
ඔබ මායාවී ටෙලි නිර්මාණයට වෙනස්ම හැඩයක් ගෙන එන රංගන ශිල්පියෙක්. කොහොමද ආරාධනා ලැබෙන්නේ?
මායාවී නිෂ්පාදකතුමාගෙන් තමයි මුලින්ම ආරාධනය ලැබුණේ. සඳුන් රාජකරුණා අයියාත් මාව යෝජනා කරලා තිබුණා. ටෙලි නිර්මාණයට වගේම මගේ චරිතයටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම මේ නාට්‍ය හරහා මට හොඳ මිතුරන් පිරිසක් හමුවීමත් සතුටක්.
අභිලාෂ් ගැන කතා කළොත්?
අභිලාෂ්ගේ සමහර ගති මට සමානයි. කනබොන විදිහ, විනෝදයෙන් ඉන්න විදිහ වගේ ඒව ගත්තම මට සමානයි. අභිලාෂ්ගෙ චරිතය තුළ හොඳ නරක දෙකම තියෙනවා. සමාජයේ දැනටත් මේ වගේ චරිත ඉන්නවා. මහේෂ් අයියා ඒක හරි ලස්සනට ලියනවා. ඒ වගේම මට ඒ චරිතය ගොඩනඟාගන්න සඳුන් අයියත් ලොකු සහායක් දෙනවා.
කටහඬ අනුකරණය කිරීම කියන්නේ විශේෂ හැකියාවක්. ඒ ගැන කතා කළොත්?
මෙගා නාට්‍යවලට හඬ අනුකරණය කියන එක ටිකක් අලුත් දෙයක්. මීට කලින් ටෙලි නාට්‍යවල ලොකුවට තිබුණෙ නැහැ. මේ තරම් ලොකු පිරිසකට කටහඬ අනුකරණය කියන එක මුලින්ම ගියේ මායාවී ටෙලි නිර්මාණය හරහා කිවුවත් හරි. ටෙලි නාට්‍යවලට තාම මම හඬවල් කිහිපයයි යොදාගත්තේ. නමුත් මට කටහඬ 61ක් අනුකරණය කරන්න හැකියාව තියෙනවා. කැරැක්ටර් එකට ගැළපෙනම හඬ තමයි දෙන්නේ.
අභිලාෂ් කියන්නෙත් කටහඬ අනුකරණය කරන චරිතයක්. කොහොමද ලැබෙන ප්‍රතිචාර?
හඬ අනුකරණය කිරීමට වගේම අභිලාෂ්ගේ චරිත ලක්ෂණවලටත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. අභිලාෂ් කියන්නේ ටිකක් ඕපදූප හොයන චරිතයක්. ඒ වගේ චරිත සමාජයේ ඕන තරම් ඉන්නවා. යාළුවන් අතරේ කේලාම් කියලා කොටවන චරිතයක්. ඔහු ඒකෙන් සතුටක් ලබනවා. මොනදේ කළත් උදවුවක් ඕන වෙලාවෙදි උදවු කරන්න ඉදිරිපත් වෙන එකත් ඔහුගේ ගතියක්. කරන්න පුළුවන් දේකුත් නැහැ. ඒත් සමාජයේ කැපී පේන්න උත්සාහ කරනවා. ඇඩ්වටයිසින් ඒජන්සිවල ඔය වගේ සැබෑ චරිතත් ඉන්නවා.
සශික ක්ෂේත්‍රයට ආපු විදිහ ගැන කිවුවොත්?
ජාතික තරුණ සේවා සභාව ස්වාධීන රූපවාහිනියත් එක්ක එකතු වෙලා ‘යූත් විත් ටැලන්ට්’ කියලා ටැලන්ට් ෂෝ එකක් සංවිධානය කළා. ඒ 2016දී. ඒක ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණා. මමයි මගේ යාළුවා හසච කාංචන සමරනායකයි එකතු වෙලා සමරේ ඇන්ඩ් සමරේ කියලා කටහඬ අනුකරණය කරන වැඩසටහනක් කළා. අපි අනුශූරතාවය දිනාගත්තා. මං කලාවට එන්නෙම හඬ අනුකරණය කිරීමේ හැකියාවත් එක්කමයි.
ඔබ දක්ෂතා රැසක් හිමි තරුණයෙක්?
ඔව්. යූත් විත් ටැලන්ට් එකෙන් පස්සේ ස්වාධීන රූපවාහිනියේ පූරක විදිහටත් වැඩසටහන් කිහිපයක් කළා. ඊට පස්සේ රේඩියෝ එකට ගියා. සුප්‍රීම් නාළිකාවේ උදේ පුවත්පත් කියවනවා. මාධ්‍යවේදියෙක් විදිහට ඒ වගේ විවිධ දේවල් කළා. සමරේ ඇන්ඩ් සමරේ වැඩසටහන සමාජ මාධ්‍යවල ගොඩක් වයිරල් වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම අපිත් ජනප්‍රිය වුණා. අදටත් අපි දෙන්නා එකටම ඉන්නවා. දැන් දැන් වීඩියෝ හදනවා, නිවේදනය කරනවා, හඬ කවනවා, ගීත රචනා කරනවා. මේ වගේ ගොඩක් දේවල් කරනවා.
එතකොට රංගනය පැත්තට යොමුවෙන්නෙ කොහොමද?
මුලින්ම මං පුංචි තිරයට සම්බන්ධ වෙන්නේ සුපුන් රත්නායක අයියාගේ ‘අඩෝ‘ ටෙලි නිර්මාණය හරහා. ඒක රයිගම්, සුමති ටෙලි සම්මාන උලෙළවල සම්මාන රැසක් හිමිකර ගත්ත ටෙලි නිර්මාණයක්. මගේ පළවෙනි ටෙලි නිර්මාණයේ මගේ නමත් සමරේ. ඊට පස්සේ බුද්ධික සේමසිංහ විසින් තිර රචනය කළ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයක් වුණු බයිස්කෝප් ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒකෙ චේතිය කියන චරිතයත් ගොඩක් ජනතාව අතරට ගියා. ඊටත් පස්සේ තමයි මගේ තුන්වැනි ටෙලි නිර්මාණ අත්දැකීම විදිහට මේ දිනවල ගොඩක්ම ජනප්‍රිය මායාවී ටෙලි නිර්මාණයට ආරාධනා ලැබෙන්නේ. අභිලාෂ් ගොඩක්ම ජනප්‍රිය චරිතයක්. ඊට පස්සේ ප්‍රේම රස්තියාදුව ටෙලි නිර්මාණයත් විකාශය වෙන්න පටන් ගත්තා. ඒකෙ නමත් සමරේ. ඒකත් ගොඩක් ජනප්‍රියයි. මේ දවස්වල තවත් ටෙලි නිර්මාණ දෙකක රූගත කිරීම් කරගෙන යනවා.
මේ දිනවල ගොඩක්ම ජනප්‍රිය ගරු කටානායකතුමනි වේදිකා නිර්මාණයේත් ඔබ දකින්න ලැබෙනවා?
ඔව්. ගරු කටානායකතුමනි වේදිකා නිර්මාණයේ මහාසේන කියන චරිතය කලින් නිරූපණය කළේ ජයලාල් රෝහණ මහත්මයා. ඔහුගේ වියෝවත් සමඟ සුදර්ශන බණ්ඩාර අයියා තමයි මාව ඒ චරිතයට යෝජනා කරල තිබුණේ. 2022දී තමයි මං ගරු කටානායකතුමනි වේදිකා නිර්මාණයට සම්බන්ධ වෙන්නේ. මේ වෙද්දි ඒ චරිතය දිවෙන්නේ ජනසේන කියලා. දැනට ලංකාවේ ජනප්‍රියම වේදිකා නාට්‍යවලින් එකක්. මේ අවුරුද්දේ වේදිකාගත වුණු දර්ශන වාරවලින් දර්ශන වාර දෙකක් ඇරෙන්න අනෙක් හැම එකක්ම හවුස්ෆුල් වුණා. විදෙස් සංචාර කිහිපයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම මගේ පළමු සිනමා රංගන අත්දැකීම විදිහට උතුරු සුළඟ සිනමාපටයට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා.
හඬ අනුකරණයේ අතිදක්ෂයෙක් වන සශිකගේ සැබෑ තොරතුරු දැනගන්නත් බොහෝදෙනා කැමැත්තෙන් ඉන්නවා?
මගේ ගම නුවර. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මමයි විතරයි. මූලික අධ්‍යාපනය ලබන්නේ දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලෙන්. ඊට පස්සෙ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයට ඇතුළු වෙනවා. දැනට මං විවෘත විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීති ශිෂ්‍යයෙක් විදිහට උසස් අධ්‍යාපනය ලබනවා.
