වැඩියෙන්ම රණ්ඩු කරන අය තමයි අන්තිමට ආදරය කරන්න පටන් ගන්නේ -සඳනී වක්කුඹුර

 



දඟකාර යෞවනයේ මිහිර ඒ අයුරින්ම පුංචි තිරයට ගෙනෙන ‘හිරිපොද වැස්ස’ මේ දිනවල ප්‍රේක්ෂකයින් ඉතාම ආදරයෙන් වැලඳගත් ටෙලි නිර්මාණයකි. එහි පවීගේ චරිතයට පණ පොවන සඳනී වක්කුඹුර බොහෝ දෙනෙක් හඳුනන්නේ සංසාරිණී ටෙලි නිර්මාණයේ ශාරන්‍යා ලෙසිනි. දෙරණ නාළිකාවේ විකාශය වන ප්‍රාර්ථනා ටෙලි නිර්මාණයේ පිය සෙනෙහස සොයා යන ආදරණීය දියණියකි. එමෙන්ම මේ දිනවල තිරගත වන හර්ෂ උඩකන්දගේ රෝස ආදරේ සිනමා නිර්මාණයෙන් පළමු සිනමා අත්දැකීම ලබන ඇය අද අප හා කතාබහට එක්වූවාය.


හිරිපොද වැස්ස කියන්නේ මේ දිනවල ඉතාම ජනප්‍රිය ටෙලි නිර්මාණයක්. කොහොමද පවීට ලැබෙන ප්‍රතිචාර?


ඉතාම ඉහළයි. මගේ රංගන ජීවිතේ ටර්නින් පොයින්ට් එක හිරිපොද වැස්ස ටෙලි නිර්මාණයේ පවී කිව්වත් හරි. මුලින්ම පවිට ලැබුණේ බැණුම් විතරයි. ගොඩක් දෙනා කමෙන්ට් කරලා කිව්වෙත් මෙයා කොල්ලොත් එක්ක තරහයි, මෙයාව කතාවෙන් අයින් කරන්න කියලා. මං ඒවා ගණන් ගත්තෙ නැහැ. මොකද මං දැනගෙන හිටියා ඔය වගේ ප්‍රතිචාරත් ලැබෙනවා කියලා. ඒත් පවීගේ වෙනස් වීමත් එක්ක දැන් පුදුමාකාර ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. මේ දවස්වල පවී ලෙඩවෙලා ඉන්න නිසා ගොඩක් දෙනෙක් හිතන්නේ පවී මැරේවි කියලා. ඒ නිසා ගොඩක් අය කියන්නේ “අනේ පවී පව්….අයින් කරන්න එපා“ කියලා කමෙන්ට් දානවා. මේ දවස්වල හරිම සුන්දරව ප්‍රේක්ෂක ආදරේ විඳිමින් ඉන්නවා කිව්වත් හරි.


පවීට බැණ බැණ හිටිය ප්‍රේක්ෂකයින් කොහොමද එකපාරටම පවීට ආදරේ කරන්න පටන් ගත්තේ?


මුලින්ම පවී කොල්ලොත් එක්ක වලියෙන්මයි හිටියේ. විශේෂයෙන්ම කූරා එක්කයි තිලා එක්කයි රණ්ඩුමයි. කූරාට බෑග් එකෙන් පවා ගහනවා. කොටින්ම යාළුවෙකුටවත් කොල්ලෙක් එක්ක යාළුවෙන්න දෙන්නෙ නෑ. ඒත් පවී දැන් කූරාට ආදරේ කරන්න පටන් අරන් නිසා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ආදරණීය චරිතයක් වෙලා. සාමාන්‍ය ජීවිතේ බැලුවත් වැඩියෙන්ම රණ්ඩු කරන අය තමයි අන්තිමට ආදරය කරන්න පටන් ගන්නේ. ඒක අත්දැකපු අය ඕනතරම් ඇති. ඒ නිසා දැන් ප්‍රේක්ෂකයින් පවීට ආදරේ වෙලා.


හිරිපොද වැස්ස නිර්මාණයට ආරාධනා ලැබෙන්නේ කොහොමද?


හිරිපොද වැස්ස තිර පිටපත තිමිර උඩලමත්ත අයියගේ. අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රභාත් රෝෂන් අයියා. මං මුලින්ම තිමිර අයියත් එක්ක වැඩ කළේ හිරු නාළිකාවේ විකාශය වුණු සංසාරිණී ටෙලි නිර්මාණයේ. එතනදි තමයි ඔහු මට කිව්වේ නංගි මේ වගේ චරිතයක් තියෙනවා. ඔයාට ඒක හොඳට ගැළපෙනවා මොකද කියන්නේ අනිවාර්යයෙන් කරමු නේද කියලා. ඒක ගොඩක් දුරට මගේ සැබෑ චරිතයටත් සමීපයි. ඒ නිසා මං කැමැති වුණා. එහෙමයි මං හිරිපොද වැස්සට සම්බන්ධ වෙන්නේ. පවී කියන්නේ කටකාර දඟකාර චරිතයක්. මාත් ටිකක් කටකාරයි ඒ වගේම දඟකාරයි. පවී මුලින්ම මෙතූගේ යාළුවා විදිහට තිරයට ගෙනාවත් මේ වෙද්දි තනි චරිතයක් විදිහට ගලාගෙන යනවා.


සඳනි මේ දවස්වල සිනමා තිරයෙත් දකින්න ලැබෙනවා නේද?‍


ඔව්. හර්ෂ උඩකන්දගේ ‘රෝස ආදරේ’ සිනමාපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. රයන්ගේ සෙකට්‍රි විදිහට. ඒක පොඩි චරිතයක් වුණත් පුළුල් තිරයේ දකිද්දී මට ලොකු සතුටක් දැනුණා. මං හර්ෂ අයියාගේ ප්‍රාර්ථනා ටෙලි නිර්මාණයටත් සම්බන්ධ වුණා.


සඳනි කොහොමද ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ?


මට පුංචි කාලෙ ඉඳන්ම හීනයක් තිබුණා මිනිසුන්ගේ ආදරේ ලබන්න. මගේ ගම රත්නපුරේ. මුලින්ම මං රත්නපුර ෆර්ගසන් හයි ස්කූල් එකට ගියා. පහ වසරේදි කොළඹ විශාකා විද්‍යාලයට ආවා. පුංචි කාලෙ ඉඳන්ම මං නර්තනයට දක්ෂයි. උසස් පෙළ කරන කාලේ තමයි තාත්තගේ යාළුවෙක් වුණු චතුර අල්විස් අයියා හරහා දෙරණ නාළිකාවේ විකාශය වුණු දෙවෙනි ඉනිම ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්නේ. එක දවසයි මට ෂූටින්වලට යන්න වුණේ කොරෝනා හැදුණා. ඒක එහෙමම නැවතුණා. උසස් පෙළත් කළාට පස්සෙ, දවසක් සඳුන් බණ්ඩාර අයියා හමුවෙලා අලුත් ටෙලි නාට්‍යයක් කරනවා සම්බන්ධ වෙන්න පුළුවන් ද කියලා ඇහුවේ. ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවර නිසා මමත් කැමැති වුණා. ඒ විදිහට තමයි සංසාරිණී ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. සංසාරිණී තිර පිටපත තිමිර උඩලමත්තගේ. එතැනදි තමයි තිමිර අයියා හඳුනගන්නේ. හිරිපොද වැස්සට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ තිමිර අයියාගේ ආරාධනයෙන්.


සඳනි තවමත් අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා නේද?


ඔව්. මං හරිත සරසවියේ මනෝ විද්‍යාව පිළිබඳව උපාධිය හදාරණවා. කැම්පස් එකෙනුත් මට කලා කටයුතුවලදී ලොකු සහයෝගයක් ලැබෙනවා. නිර්මාණවලට ආරාධනා ලැබුණත් අධ්‍යාපන කටයුතු නිසා අවස්ථා ගිලිහෙනවා. අම්මා, තාත්තා, මල්ලී තමයි හෙවණැල්ල වගේ මගේ ළඟ ඉන්නේ. අම්මා මගේ හැම කටයුත්තකදීම පස්සෙන් ඉන්නවා. ගෙදරින් ලැබෙන සහයෝගය මට ගොඩක් වටිනවා. ඔවුන් තමයි මගේ ශක්තිය.


නාමලී ගමගේ




Previous Post Next Post