
රශී මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල සිහින ගෙනෙනා කුමරියේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව දනුෂ්ක රත්නායකගේ කුලුඳුල් සිනමා අධ්‍යයක්ෂණ ‘පරාග’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය විදිහට සම්බන්ධ වුණා. ඒ වගේම තවත් සිංහල චිත්‍රපට දෙකක ප්‍රධාන නිළිය විදිහට රංගනයෙන් දායක වෙන්න මේ දවස්වල සූදානම්න් ඉන්නවා.
රශී ලාංකීය සිනමාවෙ වගේම ඉන්දීය සිනමාවේ රඟපාන නිළියක්?
2022 වසරේ ඉඳලා මම ඉන්දියානු සිනමාව සමග සම්බන්ධ වෙලා ඉන්නවා. මුලින්ම මම 2022 වසරේ දුෂ්‍යන්ත් ප්‍රතාප් සිං අධ්‍යයක්ෂණය කරපු අජයවර්දන් හින්දි චිත්‍රපටයේ ගීතයක් වෙනුවෙන් රංගනයක් ඉදිරිපත් කළා. ඊට පස්සෙ 2023 වසරේදි ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂ සෑම් රොද්‍රිගුවෙස් නිර්මාණය කරපු Musasi දෙමළ චිත්‍රපටයේ ගීතයකට ප්‍රභූ දේවාගේ නර්තන අධ්‍යක්ෂණය යටතේ රංගනයේ යෙදුණා. ඒ වගේම දකුණු ඉන්දියානු නළුවෙක් සහ අධ්‍යක්ෂවරයෙක්වන ජායි ආකාශ් පහුගිය දවස්වල නිර්මාණය කරපු SSS චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට රංගයෙන් සම්බන්ධ වුණා. ඉතින් මම රඟපාන මේ සියලු චිත්‍රපට රසිකයන්ට ඉදිරියෙදි නරඹන්න පුළුවන්.
වැඩිපුර රඟපාන්න කැමැති ටෙලි නාට්‍යවලද? චිත්‍රපටවලද?
දීර්ඝ ටෙලි නාට්‍යවල රූගතකිරීම් සිද්ධ වෙන ක්‍රියාවලියට මම එච්චර කැමැති නැහැ. නමුත් සිනමාවෙදි නළු නිළියන්ගේ රංගන ජීවිතයට වටින අත්දැකීම් ලැබෙනවා. පිටපත අධ්‍යයනය කිරීම, පෙර පුහුණුවීම් තුළින් හොඳ පන්නරයක් වගේම හරවත් නිර්මාණයක් කිරීමට අවශ්‍ය ප්‍රමිතිය සිනමා නිර්මාණවල අඩංගු වෙලා තියනවා. ඒ නිසා ටෙලි නාට්‍යවල රඟපානවට වැඩිය සිනමා නිර්මාණවල රඟපාන්න මම හුගක් කැමැතියි.
මේ තාක් ආපු ගමන් මග ගැන හැරිලා බැලුවහම මොකද හිතෙන්නෙ?
මම රංගන ක්ෂේත්‍රයට ආවෙ 2012 වසරේදි. එක රැයකින් ප්‍රසිද්ධ වෙන්න කෙටි පාරවල්වල යන්නෙ නැතුව 2012 ඉඳන් හෙමින් හෙමින් රංගනය ගැන අත්දැකීම් ලබමින් ක්ෂේත්‍රය තුළ හැලහැප්පීම්වලට ලක්වෙමින් වසර ගණනාවක් මහන්සි වෙලා තමයි අද ඉන්න මේ තත්ත්වයට ආවෙ. ඉතින් ඒ වෙනුවෙන් මම වැය කරපු මහන්සිය සහ අත්දැකීම් දිහා හැරිලා බලනකොට ගොඩක් සතුටුයි. හැබැයි මම හිතන්නෙ තාම මම ආපු දුර කෙටියි. ඉස්සරහට ලාංකීය රංගන ක්ෂේත්‍රය තුළ සහ ජාත්‍යන්තර රංගන ක්ෂේත්‍රය තුළ තව යන්න දුර තියනවා කියලා විශ්වාස කරනවා. ඉතින් ඒ වෙනුවෙන් මම මගේ උපරිම උත්සාහය යොදනවා.
ක්ෂේත්‍රය තුළ අත්විඳින්න ලැබුණ හැලහැප්පීම් මොනවද?
රඟපාන්න ලැබෙන්න තිබුණ නිර්මාණ නොලැබුණ අවස්ථා තිබුණා. ඒ වගේම මට ලැබෙන්න තිබුණ චරිත ක්ෂේත්‍රයේ ඉන්න අපේ සහෝදර නිළියො හොරකම් කරපු අවස්ථා තිබුණා. රංගන ක්ෂේත්‍රයේ මේ දේවල් නිතර සිද්ධ වෙන සාමාන්‍ය දේවල්. ඒවට සැලෙන්නෙ නැතුව මගේ හැකියාව උපරිමයෙන් ඉදිරිපත් කරලා ක්ෂේත්‍රයේ ඉදිරියට ආවා.
පවුලේ අයගෙන් රශීට ලැබෙන සහයෝගය කොහොමද?
පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, මල්ලියි. 2012 මම රංගන ක්ෂේත්‍රයට ආපු දා ඉඳලා මම ගන්න තීරණ ගැන එයාලා ගොඩක් විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් එයාලා මට නිදහස දීලා තියනවා වගේම සහයෝගයත් දෙනවා. ඉතින් අද මම නිළියක් විදිහට සාර්ථක වෙලා ඉන්න එකට ලොකුම ශක්තිය වුණේ මගේ පවුලෙ අය.
කාර්යබහුල රංගන ජීවිතය එක්ක තමන් වෙනුවෙන් වැය කරන්න කාලය තියනවද?
හරිහමන් නින්දක් විවේකයක් නැතුව රංගන කටයුතුවලටම පහුගිය දවස්වල කාලය වෙන් කරන්න සිද්ධ වුණා. මාසයක පමණ කාලයක් තිස්සෙ පරාග චිත්‍රපටයේ රංගන කටයුතු කරලා අවසාන කළාට පස්සෙ සිංහල අලුත් අවුරුදු කාලය උදා වුණා. ඉතින් ඊට පස්සෙ අවුරුදු වැඩසටහන්වලට කාලය වෙන් කරන්න සිද්ධ වුණා. ඒ දේවල් අවසාන කරලා දැන් තමයි ටිකක් හරි විවේකයක් ගන්නෙ. නමුත් කර්යබහුලත්වය නිසා විවේකයක් නැති එකට කොයි වෙලාවකවත් මම පසුතැවෙන්නෙ නැහැ. හොඳට මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන් කාලෙ වැඩ කළාම ඇත්තටම විවේක ගන්න ඕන කාලෙදි විවේක ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.
රසිකයෝ රශීව ශ්‍රී ලංකා දීපිකා පදුකෝන් කියලා හඳුන්වනවා කියලා ආරංචියි?
ඇඟේ සිහින් හැඩය සමේ පාට එක්ක සමහර රසිකයො කියනවා මම දීපිකා පදුකෝන් වගේ කියලා. රසිකයන්ගේ ඒ විදිහෙ අගය කිරීම් මම භාරගන්නවා. නමුත් මම තවත් නිළියක් වගේ කියලා හඳුන්වනවට වැඩිය මගේ අනන්‍යතාවය අනිත් අය අතර පිළිගැනීමට ලක්වෙනවා දකින්නයි මම කැමැතියි.
ඇඟ වෙනුවෙන් මොනවද කරන්නෙ?
මට තියෙන්නෙ ස්වභාවික පෙනුමක් මිසක කෘත්‍රිමව හදපු පෙනුමක් නෙවෙයි. ස්වභාවික පෙනුමට ගැළපෙන විදිහට සම, කොණ්ඩය, නියපොතු පිරිසුදුව නඩත්තු කිරීම සහ ව්‍යායාම කරලා ඇඟ හැඩට තියාගන්න පුරුදුවීමත් එක්ක මම බාහිර පෙනුම ලස්සන කරගන්නවා. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න අහාර රටාවක් පවත්වගෙන යන ගමන් ශක්තිමත් පෞරුෂයක් නඩත්තු කිරීම තුළ මට දීප්තිමත් පෙනුමක් ලැබිලා තියනවා කියලා විශ්වාස කරනවා.
රශී සරාගිනියක්ද?
ඇඳුම් පැලඳුම්වලින්, හැසිරීමෙන් අනිත් අය අතරෙ කැපිලා පේන්න මම සරාගීකම පාවිච්චි කරන්නෙ නැහැ. නමුත් අහිංසක චරිතවලදි අහිංසක වෙන්නත් සරාගී චරිතවලදී සරාගී වෙන්නත්, නිළියක් විදිහට හැකියාව තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ විදිහට රංගන සහ නර්තන අවස්ථාවලදි සරාගී වෙන්න ඕන වුණාම මම සරාගී වෙනවා. රංගනයේදි සහ නර්තනයේදි ප්‍රේක්ෂකයන්ට දැනෙන විදිහට සරාගීවීමේ හැකියාවක් තිබීම මම ලබපු භාග්‍යයක් විදිහට සලකනවා.
විලාසිතා කරන්න කැමැති මොන විදිහටද?
ලෝකයේ නිතරම අලුත්වන විලාසිතා අනුගමනය කරන්න මම කැමැතියි. ජාත්‍යන්තර තලයේ විලාසිතාවලින් මගේ ඇඟට සහ පෙනුමට ගැළපෙන පෞරුෂත්වය පිළිඹිබු වෙන විලසිතා නිතර කරනවා. ඉතින් මගේ තරුණ වයසෙදි ඇඟේ හැඩය එක්ක මට ඕනෑම විදිහෙ විලසිතාවක් කරන්න පුළුවන් හැකියාව තියනවා. ඒ වගේම මගේ ඇඳුම් සකසන්න, කොණ්ඩා විලාසිතා කරන්න, මේකෆ් කරන්න දක්ෂ වෘත්තිය ශිල්පීන් ඉන්නවා. ඔවුන්ගෙත් සහයෝගය ඇතුව තරු ගුණය රැකගෙන විලසිතා කරනවා.
විලසිතා සම්බන්ධයෙන් විවේචන එල්ල වෙලා තියනවද?
ක්ෂේත්‍රයට ආපු දා ඉඳලා මේ වෙනකන් කරපු විලසිතාවලදි බාල තරුණ මහලු ප්‍රේක්ෂක හැමෝගෙන්ම ආදරය මිසක කිසිම විවේචනයක්වත් කටකතාවක්වත් හැදිලා නැහැ. ඒකට හේතුව මගේ ඇඟේ හැඩයට ගැළපෙන ප්‍රමිතියෙන් ඉහළ ඇඳුම් විලසිතා මම අඳින්න පුරුදුවෙලා ඉන්න නිසා. හැම වසරකම උපන් දිනය වෙනුවෙන් විශේෂ තේමාවකට අනුව නිර්මාණය කරපු ඇඳුම් විලසිතාවකින් මම කරන photo shoot එකට හැමෝගෙන්ම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ අවුරුද්දෙ මගේ උපන්දිනයටත් රසිකයො පුදුම හිතෙන විලාසිතාවකින් photo shoot එකක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ආදරය ගැන සහ විවාහය ගැන අදහසක් නැද්ද?
හදිස්සි වෙන්නෙ නැතුව ඉවසීමෙන් රංගන ක්ෂේත්‍රයේ යම් ස්ථාවරයකට ආවා වගේ ආදරයෙදිත් ඉවසීමෙන් කටයුතු කළොත් අනාගතයේදි හොඳ ආදරයකට විවාහයකට මගපෑදෙයි කියලා මම විශ්වාස කරනවා. ආදරය කරන්න නිශ්චිත වයසක් නැහැ කියලයි මම හිතන්නෙ. ඒ නිසා වයස ගෙවෙනවා කියලා කලබලේ කාව හරි හොයාගෙන විවාහ වෙන්නෙ නැතුව මට සහයෝගය දෙන විස්වාසනීය ආදරයක් හමුවනතෙක් ඉවසනවා.
