2018 වසරේදී පැවති පස් වැනි දෙරණ සිනමා සම්මාන උළෙලේදී අනාගත සිනමාව යන අංශයේ හොඳම සිනමාපටයට හිමි සම්මානය දිනා ගත් මාලක දේවප්‍රිය නිර්මාණය කළ ‘බහුචිතවාදියා‘, නාගරික පීඩිත තාරුණ්‍යයේ ඉරණම අළලා නිර්මිත අපූර්ව හා ආන්දෝලනාත්මක සිනමාපටයක් බවයි අවස්ථා කිහිපයකදීම එය නැරඹු පිරිසගේ පොදු අදහස වනුයේ. ධර්මසේන පතිරාජගේ ‘අහස් ගව්ව, පාරදිගේ’ හා ‘මතුයම් දවස’ සේම වසන්ත ඔබේසේකරගේ ‘වල්මත්වූවෝ’ හා ‘පළඟැටියෝ’ යන සිනමාපට පිළිබඳ මතකය අවදි කරන්නටත් ‘බහුචිතවාදියා’ සමත්. නිසැක වශයෙන්ම මෙය නවක සිනමාකරුවකු වෙතින් අපේක්ෂා කළ නොහැකි තරමේ සිනමාපටයක් ද වනවා. කෙසේ වුවද මාලක සිය දෙවන සිනමාපටය දක්වා නොපැමිණීම කනගාටුවට කරුණක්. මේ මාලක පමණක්ම මුහුණ දෙන තත්ත්වයක් නොවන බවයි අවධාරණය කළ යුත්තේ.
‘බහුචිතවාදියා’හි ප්‍රධාන චරිතය නිරූපණය කරන කලණ ගුණසේකර අද වනවිට සිරිලක සිනමාවේ කැපී පෙනෙන චරිතයක්. වෙසෙසින්ම තරුණ සිනමාකරුවන්ගේ පළමුවැනි තෝරා ගැනීමක් බවට ඔහු පත්ව සිටිනවා. නොපැකිළව හා නිර්භය පිවිසුමකින් ඕනෑම විවාදාත්මක චරිතයක් නිරූපණයට ඔහු හැම විටෙකම පාහේ සූදානම්. ‘බහුචිතවාදියා’ මෙහි ප්‍රාරම්භක අවස්ථාවයි. සිනමා රූපණයේ ඇතැම් සූක්ෂ්මතා මැනවින් දත් බව මෙහිදී ඔහු ඉඟි කරන්නේ අධි රංගන අනතුර වළක්වා ගන්නා අතරතුර. තෑගි භාණ්ඩ ප්‍රවාහනය කරන ආයතනයක සේවය කරන සසිත නමැති තරුණයා සමඟ කලණ ගොඩනඟන පීඩිත නාගරික තාරුණ්‍යයේ ඉරණම ‘බහුචිතවාදියා’හි මුඛ්‍යාර්ථය වනවා. මේ සම්මත ආදර්ශවත් චරිතයක් නොවෙයි. එහෙත් ඊට පෙම් නොබැඳ සිටින්නට සවිඥානක කිසිවකුටත් නුපුළුවන් බවයි පෙනී යන්නේ. මෙවැනි තරුණයන් බහුතර සමාජයේ ගොදුරු බවට පත්වන අයුරු දැක කම්පාවනවාට වඩා වැඩි යමක් වෙනුවෙන් පියවරක් ගන්නට රසිකයා තුළ යම් පෙළඹවීමක් ඇති කරලන අන්දමිනුයි සිනමාකරු මාලක මේ තරුණයාගේ චරිතය හසුරුවාලන්නේ. නවකයකු ලෙස කලණ එම අරමුණ වටහාගෙන ඇත්තේ පසුබෑම් අවම කරමින්.
‘බහුචිතවාදියා’ට පසු කලණ ප්‍රධාන හා උප ප්‍රධාන චරිත නිරූපණය කළ සිනමාපට ගණනාවක්ම මේ වනවිටත් ප්‍රදර්ශන වී තිබෙනවා. මෙහිලා ඔහු සම්මාන ද, ගරු සැලකිලි ද ලබා ඇති වග අමතක කළ යුතු නැහැ. වත්මන් විද්වත් සිනමා කතිකා සමඟ වන ඔහුගේ අත්‍යන්ත සබැඳියාව පසුපස ද මේ සිනමාපට අඩු වැඩි වශයෙන් පවතිනවා. සිනමා රූපණයෙහි නිරත වෙමින් සිටියදීම සිනමා තිරනාටක රචනයට ද ඔහු එක්වීම අතිශය වැදගත්. සිනමා රූපණයේදී දතහැකි නිර්ව්‍යාජ හා නිදහස් පිළිවෙතම ඔහු සිය සිනමා තිරනාටක කරා ගෙන එන්නට දරන තැත විචාරක අවධානයට තවදුරටත් ලක් විය යුතු වන්නක්. ඔහුගේ තිර නාටකයකින් නිර්මිත ‘සූස්ති’ මෙසේ විචාරක අවධානයෙන් ගිලිහුණු සිනමාපටයක් වනවා. ප්‍රදීප් ධර්මදාස නිර්මාණය කළ තවමත් තිරගත නොවූ ‘අයිස් ක්‍රීම්’ හි තිරනාටක රචකයා සේ ඔහු තවත් ඉදිරි පියවරක් තබනු ඇති බවට සැකයක් නැහැ.
කලණගේ ප්‍රවේගවත් චරිත නිරූපණයක් දැකිය හැකි වූ කසුන් පතිරණ නිර්මාණය කළ ‘නයිට් රයිඩර්’ ද අවාසනාවන්ත ලෙස විචාරක අවධානයෙන් ගිලිහුණු සිනමාපටයක්. පාලනයකින් තොර මාධ්‍ය ලෝකයේ ඉත්තකු බවට පත්වන ටැක්සි රථ රියදුරකු ලෙස කලණ මෙහිදී නිරූපණය කරන්නේද නාගරික තාරුණ්‍යයේ ශෝචනීය පාර්ශ්වයක් හෙළිදරව් කරන චරිතයක්.
කලණ හා රසික සමාජය අතර පවතින ගැටලුකාරී තත්ත්වයක්ද මෙතැනදී හඳුනා ගැනීම වැදගත් වනවා. එය පැමිණෙන්නේ අදින් වසර කිහිපයකට පෙරාතුව ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය වූ ලක්මාල් ධර්මරත්න නිර්මාණය කළ ‘කූඹියෝ’ටෙලි නාටකයෙන්. කලණ මෙහි එක් ප්‍රධාන චරිතයක් තුමිඳු දොඩන්තැන්න සමඟ නිරූපණය කරන්නේ රසිකයාට නවමු අත්දැකීමක් ලබා දෙමින්. ‘කූඹියෝ’ සිරිලක ටෙලි නාටකයට එක්වූ ඉහළමපෙළේ ටෙලි නාටකයක් වන බවයි විචාරක අදහස ද වන්නේ. ‘කූඹියෝ’ හා තමා අතර භාවමය බැඳීම කඩා බිඳ දැමීමයි අද ඔහු මුහුණදෙමින් සිටින ගැටලුව. මන්ද තවමත් කලණව ‘කූඹියෝ’ හි ආ ප්‍රියන්ත මහඋල්පතගේ චරිතයට අදාළව හඳුනා ගන්නා අවස්ථා දක්නට ලැබෙන නිසා.
කලණ මේ වනවිට සිනමා තරු අඹරේ සැරිසරන සම්මත හා විකල්ප ලකුණු කැටි කර ගත් අයකු වනවා. ඔහුට සම කළ හැකි දෙදෙනෙකු ද සිටින බව මෙහිදී සිහිපත් වන්නේ නිරායාසයෙන්. ඒ සෞම්‍ය ලියනගේ හා දසුන් පතිරණයි.