ඇයට තම රංගන දිවියේ ප්‍රථම වතාවට සම්මාන හිමි වන්නේ ජනප්‍රියම නිළිය ලෙසිනි. ඒ සුපුන් රත්නායකගේ ‘ලලයි ලිලයි ලයි’ ටෙලි නිර්මාණයේ මිලාට හිමිවූ අසීමිත ප්‍රේක්ෂක ආදරයත් සමඟිනි. මිෂෙල් අමතක වන තරමටම මිලා ඇයව අතික්‍රමණය කර තිබීම ද විශේෂත්වයකි. පසිඳු නූපේආරච්චිගේ ‘ආයාචනා’හි නීතිඥවරියක වූ එලීනා ඇයට වෙනමම අත්දැකීමක් ගෙන ආවාය. නාලන් මෙන්ඩිස්ගේ සල්සපු නා ටෙලි නිර්මාණය ඔස්සේ පුංචි තිරයට පිවිසි ඇය සිදාදියේ සමනලියෝ ටෙලි නිර්මාණයේ මල්කිගේ චරිතයෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත්තාය. මේ දිනවල ඇය ‘රස රහසක්හි, චෙෆ් මිෂාරාය. එමෙන්ම රොන් සොයාහි හසරැලිය. නුහුරු නුපුරුදු අත්දැකීම් ඔස්සේ මේ දිනවල ප්‍රේක්ෂක ආදරය විඳින ඇය මිෂෙල් දිල්හාරාය.
මෙතෙක් කල් ඔබට මිලා කියලා කතා කළ බොහෝ දෙනා මේ දවස්වල කතා කරන්නේ මිෂාරා කියලා නේද?
ඔව්. මිලා නිසා බොහෝ දෙනාට මිෂෙල්වත් අමතක වුණා. මිලා මාව ජනප්‍රියත්වයේ ඉහළටම ඔසවා තැබුවා කිව්වත් හරි. මිෂාරා ඉන්නේ මේ දවස්වල සිරස නාළිකාවේ විකාශය වන රස රහසක් ටෙලි නිර්මාණයේ. මිෂාරාගේ චරිතය පැතිකඩ දෙකක් ඔස්සේ දිවෙනවා. එක් අතකින් ඇය තමන්ගෙ තාත්තාව හොයාගෙන එන සාමාන්‍ය ගැහැනු ළමයෙක්. අනෙක් පැත්තෙන් ගත්තොත් ඇය චෙෆ් කෙනෙක්. මිෂාරාත් මේ දවස්වල ගොඩක් ප්‍රේක්ෂක ආදරය විඳිනවා.
චෙෆ් කෙනෙක් විදිහට මිෂාරාව ඔබට වෙනස්ම අත්දැකීමක් වෙන්න ඇති?
ඇත්තටම ඔව්. මිෂාරාගේ සාමාන්‍ය ජීවිතය මට ගැටලුවක් වුණේ නැහැ. ඒත් චෙෆ් කෙනෙක් විදිහට ඇගේ වෘත්තීය ජීවිතය පැත්ත සෑහෙන අධ්‍යයනයක් කරන්න වුණා. චෙෆ් කෙනෙක් එහෙම නැත්නම් සූපවේදිනියක් කියන්නෙත් වෘත්තියක් නිසා ඒ වෘත්තියට, ඒ යුනිෆෝම් එකට ගෞරවයක් වෙන විදිහට ඒ චරිතයට අනුගත විය යුතුයි. මං නිතරම එයට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කළා. චෙෆ් කෙනෙක් විදිහට අඳින පලඳින විදිහ, ජොබ් රූල්ස්, කස්ටර්මර්ස්ල හැන්ඩ්ල් කරන විදිහ අධ්‍යයනය කරන්න වුණා. ඒ හොටෙල්වල චෙෆ්ලා ඇවිත් අපිට ඒවා කියලා දුන්නා. ඒක අපේ ජීවිතේටත් ලොකු අත්දැකීමක් වුණා. පිහිය අල්ලන විදිහේ ඉඳන් කපන, කොටන විදිහ, අවශ්‍ය දේවල් එකතු කරන විදිහ, මිශ්‍ර කරන විදිහ ඒ ඔක්කොම ඉගැන්නුවා. අපි ගෙදර සාමාන්‍ය කෑම බීම හදන විදිහ වගේ නෙවෙයි. චෙෆ් කෙනෙක් කියන්නෙ තනිකරම කලාවක්. හැම පියවරක්ම පිළිවෙළට වෙන්න ඕන. එයාලා උයද්දි පාවිච්චි කරන පොඩි පොඩි උපක්‍රමත් අපට කියල දුන්නා. ඒක නම් ජීවිතේට වටිනාම අත්දැකීමක් වුණා.
එතකොට හසරැලි කියන්නේ?
හසරැලි ඊට හාත්පසින්ම වෙනස් චරිතයක්. හසරැලි කියන්නෙ ටිකක් කටකාර චරිතයක්. අම්මා තාත්තා ඩෝබි (කුලියට රෙදි සෝදන) රැකියාව කරන්නේ. වර්තමානයේ අහම්බෙන් හමුවන රැකියාවක්. එක්තරා යුගයක එයත් වෘත්තියක්. අපි එයටත් ගරු කළ යුතුයි. හසරැලිත් ටෙඩි බෙයාර්ස්ල මහලා විකුණලා පවුලේ ආර්ථිකයට අත්වැලක් වෙනවා. ඇය ඉගෙන ගන්න දක්ෂ වුණත් ආර්ථික අපහසුතා නිසා ඉගෙනීම මඟහැරෙනවා. ඇයට ඉන්නෙ අම්මයි, තාත්තයි මල්ලියි. මවුපියන්ට වගේම හසරැලිටත් ඕන තමන්ගේ මල්ලිට ඉහළටම උගන්වන්න.
වර්තමාන සමාජයේ දකින්නවත් නැති රැකියාවක් නිසා ඒක ඔබට වෙනස්ම අත්දැකීමක් වෙන්න ඇති?
ඔව්. ලොකේෂන් එක විදිහට ගත්තේ රෙදි මෝලවත්ත. ඩ්‍රාමා එක රූගත කරන්න කලින් දවසෙ අපි රෙදි මෝල වත්ත වටේම එක්ක ගියා. රෙදි සෝදන තැන්, ඒ ගෙවල් අපිට පෙන්නුවා. හරිම ආදරණීය මිනිස්සු කොටසක්. හැමෝම එක විදිහට අපිට උදවු කළා.
පහුගිය දවස්වල බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණු මහා රාණි කන්සෙෆ්ට් එක ගැනත් කතා කරමු? ඇත්තටම මොකක්ද ඒ?
ඒක මට ලැබුණු සුවිශේෂී අවස්ථාවක්. රැෆෙලා ප්‍රනාන්දු කියන්නේ ජායාරූපකරණයේ නම දිනූ දක්ෂ ජායාරූප ශිල්පිනියක්. හැම වසරකම ඇය ජනප්‍රිය කලාකරුවන් 24 දෙනෙක් යොදාගෙන සෙලිබ්‍රිටි කැලැන්ඩරයක් කරනවා. ලංකාවේ ජනප්‍රිය කලාකරුවන් වගේම ඉන්දීය කලාකරුවන් දෙතුන් දෙනෙකුත් යොදාගෙන වෙනස්ම සංකල්පයකට කරන වැඩක්. 2025 කැලැන්ඩරයට මටත් ආරාධනා ලැබුණා. මට ලැබුණේ මහා රාණී කියන සංකල්පය. ඒක තමයි පහුගිය දවස්වල කතාබහට ලක්වුණේ. රැෆෙලා කියන්නෙ වෙනස්ම ඇහැක් තියෙන ජායාරූප ශිල්පිනියක් කිව්වත් හරි. මේ ඇගේ 12 වැනි එඩිෂන් එක. ඇය ගන්නා ජායාරූප කවදාවත් රිපීට් වෙලා නෑ. ඇගේ ජායාරූප ජාත්‍යන්තර වශයෙන් ජයග්‍රහණත් ලබලා තියෙනවා.
දැන් දැන් ඔබ සිනමා තිරයෙත් වැඩිපුර දකින්න ලැබෙනවා?
ඔව්. පසුගියදා තිරගත වුණු සෝලෝ ටවුන් සිනමාපටයට දායකවෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මං රංගනයෙන් දායක වුණු තිනේෂ් කනගරාජාගේ අදිරන් දමිළ චිත්‍රපටයේ ට්‍රේලර් එක ළඟදීම රිලීස් වෙනවා. අදිරන් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයාට ඉතාම ඉක්මනින් දැකගන්න ලැබේවි.
ප්‍රධාන චරිතයකින් දමිළ චිත්‍රපටයකට දායක වීම අභියෝගයක් වුණේ නැද්ද?
භාෂාව තමයි ලොකුම අභියෝගය වුණේ. දමිළ භාෂාව ඉගෙනගන්නත් වුණා. සතියක් විතර දෙබස් ටික පුහුණු වුණා. අධ්‍යක්ෂවරයා ඇතුළු හැමෝගෙන්ම ලොකු සහායක් ලැබුණා. දමිළ නිර්මාණයකට මං සම්බන්ධ වුණු පළමු අවස්ථාව. මට එක් සුවිශේෂී අත්දැකීමක් වුණා.
මිෂෙල්ට විශ්වවිද්‍යාලවලින් විශාල ඉල්ලුමක් තියෙනවා නේද?
ඔව්. පරිසර සංවාද වැඩසටහනට විශ්වවිද්‍යාලවලින් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ළඟදී මොරටුව විශ්වවිද්‍යාලයේ වැඩසටහනක් කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ වැඩසටහන් දෙකක් කළා. මානසික සෞඛ්‍ය ගැන. ඒක හැමෝටම නොලැබෙන අවස්ථාවක්. හැම තැනින්ම ලොකු පිළිගැනීමක් තියෙනවා. මම හරිම කැමැත්තෙන් සම්බන්ධ වෙනවා. කොතරම් කාර්යබහුල වුණත් කාලය කළමනාකරණය කරගෙන හැම පැත්තක්ම බැලන්ස් කරගන්න මං උත්සාහ කරනවා.
නාමලී ගමගේ