ඕනෑම අභියෝගයක් බාර ගන්න ලෑස්තියි වගීෂා සල්ගාදු

gossiplanka image 1
වගීෂා සල්ගාදු කියන්නේ මේ වෙද්දී වෙළෙඳ දැන්වීම් නිරූපණයෙන්, සිනමාවෙන් හා පුංචි තිරයෙන් තම දක්ෂතා පෙන්වමින් රංගනයේ දිගු ගමනක සුබ ලකුණු පෙන්වන රංගන ශිල්පිනියක් විදිහට හඳුන්වන්නට පුළුවන්.


වගීෂා මේ ටිකේ කාර්යබහුලයි වගේ නේද?


ඔව්. පොඩ්ඩක් කාර්යබහුල කාලයක්. ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම චිත්‍රපට කිහිපයකට සහ මියුසික් වීඩියෝ, කමර්ෂල් වලටත් දායක වෙනවා. ඒ නිසාම මේ අවුරුද්ද පටන් ගැන්ම එක්කම කාර්යබහුල කාලයක් ගත කරන්න වෙලා තියෙනවා. කොහොම වුණත් මම බොහෝම ආසාවෙන් නිර්මාණවල වැඩ කරගෙන යනවා.


ඉතින් මොනවද මේ දවස්වල නිරතවෙලා ඉන්න කලා නිර්මාණ?


හිරිපොද වැස්ස නාට්‍යය සහ තවත් ටෙලි නිර්මාණ කිහිපයක වැඩ කෙරෙනවා. හිරිපොද වැස්ස නම් මේ දිනවල විකාශය වෙනවා. අනෙකුත් නිර්මාණ ඉදිරියේදී විවිධ නාළිකා ඔස්සේ විකාශය වෙන්න නියමිතයි. ජනප්‍රිය ගායකයින් කිහිපයකගේ මියුසික් වීඩියෝවල ඉදිරියට දැක ගන්න පුළුවන්.


මේ කාලේ පුංචි තිරෙන් දකින්න ලැබෙන නිර්මාණ මොනවද?


හිරිපොද වැස්ස නාට්‍යය තමයි විකාශය වෙන්නේ. මම රඟපාන්නේ එහි නතාශිගේ චරිතය. නතාශිට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම මුලදී හිරිපොද වැස්ස නාට්‍යය එක්ක එකතු වෙලා චිත්‍රපටයේ රූගත කිරීම් නිසා කාලයක් ඉන් ඉවත් වෙලා හිටියා. දැන් නැවත තිමිර අයියා නතාශිගේ චරිතය ලියනවා. තිමිර අයියාට ස්තුතිවන්ත වෙන්න ඕනේ ළංවී නාට්‍යයෙන් පස්සේ මේ වගේ ලස්සන චරිතයක් මට ලියලා දුන්නට. ඒ වගේම නිමන්ති අක්කාට සහ ප්‍රභාත් අයියාට ස්තුතිවන්ත වෙනවා. මම මෙතෙක් කරපු චරිතවලට වඩා වෙනස් චරිතයක්. දැනුමක් ඇතිව ජීවිතේ දකින ගැහැනු ළමයෙක් නතාශි කියන්නේ.


වැඩියෙන්ම ප්‍රේක්ෂකයින් අතරට ගිය චරිතෙ සහ වගීෂා කැමතිම චරිතේ මොකක් ද?


මම කරපු චරිත හැම එකක්ම ප්‍රේක්ෂකයින් අතරට ගිය චරිත. මම මුලින්ම එන්නේ ළමා නිළියක් විදියටනේ. මම යෞවන රංගන ශිල්පිනියක් විදිහට දායක වුණු චරිත එක හා ජනප්‍රිය වුණා. ඒ හැම චරිතයකටම මම කැමතියි සහ ආදරෙයි. ඉන්ටර්නැෂනල් සුලෝ ටීචර්, කාව්‍යා මිහිරි, ලංවී රසාංග. මේ චරිත හැම එකක්ම ප්‍රේක්ෂකයින් අතරට ගිය චරිත. ප්‍රධාන චරිතම කරන්න ඕනේ නැහැ ප්‍රේක්ෂකයින් අතරට යන්න. මම කරපු හැම චරිතෙකටම මම හරිම ආසයි. අදටත් මම ඒ චරිතවලට ආයේ යන්න තියෙනවා නම් ආසයි.


නිර්මාණයක් භාර ගන්න කලින් මොනවද මුලින්ම බලන්නෙ?


මම ගොඩක් පැති හිතනවා. මුලින්ම බලන්නේ තිර රචනය. මගේ චරිතය පමණක් නෙවෙයි අනෙකුත් චරිත ගලා යන්නේ කොහොමද කියන එකත් මම බලනවා. මොකද ඒ නිර්මාණයේ සාර්ථකත්වය මත තමයි ඒ නිර්මාණය තුළ මම කරන චරිතය ගොඩනැඟෙන්නේ. ඒ නිසා තිරපිටපත අනිවාර්යයෙන්ම බලනවා. ඊට පස්සේ අධ්‍යක්ෂවරයා නිෂ්පාදකවරයා සහ වැඩ කරන අනෙකුත් කලාකරුවන් කවුද කියන එක මම බලනවා.ඒවගේම මගේ පරිමාව ඇතුළේ යන්න පුළුවන් චරිතයක් ද කියන එකත් මම බලනවා. චිත්‍රපටයක නම් ඕනෙම අභියෝගයක් භාර ගන්න මම ලෑස්තියි. තිර පිටපතට අවශ්‍යම දෙයක් ද කියන එක මම බලනවා. ඔය දේවල් එක්ක මගේ අය කිරීමට ගැළපෙන ප්‍රඩක්ෂන් එකක් නම් මම ඒ නිර්මාණය භාර ගන්නවා.


චරිතවලදී සීමා මායිම් තියෙනවද?


පුංචි තිරයේ අපිට හැමදේම කරන්න අමාරුයි. සීමා මායිම් දාන්නේ ඒ වැඩේට ඒ දේ කොච්චර දුරට වුවමනා ද කියන එක මත. චිත්‍රපටයක නම් සීමා මායිම් දාන්නේ නැහැ. ඕනෙම අභියෝගයක් භාර ගන්න මම ලෑස්තියි. ඒ හැරෙන්න චරිතවලට අවශ්‍ය නැති දේවල් මම කරන්නේ නැහැ. මට චරිත ගලාගෙන යන විදිහ එක්ක දැනුණොත් මේක අවශ්‍යම දෙයක් නෙවෙයි කියලා මම ඒ ගැන අධ්‍යක්ෂවරයා එක්ක කතා බහ කරනවා. එහෙම කතා බහ කරලා විමසලා තමයි මම දෙයක් කරනවා නම් කරන්නේ.


බොහෝ විට වගීෂාට ලැබෙන්නෙම කටකාර නපුරු චරිතනේ. සැබෑ ජීවිතෙ මොනවගේ කෙනෙක් ද?


එහෙම චරිත දෙපාරයි කරලා තියෙන්නේ. එවැනි චරිත නැවත නැවත මට ආවා. හැබැයි මම ඒ දේවල් භාර ගත්තේ නැහැ. මම එකම රාමුවක කොටුවෙන්න ආස නැති නිසා. සැබෑ ජීවිතෙ මොනවගේ කෙනෙක් ද කිව්වොත් ඒ හැම චරිතයකම තිබ්බ සමහර දේවල් මගේ ජීවිතේ තියෙනවා. සමහර වෙලාවට කටකාර සහ නපුරු වෙන අවස්ථා තියෙනවා. දැන් නම් මම හරි කැමතියි නිහඬව ඉන්න. රංගන ජීවිතේ චරිත හැරුණම මම බලන්නේ පුළුවන් තරම් නිශ්ශබ්දව සාමාන්‍ය ගැහැනු ළමයෙක් වගේ ජිවත් වෙන්න. මම වැඩිය එළියට යන්න කතාබහ කරන්න පෙලඹෙන කෙනෙක් නෙවෙයි. හැබැයි මම මගේ යහළු මිත්‍රයන් එක්ක සහ මගේ පවුලේ අය එක්ක නම් හරිම දඟයි. එහෙම නැතුව නිතරම සමාජය එක්ක ගැටෙන්න එළියට යන්න මම හරිම කම්මැළි සහ ලැජ්ජාශීලි කෙනෙක්. චරිතවල ස්වභාවයෙන් ගොඩක් අය අපිව හිතන නිසා මගේ ඒ පැත්ත වැඩිය කවුරුත් දකින්නේ නැහැ. වගීෂාට එහෙම ලැජ්ජාවක් තියෙනවා. සරල විදිහට ඉන්න කැමති සාමාන්‍ය කෙනෙක්.

gossiplanka image 2
Previous Post Next Post