හැම අවුරුද්දෙම චාරිත්‍ර ඉවර වුණු ගමන්ම අපි විනෝද ගමනක් යනවා -දිනක්ෂි ප්‍රියසාද්

 


මෙවර පැවැති රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රිය ඇයට සුවිශේෂී රාත්‍රියක් වූවාය. සොළොස් වසක කලා ගමනට රයිගම් වෙතින් ලැබුණු ජනතා සම්මානය ඇගේ ගමනට නව පන්නරයක් වනු ඇත. දිනක්ෂි ප්‍රියසාද් මේ දිනවල ඔබට හමුවන්නේ ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන පිරිමි ළමයි ටෙලි නිර්මාණයේ නෝරාගේ භූමිකාවෙනි. පාරාදීසේ චංචි ද ඔබ ආදරය කරන භූමිකාවකි. සම්මානයේ සතුට ද සමඟින් අද ඇය අප හා කතාබහට එක්වූවාය.


මෙවර පැවැති රයිගම් සම්මාන රාත්‍රිය ඔබට සුවිශේෂී රාත්‍රියක් වුණා නේද?


ඔව්. කිහිපවතාවක්ම නිර්දේශ වෙලා තිබුණට මෙවර ලැබුණු ජනප්‍රියම නිළිය සම්මානය තමයි මගේ පළමුවැනි රයිගම් සම්මානය. මං දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 16ක් වෙනවා. වෙනත් සම්මාන හිමිවෙලා තිබුණත් මෙතෙක් රයිගම් සම්මානයක් ලැබිල තිබුණෙ නෑ. ඒ නිසා මට මේක ගොඩක් වටිනවා. ඒත් එක්කම පළමු වතාවට විශිෂ්ටතම සම්ප්‍රවේශක විදිහට සාරංගටත් ජූරියේ සම්මානයක් හිමිවීමත් විශේෂත්වයක්. මේ දිනවල ගොඩක්ම ජනප්‍රිය පිරිමි ළමයි සහ පාරාදීසේ ටෙලි නිර්මාණ වගේම පහුගිය අවුරුද්දේ විකාශය නිමවුණු Take Careත් මේ සඳහා හේතුවෙන්න ඇති කියලා හිතෙනවා.


ඔබ ගොඩක්ම ජනප්‍රියත්වයට පත් කළ ‘පිරිමි ළමයි’ ගැන කතා කළොත්?


පිරිමි ළමයි සද්ධාමංගල සූරියබණ්ඩාර සහ ජයප්‍රකාශ් සිවගුරුනාදන් සුසංයෝගයක්. මං ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා මට ඒ වගේ චරිතයකට ආරාධනා කළාට. ඒක මං හරිම ආසාවෙන් සම්බන්ධ වුණු වෙනස්ම විදිහේ අභියෝගාත්මක චරිතයක්. දෙබස් තිබුණෙම නැති තරම්. වචනයක් දෙකක් හරි කතා කරන්නේ කොටස් සීයක් ගියාටත් පස්සේ. ඩයලොග් නැතුව අභිනයෙන්, භාව ප්‍රකාශනයෙන් රඟපානවා කියන්නේ අමාරු වැඩක්. නෝරා මට අභියෝගයක් වුණා කිවුවත් හරි. සද්ධා අයියා, සිවා අංකල් වගේම අනෙක් ශිල්පීන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණු නිසා තමයි නෝරා මේතරම් සාර්ථක කරගන්න හැකිවුණේ. පිරිමි ළමයි කියන්නේ ටීම් වර්ක් එකක්.


ඔබව අභියෝගයට ලක් කළ නෝරා මොන වගේ චරිතයක්ද ?


නෝරා කියන්නේ මානසික ව්‍යාකූලත්වයකින් පෙළෙන තරුණියක්. කිසිම කතාබහක් නැතුව ගම වටේ දුවමින්, සටන් කරමින් ගොඩක් අපහසුතාවන්ට මුහුණ දෙන්න වුණු චරිතයක්. භෞතිකවත් මාව වෙහෙසට පත් කළ චරිතයක් කිවුවත් හරි. කිසිම කතාබහක් නැතුව රඟපානවා කියන්නේ ලේසි වැඩක් නොවෙයි. ඒත් සමහර කමෙන්ට්වල මං දැක්කා මුකුත්ම කතා නොකර ඉන්න එක හරිම ලේසිනේ කියලා තියෙනවා. ඕනෙම රංගන ශිල්පියෙක්ගෙන් ඇහුවොත් කියයි ඒක කොතරම් අමාරුද කියලා. නෝරාගේ බැක් ස්ටෝරි එක දැන් තමයි ටික ටික එළියට එන්නේ. මෑතකාලීනව කළ චරිතත් එක්ක බැලුවම ඔව්, නෝරා මට අභියෝගයක්.


චංචලා කියන්නේ නෝරාට හාත්පසින්ම වෙනස් පැත්තක් නේද?


ඔව්. හසුන් සමීරගේ පාරාදීසේ චංචලාත් (චංචි) මේ දවස්වල ජනප්‍රියයි. ඒක ගොඩක් හාස්‍යයට බරයි. නෝරා සහ චංචි කියන්නේ පරාස දෙකක්. ඒකටත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. අපි මහන්සිවෙලා ගෙදර ගිහින් ඒක බලලා හිනාවෙලා සැහැල්ලු වෙනවා කියන අයත් ඉන්නවා. මේ දවස්වල චාමර ජයවීරගේ අලුත් ටෙලි නාට්‍යයක රූපගත කිරීම් කරගෙන යනවා. ඊට අමතරව තවත් අලුත් නාට්‍යයකටත් සූදානම් වෙනවා.


දිනක්ෂි දැන් සිනමාවේත් වැඩියෙන් දකින්න ලැබෙනවා නේද?


පහුගිය දවස්වල චරිත් අබේසිංහ අයියාගේ මිස්ට මිසිස් චිත්‍රපටයේ වැඩකටයුතු ඉවර කළා. ඒකත් ඉක්මනට ප්‍රේක්ෂකයින්ට දකින්න අවස්ථාව ලැබෙයි. ඊට අමතරව තේජා ඉද්දමල්ගොඩ අධ්‍යක්ෂණය කළ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ජීවිත කතාව අලළා නිර්මාණය කළ සිනමා නිර්මාණයේ වැඩකටයුතුත් ඉවර කළා. ඒකෙ මට හරිම ලස්සන චරිතයක් කරන්න ලැබුණා. සාරංගයි මායි දෙන්නම රංගනයෙන් දායක වෙනවා. ඒකත් තිරගත වෙනකල් අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා.


මේ දිනවල පෞද්ගලික ජීවිතේ ගෙවෙන්නෙ කොහොමද ඇහුවොත්?


අපේ පෞද්ගලික ජීවිතේ ෆෝකස් එක බබා. එයාට දැන් අවුරුදු තුනහමාරයි. එයා දැන් පෙර පාසල් යනවා. ඒ වැඩයි, කලා කටයුතුයි, ගෙදර වැඩයි එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. බබාගෙනුත් අපිට ලොකු සපෝට් එකක් ලැබෙනවා. එයා ආච්චිල දෙන්නයි සීයයි එක්ක තමයි ගොඩක්ම කාලය ගත කරන්නේ. ඒ නිසා අපිට ලැබෙන පොඩි විවේකය වුණත් අපි එයා එක්ක ගත කරන්නයි කැමැති. හැමදේම සමබරව කරගෙන යන්න උත්සාහ කරනවා.


සිංහල අලුත් අවුරුද්ද ගැන දිනක්ෂිට තියෙන්නේ මොනවගේ අත්දැකීමක්ද?


මම නම් කතෝලික ආගමේ. ඒත් සාරංග බුද්ධාගමේ. එයත් එක්ක විවාහ වුණාට පස්සේ තමයි මමත් අලුත් අවුරුදු චාරිත්‍ර ගැන උනන්දු වෙන්න පටන් ගත්තේ. අපි කැමැතියි බබා වුණත් අපි චාරිත්‍ර කරන විදිහ දැකලා එයත් ඒවා ඉගෙන ගන්නවට. ඒක අපේ වගකීමක්නේ. අපිත් සාමාන්‍ය විදිහට සිංහල අලුත් අවුරුද්දට සූදානම් වුණා. හැම අවුරුද්දෙම අලුත් අවුරුදු චාරිත්‍ර කරන වෙලාවට අපි ඉන්නේ රූපවාහිනී වැඩසටහනක් එක්කනේ. මේ පාර හිරු ටීවී නාළිකාවත් එක්ක. අවුරුදු චාරිත්‍ර ඉවර වුණු ගමන්ම අපේ පවුලේ හැමෝම එකතු වෙලා විනෝද ගමනක් යන එක හැම අවුරුද්දෙම කරනවා. විශේෂයෙන් මේ පාර ශේෂාද්‍රිගේ සැමියා ක්‍රිෂාන්ගේ අම්මා තාත්තත් ලංකාවට ඇවිත් ඉන්නවා. මේ වගේ අපි හැමෝම එකතු වෙන්නෙ සිංහල අවුරුද්දටයි නත්තලටයි විතරයි.



Previous Post Next Post