කොටින්ම කියනවා නම් රේඩියෝව එහෙට මෙහෙට හරවමින් හින්දි ගීත වැඩසටහන් පීර පීර මේ ගීය අහන්නට දත කෑ යුගයකුත් අපේ අයට තිබුණා. මේ ගීතය ගායනා කරන්නේ උදිත් නාරායන්. උදිත් නාරායන් කියන්නේ තමන්ට ලැබුණු විචිත්‍රවත් හඬෙන් මිනිසුන්ගේ හදවත්වල රජ කිරීමට සමත්වුණු ගායකයෙක් කියා අපිට හඳුන්වන්න පුළුවන්. බොලිවුඩය කලඹපු මේ ගායකයා තමන්ගේ කටහඬින් ගීත දහස් ගණනක් ගායනා කර
තිබෙනවා. ඔහු ගායනා කළ සෑම ගීතයකින්ම ඔහු තම රසිකයන් උමතු කළ බව නොරහසක්. උදිත් නාරායන් කියන්නේ උදිත් කියන නාමය සහ හැකියාව ගොඩනඟා ගන්න එහෙමත් නැත්නම් තමන්ට උරුම වුණු තැන හදාගන්න ගොඩාක් මහන්සි වුණු කලාකරුවෙක්. නමුත් පසුගිය කාලය තුළ උදිත් පිළිබඳව තම රසිකයන් සහ ලෝකයා කියන කතන්දර එතරම් සුබදායක නැහැ. ඒ කතන්දර ගොඩනැඟී තිබෙන්නේ උදිත් තම රසිකාවියක් දෙනෝදාහක් ඉදිරිපිට සිප ගැනීම නිසායි. අපි මේ කතාව මොකක්ද කියලා සොයා බලමු.
පසුගියදා පැවැති ප්‍රසංගයකදී ගායක උදිත් නාරායන් තම රසිකාවියක් සිපගැනීම සම්බන්ධයෙන් මේ වන විට සකල භාරතය පුරාම ගිනි ඇවිළී තිබෙනවා. උදිත් නාරායන් සමඟ සෙල්ෆියක් ගැනීමට සමීපයට පැමිණෙන මෙම තරුණිය එකවරම සිපගන්නා උදිත් නාරායනගේ වීඩියෝව මේ වන විට වයිරල් වී තිබෙනවා. නමුත් මෙම වීඩියෝව මතභේදාත්මක බවද දකින්නට පුළුවන්. තම රසිකාවියකගේ තොල් සිප ගැනීමට උදිත් කටයුතු කිරීම ඇතැමුන් අරුත් දක්වා තිබුණේ බලහත්කාරකමක් කිරීමට ගත් උත්සාහයක් ලෙසයි. ඇතැම් පිරිස මෙය උදිත්ගේ වරදක් නොවන බවත් රසිකාවියගේ වුවමනාවෙන් සිදුව ඇති බවත් පෙන්වා දෙනවා. ප්‍රේක්ෂකයන්ගෙන් තමන්ට ලැබෙන අතිමහත් ප්‍රතිචාර හේතුවෙන් උදිත් නාරායන් මෙය තමන් තම රසිකයන්ට දක්වන කොන්දේසි විරහිත ආදරය ලෙසද පෙන්වා දී තිබුණා.
පසුගිය පෙබරවාරි මාසයේ පැවැති උත්සවයකට උදිත් නාරායන් සහභාගි වන අවස්ථාවේදී පැපරාසීන් ඔහුට උසුළු විසුළු කර තිබුණා. නමුත් උදිත් නාරායන් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැහැ. උදිත් එම ආන්දෝලනාත්මක සිප ගැනීමෙන් පසුව පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස පැපරාසීන්ගේ සමච්චලයට ලක් වී තිබුණා. ගායකයා එම ස්ථානයට පැමිණ පැපරාසීන් වෙනුවෙන් සිනාසෙමින් යන්නට ගිය බව වීඩියෝවෙහි දක්නට ලැබුණා. ඔහු එම අවස්ථාවේදී එක් පුද්ගලයකුගේ ඉල්ලීම අනුව ” පාපා කැහැතේ හෛ” ගීතය පවා ගායනා කර තිබුණා. උදිත් නාරායන්ගෙන් තමන් කැමැතිම ගීය කුමක්ද කියා ඇසුවොත් ඔහු කියන්නේ මම කැමැතිම පාපා කැහැතේ හෛ කියන ගීතයට කියලයි ඔහු පවසනවා. මේ ගීතය වෙනුවෙන් හොඳම පසුබිම් ගීතය වෙනුවෙන් උදිත් නාරායන් ෆිල්ම් ෆෙයාර් සම්මානයෙන් පිදුම් ලබනවා. ඉතින් ඔහු මේ අවස්ථාවේදී ඒ ගීතයත් ගායනා කර තිබෙනවා. උදිත් එම ස්ථානයෙන් පිටව යන අවස්ථාවේදී පැපරාසීන් “සර්, ඒක් කිස් හෝ ජායේ” කියමින් ඔහුට විහිළු කර තිබුණා. එහි අරුත වූයේ සර් මටත් කිස් එකක් දෙන්නකෝ යන්නයි. නමුත් මෙම අවස්ථාවේ උදිත් නාරායන් ප්‍රතිචාර දැක්වූ ආකාරය බොහෝ දෙනකුගේ අවධානයට ලක්වුණු අතර එයින් උදිත්ගේ ඉවසීමේ ප්‍රමාණය කෙතරම් ඉහළ මට්ටමක පවතිනවාද යන්න ලෝකයටම පෙන්වා දුන්නා.
උදිත් නාරායන් තමන්ට මුහුණ දීමට සිදු වූ මෙම සිදුවීම පිළිබඳව මෙවැනි අදහසක් දක්වා තිබුණා.
“රසිකයෝ අපිට ආදරය කරනවා. සමහර අය මෙවැනි දේ කරමින් අපිව දිරිමත් කර මේ හරහා ඔවුන්ගේ ආදරය පෙන්වනවා. රසිකයන්ට අපි වෙතට සමීප වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ බොහොම අඩුවෙන්. මේ වගේ අවස්ථාවක් ලැබුණු විට ඔවුන් අතට අත දීම සඳහා තම දෑත් දිගු කරනවා, සමහරු අපේ අත් සිප ගන්නවා, මේ වගේ දේවල් ඔවුන් කරන්නේ අපිට තිබෙන ආදරය ප්‍රකාශ කරන්න. අපි යහපත් මිනිස්සු. දැන් මේක ලොකුවට ගන්නේ ඇයි?
උදිත් කියන්නේ එක රැයකින් එක ගීතයකින් ගායන තරුවක් බවට පත්වුණු විශිෂ්ට ගායකයෙක්. ඒ ‘පාපා කැහැතේ හෛ’ ගීතය නිසා උදිත් මේ වන විට භාෂා 36කින් ගීත ගයා ඇති අතර ගීත 25,000කට වඩා ගායනා කරලා තිබෙනවා. 2001දී දක්ෂිණ බාහු සම්මානයෙනුත්, 2009දී පද්ම ශ්‍රී සම්මානයෙනුත්, 2016දී පද්ම භූෂන් සම්මානයෙන්ද පිදුම් ලබන උදිත් නාරායන් සෑම ආකාරයකම ශෛලීන්වලින් ගීත ගායනා කරන අසහාය ගායකයෙක්. ඔහු මේ වන විට තෙලිඟු, කණ්ණඩ, දමිළ, මලයාලම්, ඔඩිසා, නේපාලී, භෝජ්පුරි, බෙන්ගාලි සහ හින්දි භාෂාවලින් ගීත ගායනා කොට තිබෙනවා. ෆිල්ම් ෆෙයාර් සම්මාන, අයිෆා සම්මාන, නැෂනල් ෆිල්ම් ෆෙයාර් සම්මාන ඇතුළු විවිධ සිනමා සම්මන උළෙලවලදී හොඳම ගායකයාට හිමි සම්මානයන් එක් වරක් නොව කිහිප වරක්ම තම නමට වෙන් කරගන්න උදිත් නාරායන් සමත් වෙලා තිබෙනවා. ඉතින් උදිත් නාරායන් කියන්නේ එවන් විශිෂ්ට ගායකයෙක්.
කෙසේ වෙතත් මේ සිදුවීම නිසා උදිත් නාරායන්ගේ ජීවිතයට ලොකු කැළැලක් ඇති වී තිබෙන බව පෙනී යනවා. උදිත් කාන්තාවක් සිප ගැනීම සංස්කෘතික රාමුවකට කොටු වී නරඹන ඇතැමෙක්ට අසැබි ක්‍රියාවක් ලෙස අර්ථ දක්වන්න පුළුවන්. ඇතැමෙක්ට එය සොඳුරු දෙයක් ලෙස දකින්නත් හැකියාව තිබෙනවා. ලෝක ප්‍රසිද්ධ ගායක එල්විස් ප්‍රෙස්ලි පවා තමන් වේදිකාව මත ගායනා කරමින් සිටින විට කාන්තාවන් සිප ගැනීම සිදුකළා. ඉතින් ඇයි උදිත් නාරායන්ට මේ තරම් ගැරහුම්. මේ සිප ගැනුම් හමුවේ උදිත් නාරායන් නම් අසහාය ගායකයාව අපි ආදරයෙන් පිරි සොඳුරු මිනිසකු ලෙස භාර ගන්නවාද? නැති නම් සල්ලාලයකු ලෙස හංවඩු ගසනවාද? තීරණය ඔබට භාරයි.