සමීර පියරත්නගේ රොකී ටෙලි නිර්මාණයේ අනුහස් ලෙසින් මේ දිනවල ඉහළම ප්‍රේක්ෂක ආදරයක් විඳින ඔහු ස්වාධීන රූපවාහිනියේ විකාශය වන රාග ටෙලි නිර්මාණයේ නිරෝත් ලෙසින් ද ප්‍රේක්ෂක ඔබ හමුවට එයි. ජයලත් මනෝරත්නයන්ගේ තුන්පත් රටාවක ලස්සන ටෙලි නිර්මාණයෙන් තම කුලුඳුල් රංගන අත්දැකීම ලබාගන්නා ඔහු එහි පන්නරයෙන් පාර දිගේ, සංසාරිණී මෙන්ම මේ දිනවල විකාශය වන රොකී, රාග වැනි ටෙලි නිර්මාණවල ද සිය හැකියාව පෙන්නුවේය. රංගන ශිල්පියෙක්, ගායකයෙක්, වාදකයක්, නර්තන ශිල්පියෙක් මෙන්ම නිවේදකයෙක් ලෙස ද දස්කම් දක්වන ඔහු සචින් චතුරංගය. මේ දිනවල නවමු සංගීතමය අත්දැකීමක මිහිර බෙදන්නට සූදානමින් සිටින ඔහු අද අප හා කතාබහට එක්වීය.
සචින්ටත් වඩා මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ලැබෙන්නේ අනුහස්ට කිව්වත් හරි නේද?
ඇත්තටම ඔව්. සිරස නාළිකාවේ විකාශය වන සමීර පියරත්නගේ රොකී ටෙලි නිර්මාණයේ අනුහස්ට මේ දිනවල පුදුමාකාර ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. මුල් දවස්වල අනුහස් ටිකක් ආත්මාර්ථකාමී වුණත් මේ වෙද්දි ආදරණීය චරිතයක් බවට පත්වෙලා ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම ලබනවා කිව්වත් හරි. ඉදිරියට ඒ ආදරේ තවත් වැඩි වේවි කියලත් බලපොරොත්තු වෙනවා. විශේෂයෙන් මං ගොඩක් ආස කරන කලාකරුවන් රැසක් එක්ක එකට වැඩ කරන්න ලැබුණු අවස්ථාවක්. ලංකාවේ ජනප්‍රිය රැප් ගායක ශාන් පුතා එක්කත් රඟපාන්න ලැබුණා. ඔහුගේ පළමු සහ එකම රංගනය සමඟ මටත් එකතු වෙන්න ලැබීම සතුටක්.
එතකොට නිරෝත් කියන්නේ?
නිරෝත් ඉන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණය කරන රාග ටෙලි නිර්මාණයේ. ඒක මට ලැබුණු වෙනස්ම චරිතයක්. ඩිලිවරි බෝයි කෙනෙක්. ඔහු කළු චරිතයක් නොවුණත් තමන්ගේ ආදරය ලබාගන්න, තමන්ගේ හීනවලට යන්න නැති දේ තියෙනවා වගේ පෙන්නමින් ඔහු බොරු කියනවා. නිරෝත්ටත් ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මතක් කරන්න ඕන සංසාරිණී සහ ළංවී ටෙලි නිර්මාණවලට අදටත් ප්‍රතිචාර ලබනවා. මං මෙතෙක් සම්බන්ධ වුණු හැම නිර්මාණයකටම හොඳ ප්‍රතිචාර ලැබීම ලොකු සතුටක්.
සිනමාවේ දායකත්වය ගැන කතා කළොත්?
මුලින්ම මං සම්බන්ධ වුණු ජෙගනාදන් චන්ද්‍රදාසන්ගේ කේස් නො. 447 සිනමාපටය තවමත් තිරගත වුණේ නැහැ. ඒ වගේම මහේෂ් මුණසිංහගේ සූර්යා සිනමාපටය මේ වසරේ තිරගත වීමට නියමිතයි. ඒ ඇරුණම ආකාශ් තාරුක පෙරේරාගේ කලර් පෙන්සිල් සිනමාපටයට සම්බන්ධ වෙන්න බලපොරොත්තුවෙන් ඉන්නවා. නුදුරේදීම එහි රූගත කිරීම් ආරම්භ වේවි. කලර් පෙන්සිල් සිනමාවට අලුත්ම අත්දැකීමක් වේවි කියලා හිතනවා. තිර පිටපත වගේම අධ්‍යක්ෂණයත් ආකාශ්ගේ. අතිවිශාල කාස්ට් එකක් සම්බන්ධ වෙන නිර්මාණයක්. ඉදිරියේදී පුංචි තිරයට පොඩි විවේකයක් දීලා රිදී තිරයට එකතුවීමේ ආසාවකුත් තියෙනවා.
සචින් චතුරංග කියන ගායකයා ගැන කතා කළොත්?
මුලින්ම කියන්න ඕන මම ගායකයෙක් නෙවෙයි. මම ක්ෂේත්‍රයට එන්නේ රංගන ශිල්පියෙක් විදිහට. සංගීතය කියන්නේ මගේ හිතේ ආසාවට කරන දෙයක්. මට සංගීතය ලොකුවටම බැරි වුණත් පුළුවන් කොටසට මං හරි ආදරෙයි. ඒ නිසා මං ගීත කිහිපයක් කළා. ඒ වගේම ගයාන් ගුණවර්ධනගේ රෝඩ්ස් සංගීත කණ්ඩායමේ පර්කර්ෂන් වාදකයා විදිහට කටයුතු කළා. මේ වෙද්දි මං රෝඩ්ස් එකෙන් අයින් වෙලා මගේම කියලා සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. මේක ගයානුයි මායි අමනාප වෙලා ගත්ත තීරණයක් නොවන බව විශේෂයෙන්ම කියන්න ඕන. අපි දෙන්නා හරිම සුහදව කතාබහ කරලා තමයි මං මේ තීරණය ගත්තේ. ඔහුට ස්තුතිවන්ත වෙන්නත් මං මේක අවස්ථාවක් කරගන්නවා.
ළඟදීම ඔබ සංගීත ක්ෂේත්‍රයේ ලොකු පිම්මක් පනින්න සූදානමින් ඉන්නවා කියලත් ආරංචියි. ඒ ගැනත් කියමු?
ඔව්. V8 කියලා මං සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. ඒක ටිකක් වෙනස් වැඩක්. සංගීතයේ තියෙන ෆියුචර් රිස්ටික් කියන කොටස පදනම් කරගෙන තමයි මං ඒ වෙනස කරන්න උත්සාහ කරන්නේ. ගායනය වාදනය, නර්තනය විතරක් නෙවෙයි රූප රාමුවල ඒ වෙනස දකින්න ලැබේවි. ලබන 8 වෙනිදා සවස 6.30 සිට නෙළුම් පොකුණ ගෘහස්ථ පරිශ්‍රයේ දී V8 සංගීත කණ්ඩායම එළිදැක්වීමත් එක්ක ප්‍රේක්ෂකයන්ටත් ඒ අපූරු අත්දැකීම විඳගන්න ලැබේවි. ලීඩ් ගිටාරයෙන් චමිදු ශිලක්ෂිත, බේස් ගිටාරයෙන් යෝෂිත අබේසිංහ, රිදම් ගිටාරයෙන් සහ ඉදිරිපෙළ ගායනයෙන් ක්ලිෆර්ඩ් මිෂේන්, ඕගන් වාදනයෙන් සුමේෂ් වඩුගේ, ඩ්‍රම්ස් වාදනයෙන් වෙනුක ගෝමස්, පර්කර්ෂන් වාදනයෙන් කෝසල ප්‍රනාන්දු වගේම ගායනයෙන් මම සහ මගේ මල්ලී අමෝද් සම්බන්ධ වෙනවා. ඒ වගේම ඩිමිලෝ මහත්මයා කණ්ඩායමේ මැනේජර් විදිහට කටයුතු කරනවා. නෙළුම් පොකුණ පරිශ්‍රයේ දී සංගීත කණ්ඩායමක් එළිදක්වන පළමු අවස්ථාවත් මේක. එදාට මගේ මල්ලි අමෝද් දෂීන් මෙන්ඩිස් එක්ක මගේ සින්දුවක් වගේම අපේ බෑන්ඩ් එකේ සින්දුවකුත් රිලීස් වෙනවා. මියුසික් ස්ටයිල් සියල්ලටම ගැළපෙන විදිහට උමාරියා, රූකාන්ත, හනා වගේම ශාන් පුතාත් එකතු කරගත්තා. ඒ වගේම යුගයේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් වන වායෝ සංගීත කණ්ඩායමත් අපිත් එක්ක එදාට ඒ අත්දැකීම බෙදාගන්නවා. ලංකාවේ මෙතෙක් නොවූවිරූ වෙනස්ම සංගීතමය අත්දැකීමක් ප්‍රේක්ෂක ඔබට තිළිණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
නාමලී ගමගේ