
මේ දවස්වල වැඩ කටයුතු ගැන කියලම කතාව පටන් ගමු?
මේ දවස්වල මලක් ටෙලි නාට්‍යය හිරු ටීවී නාළිකාවේ විකාශය වෙනවා. සමන් කුමාර ලියනගේ මහත්මයාගේ අධ්‍යක්ෂණයක් වන ඒ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් මේ දවස්වල නුවරඑළිය ප්‍රදේශයේ සිදු වෙනවා. ඊට අමතරව තවත් අලුත් නිර්මාණ දෙකක රූගත කිරීම් පටන් ගත්තා. ඊට අමතරව මම භාර ගත්ත චිත්‍රපටවල තිර රචනා කටයුතු සහ මගේ චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු සමඟ තමයි මේ දවස්වල කාලය ගත වෙන්නේ.
ශේන්ට ලැබෙන ප්‍රතිචාර ගැනත් කතා කරමු?
මලක් ටෙලි නාට්‍යයේ ශේන් කියන්නේ හරිම කාම් චරිතයක්. ගහට, කොළට, පරිසරයට ආදරය කරන, හිත නිවන චරිතයක්. ඇත්තටම ඒ ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර ඉතාම හොඳයි. ප්‍රේක්ෂකයන් ආදරෙන් ඒ චරිතය වැලඳගෙන තිබෙනවා.
මීට පෙර ඔබ බොහෝ විට නිර්මාණය කළේ කෙටි චිත්‍රපට, ඉදිරියේදි වෙනසක් කරන්නේ නැද්ද?
ඔව්, මම මීට පෙර කෙටි චිත්‍රපට 6ක් විතර නිර්මාණය කරලා තිබෙනවා. ඒත් මේ වෙද්දි මම වැඩ කරන්නේ වෘත්තාන්ත චිත්‍රපට එක්ක. මේ වෙද්දි වෘත්තාන්ත චිත්‍රපට සඳහා තිරපිටපත් පහක් පමණ ලියලා තිබෙනවා. මේ දවස්වල වැඩ කටයුතු කරගෙන යන නිර්මාණ සියල්ලම වගේ වෘත්තාන්ත චිත්‍රපට.
රංගන ශිල්පියෙක්, නිර්මාණකරුවෙක් මේ දෙක අතරින් ඔබට ඔබව වැඩිපුර දැනෙන තැන?
මගේ ආසාව සහ පිස්සුව තමයි රංගන ශිල්පියෙක් වෙන එක. ඒකට මට ලොකු රුකුලක් වුණා මගේ අධ්‍යාපනය. මම කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිනමා අධ්‍යනය හැදෑරුවේම මට තිබුණු මේ රඟපෑමේ ආසාව නිසා. මම සිනමාව හැදෑරුවේම මට අවස්ථාවක් ලැබුණේ නැත්තම් මම චිත්‍රපටයක් හරි කරලා රඟපෑමේ අරමුණෙන්. කොහොම වුණත් මගේ අධ්‍යාපනය හරහා මට මම වැඩ කරන මාධ්‍ය ගැන ගැඹුරෙන් දේවල් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. කැමරාවේ ලෙන්ස් එක මාරු කරද්දි ෆ්‍රේම් එක මොන විධියටද හැදෙන්නේ කියන තැන ඉඳන් තාක්ෂණික කාරණා සියල්ලම ගැන මට හොඳ අවබෝධයක් ලැබුණා. ඒ හරහා මට රංගනයට තවත් පහසුවක් වුණා.
සිනමාකරුවෙක් විධියට ලංකාවේ අධ්‍යක්ෂවරයෙක් ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් දිනා ගැනීම ගැන ඔබේ අදහස?
මම හිතන විධියට මේ තමයි අපේ සිනමාවේ අවුරුද්ද. ගොඩක් සිනමාකරුවන්ගේ පළවැනි සිනමා නිර්මාණ මේ අවුරුද්දේ තිරගත වෙනවා. නෙළුම් කුලුන, වාලම්පුරි, ශේෂ, මෝඩ තරිඳු වගේ චිත්‍රපට. මේ චිත්‍රපට හැම එකකම වගේ තිබෙන්නේ එකිනෙකට වෙනස් ආරක්. අපිට ඕනෑ හයි බජට් සිනමාවක් නෙවෙයි. අපිට ඕනෑ මේ කර්මාන්තය ඇතුළේ අප්ඩේට් වුණු නිර්මාණ. අපිට මේ ලෝකෙත් එක්ක යන්න පුළුවන් යාවත්කාලීන වීම විතරයි අවශ්‍ය. ඒකට බහුබලී වගේ චිත්‍රපටවලට වගේ ලොකු බජට් එකක් අවශ්‍ය නැහැ.
එහෙනම් අපේ සිනමාවට අවශ්‍ය මොනවද?
අපිට ඕනෑ හොඳ ස්ටෝරිස්. මම දන්න විධියට නෙළුම් කුලුන පහුගිය දවස්වල ලංකාවේ වැඩිම දර්ශන වාර ගණනක් පෙන්වන සිනමාපටය බවට පත් වුණා. ඇත්තටම මිනිස්සුන්ට ඕනෑ වින්දනයක්. ඒක දෙන්න නම් අපිට මේ කර්මාන්තය ගොඩ නඟන්න වෙනවා. ඒකට මුලින්ම මිනිස්සුන්ව හෝල්වලට ගෙන්න ගන්න වෙනවා. ඉලංගෝ රාම් අයියගේ පෙරුසු චිත්‍රපටය මේ වෙද්දි නෙට්ෆ්ලික්ස් ඉන්දියාවෙත් ටොප් 10 අතර තියෙනවා. ඇත්තටම ඒක අපි නොහිතපු තරම් දෙයක්. මගේ මේ සතුට වැඩි වෙන්නේ ලංකාවේ ෆිල්ම් එකක්, සිංහල, දමිළ වේවා මොන භාෂාවක හරි ලංකාවේ ෆිල්ම් එකක් ඒ විධියට පත් වෙනවා දකින එක. මේ කර්මාන්තය ගොඩනඟන්න නම් අපිට සිද්ධ වෙනවා එකිනෙකාට උදවු කරගන්න. අනෙකාගේ දියුණුව දැකලා සතුටු වෙන්න. ඇත්තටම මම නෙළුම් කුලුන චිත්‍රපටයට දායක නොවුණත් ඒ ෆිල්ම් එක බලන්න හෝල්වලට මිනිස්සු පිරෙන හැටි දැක්කම මට මාර සතුටු හිතුණා. මොකද එයාලා ඒ හදන ඉන්ඩස්ට්‍රි එකේ ඊළඟ බැටන් එක හම්බෙන්නේ අපිට.
පහුගිය දවසක රයිගම් ටෙලි සම්මාන උළෙලේ සම්මානයක් සඳහාත් නිර්දේශ වුණා නේද?
වේදිකාවෙන් පටන් ගත්ත ගමන මම 2012 දී වගේ තමයි ටෙලි නාට්‍යවලට එකතු වෙන්නේ. ඒ තරම් කාලයක් මම සම්බන්ධ වුණේ මෙගා ටෙලි නාට්‍යවලට. මෙගා නොවන සීමිත කොටස් ගණනක් කරපු පළමු නිර්මාණය තමයි ජෝ දිසානායක අයියගේ බැක්සයිඩ්. ඉතිං මම හිතුවේ නැහැ ඒකෙන්ම මම සම්මානයක් සඳහා නිර්දේශ වෙයි කියලා. හැමෝම මට සම්මානය හම්බෙයි හම්බෙයි කියලා කිව්වත් මම ඒ අයටත් කිව්වේ මේ සඳහා නිර්දේශ වීමත් ප්‍රමාණවත් කියන දේ.
මේ දවස්වල ශාරුක් ඛාන්ගේ රසිකයන්ගෙනුත් ආදරය හිමි වෙන බව පේනවා?
ඇත්තටම ඒක හරිම අහම්බයක්. මම ටික් ටොක් එකේ දැකලා තියෙනවා ශාරුක්ගේ ෆෑන්ස්ලා එහෙම එක එක ලොකේශන්වලට ගිහින් ඔය පෝට් එක වීඩියෝ කරලා දානවා අපි මේ දවස්වල මලක් ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වල ඉන්න නිසා දවසක් මම ඔය විධියට ෆොටෝ එකක් ගැහුවා. ඒ වෙලාවේ අශාන් මල්ලි ඒකේ වීඩියෝ එකක් අරගෙන තිබුණා. මම ඒක පබ්ලිෂ් කරන්න හදද්දි අශාන් මල්ලිම තමයි කිව්වේ අපි තව තව ලොකේශන්වලට යනවනේ ඒ තැන්වලදිත් ඕක කරලා වීඩියෝ එක එඩිට් කරලා දාමු කියලා. එහෙම නිකමට හිතිලා දාපු එක තමයි වයිරල් වුණේ. ඒ වීඩියෝ එක මේ වෙද්දි මිලියන ගාණක් බලලා තියෙනවා. ශාරුක්ගේ ෆෑන්ස්ලාගෙන් ප්‍රතිචාර ලැබෙනවා ඉතිං.
අවසන් වශයෙන් ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් මතක් කරමු?
මම රංගනයෙන් දායක වුණු කාර්ති සහ භවන් චිත්‍රපටයේ මේ දිනවල පසු නිෂ්පාදන කටයුතු සිද්ධ වෙනවා. ඒකත් එක්කම මම භාර ගත්ත තව සිනමා නිර්මාණයක් තියෙනවා ඒකේ රූගත කිරීම් ඉදිරියේදී පටන් ගන්න නියමිතයි. ඊට අමතරව මගේ චිත්‍රපටවල වැඩ කටයුතු තමයි සිද්ධ වෙන්නේ.
