේද කියලා හිතුණා. ඒත් ඉතිං හිතුව තරම් ඒ ජීවිතේ අමාරු වුණෙත් නැහැ. මගේ මහත්තයා හොඳ චෙෆ් කෙනෙක්. ඒ නිසා කෑම හදන එක ඒ තරම් ප්‍රශ්නයක් නෙමෙයිනේ. අනෙක් වැඩ ටිකත් අපි එකතුවෙලා කරගත්තා.’’
විදේශ ගත වූ පසුව දිනිති ගුරුවරියක් හැටියට මාස කිහිපයක් රැකියාව කළා කියලත් අපිට දැනගන්න ලැබුණා. ඒත් දැන් නම් දිනිතිට අට පහ රැකියාවක් කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ වගේ කියලා තමයි ඇගේ කතාවෙන් අපිට තේරුණේ. දිනිති කියන විදිහට ඇය වැඩිපුරම කැමැති නිදහසේ කාලය ගත කරන්නලු. ඒත් මීට ටික කාලයකට කලින් ඇය ගුවන් සේවිකාවක් ලෙස රැකියාව කළ බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. දිනිති ඇගේ රැකියාවට බොහෝ සෙයින් ආදරය කළා. කවදාහරි ලෝකෙ වටේම යනවා කියලා පුංචි කාලේ ඉඳලම හිතේ පැලපදියම් වෙලා තිබුණු හීනයට පණ ලැබුණේ මේ රැකියාව නිසා කියලා දිනිති මීට කලින් අපිත් එක්ක කියලා තියෙනවා. ඒත් රංගන ශිල්පී සංගීත් සතරසිංහ සමග විවාහ වීමෙන් පසුව දිනිති ඇයගේ රැකියාවට සමුදුන්නා. හැමදේටම වඩා තමන්ගේ පවුල වටින නිසා ඒ වගේ තීරණයක් ගත්තා කියලා තමයි දිනිති අපිත් එක්ක නම් කිව්වේ. මොන තරම් රැකියාවට ආදරය කළත් සංගීත් තරම් ඒ කිසිම දෙයක් දිනිතිට වටින්නේ නෑ කියලා ඇගේ කතාවෙන් අපට තේරුණා.
‘‘අපි හැමෝම නතරවෙන්නේ සතුට තියෙන තැන්වලනේ. විවාහයට කලින් මගේ සතුට තිබුණේ මම කරන රැකියාව තුළ. මම මගේ රැකියාවට ගොඩාක් ආදරය කළා. ඒත් පසුකාලීනව මට ඊටත් වඩා සතුට සැනසීම ගෙනෙන කෙනෙක් මුණගැහුනා. ඒ වෙන කවුරුවත් නෙමෙයි මගේ මහත්තයා. ඔහුගෙන් මට ලැබෙන ආදරය, සැනසීම, සතුට වචනවලින් කියන්න බැරි තරම්. ඒ නිසා මම ගොඩක් සතුටින් ආදරයෙන් බැඳිලා හිටිය මගේ රැකියාවට සමු දුන්නා. ඒ ගැන මට කිසිම පසුතැවීමක් හෝ දුකක් නෑ. ඊටත් වඩා සතුටකින් සැනසීමකින් මම අද ජීවත් වෙනවා. මම රස්සාවෙන් අයින් වුණා කියලා ලස්සන තැන් බලන්න යන එක ලෝකෙ වටේ යන එක නම් නතර වුණේ නැහැ. මාව ලෝකේ වටේම එක්කරගෙන යනවා කියන පොරොන්දුව එයාගෙන් අරගෙනයි මම රැකියාවෙන් අයින් වුණේ. එයා ඒ පොරොන්දුව ඒ විදිහටම රකිනවා.’’
දිනිති සංගීත් ගැන කතා කළේ පුදුමාකාර ආදරයකින් සහ විශ්වාසයකින්. මේ දිනවල සංගීත් නැවැතත් රංගන කටයුතුවල නිරත වෙනවා. පුංචි තිරයෙන් ඔහුව අපට නිතර මුණ ගැහෙනවා. ඒ ගැනත් දිනිති කතා කළේ ලොකු සතුටකින්. ‘‘රඟපාන එක එයා ආසාවෙන්ම කරන දෙයක්. ඒක එයාගේ ජීවිතයේ පැෂන් එක කියලයි මට හිතෙන්නේ. ඒ නිසා එයා රඟපානවාට මම කැමැතියි. ඇත්තටම මම රඟපානවාටත් වඩා එයා රඟපාන දේවල් බලන්නයි මම වැඩිපුරම කැමැති. එයාව නිර්මාණයකින් දකිද්දී මට ලොකු සතුටක් දැනෙනවා.’’
විවාහයත් සමග දිනිති ටිකෙන් ටික රංගන කටයුතුවලින් ඈත් වෙලාද කියලත් සමහර ප්‍රේක්ෂකයන් අහනවා. ඒත් කලා කටයුතුවලට සමුදෙන්න නම් ඇයගේ හිතේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ප්‍රේක්ෂකයන් අතරට යන හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යෙන්ම ඒකට සම්බන්ධ වෙනවා කියලා දිනිති අපිට කිව්වා.
ඒත් එක දිගට කාර්යබහුල වෙන්න නම් ඇය ටිකක් වත් කැමැති නැහැ වගේ කතාවක් තමයි අපිට තේරුණේ. මොකද ඇය හරිම සතුටින් විනෝදයෙන් සැහැල්ලුවෙන් කාලය ගත කරන්න කැමැති කෙනෙක්. ඒ කොහොම වුණත් ලැබිලා තියෙන ආරාධනා ගැන සලකා බලනවා කියලත් ඇය මතක් කළා. උසස් අධ්‍යාපන කටයුතු සඳහා නැවතත් විදේශගත වීමේ බලාපොරොත්තුවකුත් දිනිතිට තියෙනවා. ඒ වුණත් පුළුවන් උපරිමයෙන් කලාවත් එක්ක එකතුවෙලා ඉන්නයි ඇගේ උත්සාහය. මේ හැමදේම අතර දැන් දෙන්නා තුන්දෙනා වෙන්න බලාපොරොත්තුවක් නැද්ද කියලත් අපි සාකච්ඡාව අවසානයේදී දිනිතිගෙන් ඇහුවා. ‘‘ඔය ප්‍රශ්නය දැන් සමහරු අපෙන් අහනවා. ඒත් ඉතින් අපිට තව වැඩ ටිකක් කරගන්න තියෙනවා. දෙන්නා තුන් දෙනා වෙන එක ගැන හිතන්න ඒ වැඩ ටික ඉවර වෙනකම් ඉන්න වෙනවා. ඊට පස්සේ ඒ ගැන හිතලා බලනවා.’’