ඔහු හුදෙක් රංගන ශිල්පියෙක් පමණක් නොවේ. හොඳම නළුවාට හිමි සම්මාන කිහිපයක්ම දිනා ගනිමින් ශ්‍රී ලාංකේය කලාව තුළ ස්වර්ණමය සලකුණු තබන්නට සමත් වූවෙකි. එමෙන්ම රංගන කාර්යයෙන් ඔබ්බට ගිය මෙරට ටෙලි නාට්‍ය වංස කතාව නවමු මාවතකට හැරවීමට සමත් වූ සම්මානිත අධ්‍යක්ෂවරයෙක්ද වේ. සමකාලීනයන් බොහෝමයකට ස්පර්ශ කිරීමට නොහැකි වූ වේදිකාවන් මත තම සුහුරු බව මැනැවින් විදහා පෑ රොෂාන් රවින්ද්‍ර නම් වූ ඒ විශිෂ්ට ගණයේ කලාකරු සමඟ කළ සුහද පිළිසඳරයි මේ.
පණ්ඩුලගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර ගැන කියලම කතාව ආරම්භ කරමු?
මේ වෙලාවේ මම ටිකක් මගේ නාට්‍යයක් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ. නමුත් ඉඩක් ලැබෙන හැම මොහොතකම නාට්‍ය සම්බන්ධයෙන් කතා කරන අයගෙන් ධනාත්මක දේවල් තමයි අහන්න ලැබෙන්නේ. ඔය අතරින් විවේචනාත්මක අදහස් කිහිපයකුත් ලැබෙනවා. නමුත් රංගනය සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මේ වෙද්දි තිබෙන ටෙලි නාට්‍ය හිඟය නිසා ප්‍රේක්ෂකයෝ ඒ ටෙලි නාට්‍ය නරඹන බවක් තේරෙනවා.
බොහෝ කාලයකට පසුවයි ඔබව මෙවැනි චරිතයක් හරහා දැකගන්න ලැබෙන්නේ කසුන්ට ආදරේ කළ අය පණ්ඩුලට මොනවද කියන්නේ?
මම රඟපාන චරිත නිසා මාව මිනිස්සු වෙනම ආකාරයකට හඳුනාගෙන ඉන්නවා. මගේ ඇත්තම අවශ්‍යතාව සහ ආසාව තිබෙන්නේ එකිනෙකට වෙනස් විවිධාකාර චරිත නිරූපණයට. ඒ අතරතුර චරිතාංග නළුවෙක් විධියට මට ලැබෙන්නේ ගොඩක් වැඩ කරන්න තිබෙන චරිත. මෙතැනදි පණ්ඩුල ගත්තම ඔහු රොමෑන්ටික් චරිතයක් විතරක්ම නෙවෙයි. ඔහුට පුළුල් ජීවිතාවබෝධයක් තිබෙනවා. ඒ කරුණු දෙකම අන්තර්ගත නිසා වෙන්න ඕනෑ ඒ චරිතය මිනිස්සුන්ගේ කතාබහට ලක්වෙලා තිබෙන්නේ. ඒ වගේම සිටුවර පුවත අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයා සතුව තමන්ගේ නළුවා කොයි ආකාරයෙන්ද හසුරුවා ගත යුත්තේ කියන දේ සම්බන්ධයෙන් විශේෂ කුසලතාවක් තිබෙනවා. එහිදී ලෝබකමකින් තොරව මාව ඒ චරිතයට තෝරාගැනීම සම්බන්ධයෙන් ඔහුට ස්තුතිවන්ත වනවා.
තණමල්විල කොල්ලෙක් කියන්නේ ලාංකේය ටෙලි නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂ්‍යයක්, ඒ හරහා ඔබ බිහිකළ ට්‍රෙන්ඩ් එක තවමත් තියෙනවා. ඒ ගැන කතා කළොත්?
අදටත් යූටියුබ් එකේ වැඩිම පිරිසක් බලලා තියෙන ලංකාවේ ටෙලි නාට්‍ය තණමල්විල කොල්ලෙක්. දැන් ගොඩක් වෙලාවට කෙරෙන්නේ තමන්ගේ ටෙලි නාට්‍ය ජනප්‍රිය කරගන්න නිර්මාණකරුවන් සමාජ මාධ්‍ය සමූහයන් නිර්මාණය කරන එක. නමුත් තණමල්විල කොල්ලෙක් වෙනුවෙන් ෆේස්බුක් ගෲප් එකක් නිර්මාණය වුණේ අහම්බෙන්. එහෙම සමූහයක් නිර්මාණය වුණත් එක්කම අපිට නතර කරගන්න බැරි තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. ඒ වගේම ඒ නාට්‍ය යූටියුබ් ට්‍රෙන්ඩිං වෙද්දි ඒ ට්‍රෙන්ඩිංග් වෙන එක නතර කරන්න වුවමනාව තිබුණු වෙනම පිරිසකුත් හිටියා.
නමුත් එතැනදි අපි කළේ ඔවුන් හඳුනගෙන නිහඬව සිටීම. තණමල්විල කොල්ලෙක් කියලා කියද්දී ගොඩක් දෙනා මම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ටෙලි නිර්මාණයක් කරනවා කියලා හිතුවා. මම හැමදාම මගේ ආර්ට් එක පාවිච්චි කළේ මිනිස්සු වෙනුවෙන්. කලාව හරහා ප්‍රේක්ෂකයාගේ පරිකල්පනය වර්ධනය කරන එක තමයි මගේ අරමුණ. මම හැමදාම උනන්දු වුණේ මගේ ආර්ට් එක හරහා කොහොමද වටිනාකමක් සහිත පුද්ගලයෙක් වෙන්න
කියන එක සම්බන්ධයෙන්. මගේ ඒ මහන්සියේ ප්‍රතිඵලයක් විධියට තමයි හැමෝම තණමල්විල කොල්ලෙක් වටා එකතු වුණේ. තණමල්විල කොල්ලෙක් නාට්‍ය බොහෝ දෙනාගේ ජීවිතවල මඟහැරුණු දේවල්වල මතකය අවදි කරපු නිර්මාණයක් වුණා. ඒ හරහා ඇති වුණු ඒ වෙනසේ බලපෑම අදටත් තියෙනවා.
මේ දිනවල ඔබ අලුත් වැඩක් ආරම්භ කරලා තිබෙනවා. ඒකත් තණමල්විල කොල්ලෙක් වගේම වෙනසක් ඇති කරයිද?
ඔව් ඇත්තටම ඒ නිර්මාණය “නටත් අයෙක් සුරා මතින්” මට විශ්වාසයක් තිබෙනවා මිනිස්සු අතරට යයි කියලා. මොකද ඒ නිර්මාණය සඳහාත් මම තෝරාගෙන තිබෙන්නේ බහුතරයක් දෙනාගේ ජීවිත ඇතුළේ කකියන කතන්දරයක්.
ඒ නිර්මාණයත් ළඟදීම ප්‍රේක්ෂකයාට නරඹන්න පුළුවන් වෙයි එහෙනම්?
ඔව් ඇත්තටම ඒක ළඟදිම විකාශය කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඒ වෙනුවෙන් සියලුම නාළිකාවලට ආරාධනා කරනවා. ඇත්තටම අවශ්‍ය ප්‍රතිපාදන නැතුව ටෙලි නාට්‍යයක් කරන්න බැහැ. නමුත් මේ වෙද්දී මම ඒ නිර්මාණය සමඟ වැඩකටයුතු කරගෙන යනවා. ඉතිං ඒකට හරියන නාළිකාවක් ලැබුණොත් මම ඉක්මනටම නටත් අයෙක් සුරා මතින් විකාශය කරනවා. මේක තමයි චැනල් එක කියලා මගේ විශේෂයක් නැහැ. මොකද නාළිකා සංඛ්‍යාත කියන්නේ මිනිස්සුන්ට අයිති දෙයක්. ඉතින් ඔවුන්ට අයිති දේවල් අපි ඔවුන්ට ප්‍රතිලාභ ලැබෙන ආකාරයෙන් තමයි භාවිත කරන්න අවශ්‍ය.
නව දේශපාලන රටාවත් එක්ක ඔය දේවල් වෙනස් වෙයි කියලා හිතනවද?
ඇත්තටම මේ වෙනතුරු කිසිම රජයක් ඔය දේවල් අවබෝධ කරගත්තේ නැහැ. නව රජයත් ඒ විධියටම කටයුතු කරයිද කියලා කියන්න අමාරුයි. නමුත් අපිට පේන්න තියෙන විධියට නම් තවමත් වට කරගෙන ඉන්නේ සාම්ප්‍රදායික පුරුදු මුහුණු ටික. වැඩක් කළ හැකි වෙනස් දැක්මක් තිබෙන අයට ආරාධනාවක් නැති බව තමයි දැනට පේන්නේ. බලමු ඉතින් මොකද වෙන්නේ කියලා.
නළු, නිළි වරණයේදී ඔබ වැඩිය පුරුදු නැති මුහුණු තෝරාගන්න සැලකිලිමත් වෙනවා ඒ ගැන කතා කළොත්?
ඒක තමයි විශේෂත්වය. මම කිසිම දවසක මගේ යහළුවන් මගේ දූ-දරුවන් සම්බන්ධ කරගෙන නිර්මාණ සිදු කරලා නැහැ. නිර්මාණයේදි මාත් එක්ක අමනාපයෙන් ඉන්න කෙනෙක් වුණත් ඒ චරිතයට ගැළපෙනවා නම් මම තෝරා ගන්නවා. නිර්මාණයක සාර්ථකත්වය තිබෙන්නේ එතැන. චරිතයේදී සියයට පනහක් පමණ බාහිර ස්වරූපය ගැළපෙනවා නම් රඟපාන කොටස තවත් පහසු වෙනවා. ලංකාවේ වගේ රටක කාස්ටිං කියන දේ සියයට සීයයක් කරන්න බැරි වුණත් මම ඒ වෙනුවෙන් උත්සාහ ගන්නවා.
අද වෙද්දී බහුතරයක් නාළිකා නිර්මාණ මුවාවෙන් සිදු කරන්නේ ඔවුන්ගේ පෞද්ගලික අරමුණු ඉෂ්ට කර ගැනීම මේ ගැන මොකද හිතෙන්නේ?
රජයක් ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනෑ කාරණාවක් තමයි ඒ දේ. මිනිස්සු ඉල්ලන දේවල් නෙවෙයි නාළිකාවලින් දිය යුත්තේ. ජනතාවගේ ජන විඥානය දියුණු කරන ප්‍රබලම මාධ්‍යයක් තමයි කලාව. එතැනදි මිනිස්සු බලනවා කියලා ඒ හැමදේම දිය යුතු නැහැ. අපේ ප්‍රේක්ෂකයන්ව කුණු රසයට පුරුදු කරන එක වැරැදියි. ආණ්ඩුවක් මැදිහත් වෙන්න අවශ්‍ය මේ දේවල්වලදී. කසිකබල් ටෙලි නාට්‍ය , චිත්‍රපට විකාශය පාලනය කරන ගමන් ගුණාත්මක නිර්මාණ සඳහා තරගකාරිත්වය ඇති කරන්න රාජ්‍ය බලපෑම සිදුවිය යුතුයි. පසුගිය අවුරුදු ගණනාවක් පුරාවට කලාව ගැන කතා කළාට, නළු නිළියන් පාවිච්චි කළාට කලාවේ දියුණුව වෙනුවෙන් කිසි දෙයක් කළේ නැහැ. නමුත් අදටත් නිලධාරීන් විධියට කටයුතු කරන්නේ ඒ පරණ මූණුමයි. කලාව වෙනුවෙන් වැඩ කරන්න නව රජයට වුවමනාවක් තිබුණත් සාම්ප්‍රදායික වට්ටෝරු ක්‍රමයෙන් පැනලා යන එක පහසු වෙන එකක් නැහැ. නමුත් ඒකට මැදිහත් විය යුතුමයි. නිර්මාණාත්මක කාරණාවලදි අපි ලෝකයට සාපේක්ෂව බොහොම පහළින් ඉන්නේ. නමුත් වැඩක් කළ හැකි දක්ෂයෝ ඉන්නවා. ඔවුන්ටේ ඒ වෙනුවෙන් භූමිය සැකසී නැති එක තමයි ගැටලුව. වැඩක් කළ හැකි ළං කරගත්තොත් යමක් කළ හැකි වෙයි. බලාගෙන ඉමු ඉතින්.
දුයිෂෙන් වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
ලැබෙන ප්‍රතිචාර ඉතාම හොඳයි. නමුත් මගේ ටෙලි නාට්‍ය වැඩකටයුතු නිසා ඒ වෙනුවෙන් කෙරෙන ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් දායක වෙන්න අපහසු වුණා. මේ චරිතය ගැන එක එක අයට තිබෙන්නේ එක එක කියැවීම්. නිර්මාණයක් විධියට ගුරු ගීතයට සංකේතාත්මකව ආදරය කරන මිනිස්සු මේකටත් ආදරය කරනවා.
කලා නිර්මාණ හැරුණුවිට අනෙකුත් රූපවාහිනි වැඩසටහන්වල ඔබේ මුහුණ පේන්න නැතිම තරම්?
මම කලාකාරයෙක්. මගේ නිර්මාණ තමයි මිනිස්සු අතරට යන්න අවශ්‍ය. මගේ පෞද්ගලික ජීවිතය වෙනම කාරණයක්. ඒක එළියට දාන්න අවශ්‍ය නෑ කියන එක තමයි මගේ පෞද්ගලික අදහස. නමුත් එහෙම කරන්න කැමැති අයව මම හෙළා දකින්නේ නැහැ. ඒක ඔවුන්ගේ කැමැත්ත. එතැනදිත් නිර්මාණ කටයුතු වෙනුවෙන් කරන ප්‍රචාරණයන් වෙනුවෙන් මම සහභාගි වෙනවා. මම රූපවාහිනි වැඩසටහන් වාරණය කරලා නැහැ. නමුත් මම වඩාත් කැමැති හොඳ නිර්මාණයක් හරහා ප්‍රේක්ෂකයා ළඟට යන්න.
අවසන් වශයෙන් මේ වසරේ එන්න තිබෙන අලුත්ම නිර්මාණ තියෙනවාද?
ඇත්තටම මේ දවස්වල පූර්ණ අවධානය දීලා තිබෙන්නේ මගේ අලුත් නිර්මාණයට. ඒ වෙනුවෙන් විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. ඔය විධියට හිමීට වැඩකටයුතු කරගෙන යනවා.
අක්ෂි මාපා වීරසිංහ