නවකයන්ට ඉඩ දීලා අපි අයින් වෙන්න ඕනේ - විශ්ව කොඩිකාර




විශ්ව කොඩිකාර දැන් ටෙලිවල නිතර රඟපාන්නේ නැහැලු.ඒ දවස්වල වාගේ හැම ටෙලියක්ම බාරගන්නෙත් නැහැලු. චරිත හරි හරියට තෝරලා බේරලා ගන්නේ කියලත් කතාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. චැට් ෂෝ එහෙමත් රිජෙක්ට් කරනවලු. මොකක්ද මේ හිටි අඩියේ වෙච්ච වෙනස. ඔහුටම කතා කරලා අහන්න හිතුණා.


ඉතින් විශ්ව මොකද මේ දවස්වල වැඩිපුර පේන්න නැත්තේ…?

පොඩි පොඩි වැඩ කිහිපයකටම සෙට් වෙලා ඉන්නවා. මම හිතන්නේ චුට්ටක් විතර මම බිසී.

මොනවද ඒ පොඩි පොඩි වැඩ?

පසුගිය කාලේ අජිත් ධර්මසූරියගේ ෆිල්ම් එකකට හිරවෙලා ඉඳලා ඒකේ වැඩ ඉවර කළා. එතකොට අපේ මිහිර සිරිතිලක නිර්මාණය කරන අලුත් ටෙලියක ෂූටිංවලට මේ දවස්වල ඉන්නේ මහනුවර. ඉතින් ඒ වැඩ ටික ඉවර වෙනතුරු අනෙක් වැඩ බාරගත්තේ නැහැ. ඔක්කොම බදාගත්තම ටිකක් කරදරයිනේ.

මිහිර සිරිතිලකගෙ ටෙලි නාර්මාණය මොකක්ද?

ඒක ටිකක් වෙනස් වැඩක්. ලස්සන කතාවක්. 1955 කාලය පසුබිම් වෙන ගමක කතාවක්. මම හිතන්නේ ඒ ටික දැනට ඇති. ටෙලියේ නම ‘වරකත’. වරකත කියන්නේ ‘පිරිසුදු චරිතයක් ඇති ගැහැනිය’ කියන එකයි. මෙගා ටෙලියක් නොවන එය කොටස් කිහිපයක කතාවක්. රසික රසිකාවන් එය ආසාවෙන් කුතුහලයෙන් වැලඳ ගන්න බව විශ්වාසයි.

මිහිර සිරිතිලක එදා ඉඳන්ම විශ්වගේ ටෙලි මිතුරා. චරිතය ලැබුණේ ඒ හින්දද?

අයියෝ කොහොමවත් නැහැ. ඔහු මට කිව්වේ මේ කැරැක්ටර් එකට හරියන මිනිහා උඹමයි, ඒ හින්දා මේක බාරගනින් කියලයි. කතාව වෙනස්. කොටස් කිහිපයයි. චරිතයත් පරණ කාලේ මීට අවුරුදු හැත්තෑ ගානකට එහා ගිය එකක්. ඒ හින්දා මාර ආසාවකින් තමයි කළේ. ඔහුට ස්තුති කරනවා ඒ චරිතය මට දුන්නට.

ටෙලි නාට්‍ය තෝරනවා බේරනවා කියලත් ආරංචියි?

ඔව්. ආපු දවස්වල නමක් හදාගන්න වුවමනා කාලේ අපට ඒක කරන්න බැහැනේ. දැන් අපි ඇවිදින් අවුරුදු ගානක්. ඒ නිසා සමහර අවස්ථාවල එහෙම කරන්න වෙනවා. අනෙක අපි හැම එකම බාරගත්තම ෆීල්ඩ් එකට එන නවකයන්ට මොකද වෙන්නේ. එයාලා ගැනත් හිතන්න ඕනේ නේද?

හැමදාම අපි රඟපාන්න ඕනේ කියලා නියමයක් නැහැ. අලුතෙන් එන අයට තැනක් හදාගන්න අපි ටිකක් පැත්තකට වෙන්න ඕනේ. මගේ ගුරුවරයා ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා. හැමදාම අපි මේ ෆීල්ඩ් එකේ රජ කරගෙන ඉන්න හොඳ නැහැ. නවකයන්ට ඉඩ දීලා අපි අයින් වෙන්න ඕනේ. මගේ තාත්තා පවා ඒක නිතරම කියන දෙයක්. අනෙක කපල් චරිත, පෙම්වතාගේ චරිත කොයි තරම් නම් රඟපෑවා කියලද?

පෙම්වතාගේ චරිතයට ආයුබෝවන්. එහෙමද විශ්ව?

එහෙමමත් නෙවෙයි. සීමාවක් තුළ ඉඳගෙන චරිත තෝරාගැනීමක් කරනවා. අනෙක වැඩ ගොඩක ඉන්න එක මට ටිකක් අපහසුයි.

දරු පවුල බලන්න ඔස්ටේ්‍රලියාවට යන්නත් ඕනනේ නේද?

ඒකනේ. ඒකට විශේෂයෙන්ම කාලය වෙන්කරනවා. ගිය අවුරුද්දේ තමයි එරන්දියි මගෙ දරුවො දෙන්නයි එහෙ පදිංචියට ගියේ. පුළුවන් හැම වෙලාවකම මම එයාලා එක්ක කාලය ගතකරන්න යනවා.

වැඩ ගොඩක් බාර නොගෙන ඉන්න ඒකත් හේතුවක් වෙන්න ඇති?

බාරගන්න වැඩ සහ කාලය මම හරියටම කළමනාකරණය කරනවා. කොහොමත් පවුල කියන විෂය මගේ චරිතයෙ පළමු තැන.

කොහොමත් සෙට් එකේදිත් විශ්ව සුහද චරිතයක්?

ඔව්. ෆීල්ඩ් එකේදි නම කැත කරගන්න මම හරිම අකැමැතියි. කා එක්කත් යාළුයි. වෙලාවට වැඩ. අවශ්‍ය නම් විතරයි එතැන ඉන්නේ. අන්න එච්චරයි.

චැට් ෂෝ ගැනත් කතා කරමු ටිකක්?

ආරාධනා රිජෙක්ට් කරන්නේ නැහැ. ඒත් සමහර වෙලාවට කාලය මදිකම නිසා වෙනසක් කරන්න සිද්ධ වෙන අවස්ථා එනවා. බොහොම සුහදව ඒක නිරාකරණය කරගන්නවා.


දමයන්ති රේණුකා ප්‍රනාන්දු



Previous Post Next Post