
ගාවින්දට හැම තැනින්ම බැණුම්
ගාවින්දව මේ දවස්වල ටෙලි නාට්‍ය තුනකින් දකින්න ලැබෙනවා?
ඔව්, ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ටෙලි නාට්‍ය තුනේ අත්දැකීම් මොන වගේද?
අත්දැකීම් කියන්නේ හැම තැනින්ම බැණුම් තමයි.
ගාවින්දට හැම තැනින්ම බැණුම්
වැඩිපුර බැණුම් අහන්නේ මොන නාට්‍යයටද?
එකක් කියලා නැහැ. හිරිපොද වැස්ස වගේම මායාවී ටෙලි නාට්‍යයටත් ගොඩක් අය බණිනවා.
හිරිපොද වැස්සේ ඔබේ චරිතය ගැන කතා කළොත්?
සල්ලි තියෙනවා කියලා බොරුවට පෙන්වගෙන සල්ලිකාරයෙක්ගේ දුවක්ව කසාද බඳින්න බලන චරිතක්.
මායාවී?
මායාවීත් හොඳ නාට්‍යයක්. ඒකත් වෙනස් විදිහේ කතාවක්.
රාග ගැනත් කියමු?
රාග ඇත්තටම හරි වෙනස්ම නාට්‍යයක්. ඒක අපි කරලත් අවුරුද්දක් විතර වෙනවා. හැබැයි අපි හිතපු නැති විදිහට මගේ චරිතය ඩිවලොප් වුණා.
නාට්‍ය තුනක් එකවර විකාශය වීම අපරාධයක් කියලා හිතුණේ නැතිද?
අනේ නැහැ. නාට්‍ය තුනක් එකවර විකාශය වීම ගැන සතුටුයි. හිතපු නැති විදිහට මේ ටෙලි නාට්‍ය තුන විකාශය වෙන්න පටන් ගත්තේ.
පෙනුම හින්ද වැඩිපුර ලැබෙන්නේ දුෂ්ටයාගේ චරිතද?
ඔව්. මම හිතන්නේ මේ පෙනුම නිසා තමයි දුෂ්ටයාව හම්බවෙන්නේ. හැබැයි මම ඒක ඉස්සරහට වෙනස් කරනවා. ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍යයක මම ප්‍රධාන චරිතය රඟපානවා. අයේෂා අබේගුණරත්න නිෂ්පාදනය කරන තීක්‍ෂණ මනරම් කියන නවක අධ්‍යක්‍ෂවරයාගේ නිර්මාණයේ ප්‍රේමවන්තයාගේ චරිතයක් රඟපානවා. හැබැයි ඒ පෙම්වතා භද්‍ර යෞවනයේ පෙම්වතෙක් නෙවෙයි, ටිකක් මැදිවියේ පෙම්වතෙක්. ඒක මට හමබවුණ ලොකු චේන්ජ් එකක්. මුලදී මම රඟපාද්දි හරි අමාරු වැඩක් බවට ඒ චරිතය පත්වුණා.
දුෂ්ටයාට විරාමයක් ලබාදෙන්න ද හදන්නේ?
ඔව්. ගොඩක් වෙලාවට දුෂ්ටයාගෙන් සමුගන්න තමයි හිතාගෙන ඉන්නේ. තව ටික කාලයක් මට දුෂ්ටයාට රඟපාන්න පුළුවන්. නමුත් දැන් ප්‍රේමවන්තයා වගේ තැනකට ආවොත් වෙනස් ගමනක් ආරම්භ කරන්න පුළුවන් කියලා හිතනවා.
ඔබට මෙතෙක් රඟපාන්න ලැබුණු චරිත ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
ඔව්. ඔව්. මම මුලින්ම රඟපෑ චරිතවලදී මට නමක්වත් තිබුණේ නැහැනේ. මගේ ගම කෙසේ වෙතත් චරිතයේ නමක්වත් කිව්වේ නැහැනේ. අද ඉතිං මම හිතනවා දුෂ්ටයෙක්ව තෝරනකොට ලංකාවේ අංක එකට ඉන්නවා කියලා.
එතැනට එන්න මොන වගේ කැපකිරීම් ද කළේ?
සියයට සියයක් අවධානය තිබුණේ රඟපෑමට විතරයි. ඒ ඇරෙන්න වෙන කිසිම දෙයකට අවධානය යොමු කළේ නැහැ.
පුංචි කාලේ ඉඳලම ට්‍රයි කළේ නළුවෙක් වෙන්නද?
ඔව්. ඔව්. පුංචි කාලෙ ඉඳලම හීන මැව්වේ නළුවෙක් වෙන්න තමයි.
පාසල් කාලය ගැන මතකය අවදි කළොත්?
පාසලේදී මම ගොඩක් වෙලාවට ලැජ්ජාශීලී මනුස්සයෙක්. පාසල් වේදිකාවටවත් නැග්ගේ නැහැ. හැබැයි නළුවෙක් වෙන්න ඕනෑ, ජනප්‍රිය වෙන්න ඕනෑ කියන ආසාව තිබ්බා. මම කැමැති නැහැ මම නළුවෙක් කියලවත් කියනවාට.
ඇයි ඒ?
නළුවෙක් කියන වචනය හරි බර වචනයක්නෙ. ගොඩක් දෙනෙක් ඒක හරි සැහැල්ලු වචනයක් කියලා හිතාගෙන හිටියට ඒක හරි බර වචනයක්. මම මෙතැනට එන්නත් දැන් අවුරුදු 12ක 14ක වගේ කාලයක් ගියා. ඒත් කැමැති නෑ මම තවම නළුවෙක් කියන වචනය පාවිච්චි කරනවාට.
නළුවා කියන චරිතය ඔබට දැනෙන්නෙ කොහොමද?
ඒක අපේ කට්ටිය, ඒක හරි සිම්පල් දෙයක් කියලා හිතාගෙන හිටියට එක දවසකින් ඇවිල්ලා නාට්‍යයකින් ජනප්‍රිය වෙනවා කියනවා වගේ වැඩක් නෙමෙයි. මම තවම නළුවා කියන තැනට ඇවිත් නෑ. එතැනට එන්න තව ඉගෙන ගන්න ඕනෑ. මේක හැමදාම අප්ඩේට් වෙන කර්මාන්තයක්නේ. ඒක හින්දා මම ඇත්තටම කැමැති නෑ තවම මම නළුවෙක් කියලා හඳුන්වනවාට.
ඔබේ ගම් පළාත?
මම නුවර.
නුවර ඉඳන් කොළඹ එන්නේ මොනවා කරන්න හිතාගෙන ද?
නුවර ඉඳලා කොළඹ එන්නේම නළුකමට තමයි. මම මුලින්ම සිරස මෑන් හන්ට් තරගයට ඉදිරිපත් වුණා. 2012 වර්ෂයේදී ලංකාවෙන්ම දෙවැනියා වුණා මිස්ටර් ෆොටෝජෙනික් අංශයෙන්. ඒ තරගයට ඉදිරිපත් වුණෙත් රඟපාන්න වුවමනාවෙන්මයි. නළුවෙක් වෙන්න ඕනෑමයි කියන අදහසේම තමයි හිටියේ.
ඒ කාලේ ඔය අදහස් ක්‍රියාත්මක කරන්න ගෙදරින් ඉඩ දුන්නාද?
මගේ අම්මා විතරයි ඉන්නේ. ඇයත් විදේශගතව ඉන්නේ. මාව බලන්නේ නැන්දලා, ලොකු අම්මලා, ආච්චි, ඒගොල්ලන්ට නළුවෙක් වෙනවා කිව්වාම “මූට පිස්සුද මන්දා මෙච්චර ඉගෙනගෙන නළුවෙක් වෙන්න දඟලන්නේ කියලා තමයි ඇහැව්වේ.” මොකද ඔවුන්ට ඒ ගැන දැනීමක් නැහැනේ. ඔවුන්ගේ පැත්තෙන් ඒක සියයට සියයක් සාධාරණයි.
නුවර ඉඳලා කොළඹ ආපු ගමනේදී ලද අත්දැකීම් මොන වගේද?
කොළඹ ආවාම මට ඉන්න තැනක්වත් තිබ්බේ නැහැ. බෝඩිමක් ගන්නවත් සල්ලි තිබ්බේ නෑ. ඒ කාලේ බෝඩිමක් කියන්නේ හීනයක්. මෑන්ට් හන්ට් කරන කාලේ ඒ වෙලාවට සෙට් වෙන යාළුවකුගේ ගෙවල්වල තමයි නැවතුණේ. කන්න නැතිව බිම නිදා ගත්තු වාර එහෙම අනන්තයි. එච්චර කට්ටක් කෑවත් රඟපාන්න යනවා කියන හීනය අත හැරියේ නැහැ. මම හිටියේ බිංදුවටත් අඩුවෙන්. ඍණ තැනක. මම අද ඉන්න තැන ගැන සතුටුයි.
මහේෂ් එදිරිසිංහ
