රැජනට ඇඳලා කාසි වාසි සෙවූ යොවුන් රංගන ශිල්පිනී අමන්ද්‍යා උත්පලි

 



කුඩා කල සිටම පවුලෙන් ලැබුණු කලා හැකියාව ඇගේ ගමන් මග සාක්ෂාත් කළාය. ඇය දක්ෂ ගායන ශිල්පීනියක් මෙන්ම සුරූපී රංගන ශිල්පිනියකි. එදත් අදත් ප්‍රේක්ෂක ආදරේ දිනාගත් ආදරණීය චරිතයකි. රසික හදවත් වල අපූර්ව මතක රැන්දූ ඇය රැජිනට ඇඳලා මුළු ලොවක් මවිතයට පත්කලාය. ලාංකේය ජන සංගීතයට නව අරුතක් ගෙන ඒමද, ලාංකේය ජන සංගීතය අන්තර්ජාතික මට්ටම දක්වා ප්‍රචලිත කිරීමත් ඇගේ එකායන අරමුණක් වූවාය. රංගන ශිල්පිනියක ලෙස නව මාවතක් කරා ගමන් කරන ඇයට ලැබෙන අභියෝගාත්මක ඕනෑම චරිතයකට සාධාරණයක් ඉටුකරන්නීය. තම මව සහ පියා⁣ගේ යෝධ ශක්තිය නිරතුරුව ළඟ තබාගෙන සෙමින් ගමනක් යන ඇය සහන් රන්වල ගුරුවරයා යටතේ රන්වල බලකායට ද අපූරු ජීවයක් ගෙනදෙන්නේය. ලොකු කුඩා සියලු දෙනාම ඇගේ ළඟට කැන්දා ගන්නට ඇගේ වාග් ශෛලිය සමත් වී ඇත. මේ දිනවල ඇගේ රංගනය ප්‍රේක්ෂකයා හමුවට ගෙන එන සිනමා සිත්තම වන ‘කාසි වාසි’ සිනමා පටය ගැන සරසවිය සමඟ කළ කතාබහකි මේ.


රැජිනට ඇන්දයින් පස්සේ මොකද වුනේ?


රැජිනට ඇන්දයින් පස්සේ තමයි මේ සියලු දේවල්ම වෙනස් වුණේ. මම රැජිනට ඇඳලා වේදිකාවේ කොන්සර්ට් තුනක් කළා. ඒ ප්‍රසංග තුනටම ඉහළ ප්‍රතිචාර ලැබුණා. අමන්ද්‍යා උත්පලී කියන හඬ ප්‍රේක්ෂකයන්ට නිතර දෙවේලේ රැජිනට ඇන්ද නිසා අහන්නට ලැබුණා. ඉන් පසුව ගීත කිහිපයකම මගේ අතින් නිර්මාණය වුණා. ඒ සියලු ගීතවලටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. මම හිමින් ගමනක් එන කෙනෙක්. ඒ මාවතේ බාධක කම්කටුලු මැඩගෙන ක්ෂේත්‍රයේ යා යුතු මඟ හොඳීන් තීරණය කර යන ගමනක් මගේ කලා ක්ෂේත්‍රයේ පවතින්නේ.




මේ දිනවල කාසි වාසිවලට ලැබෙන ප්‍රතිචාරය කොහොමද?


මේ වන විට කාසිවාසි සිනමා පටයට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතින්නේ. ඒ ලැබෙන සතුට රංගන ශිල්පියකු හෝ ශිල්පිනියක ලබන ඉහළම ප්‍රතිචාරය බවයි මා දකින්නේ. ඒ ලැබෙන ඉහළ ප්‍රතිචාරත් සමඟ විවිධ ප්‍රදේශවල තිබෙන සිනමා ශාලාවලට ගොස් ප්‍රේක්ෂකයන් සමඟ සිනමා පටය නරඹමින් සතුට බෙදාගන්නටද අපේ කණ්ඩායම අමතක කළේ නෑ. මේ සිනමා පටය පුරා දිවෙන ලස්සන ගීත කිහිපයක්ම තිබෙනවා. එයින් සජිත අනුත්තර සහ මම ගායනා කරන ජීවිතේ සයිකලයයි ගීතයට මේ වන විට ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. සියලු දෙනාගේම කට මිමිනෙන්නේත් එම ගීතයට බවයි අපි හමුවුණ සියලුම ප්‍රේක්ෂකයන් පැවසුවේ. ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවකට එන්නේ විනෝදාස්වාදය ලබන්නයි. ඒ විනෝදාස්වාදය නැතිවුණ තැන රඟහල තුළදී ප්‍රේක්ෂකයා කොහෙත්ම සිනමා ශාලාව තුළ ඉන්න උත්සාහ දරන්නේ නෑ. ඒ නොදරන උත්සාහයට සැබෑ අරුතක් ගෙන එමින් කාසි වාසි සිනමා පටය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගන්නවා.


සිනමාවේ ප්‍රධාන භූමිකාවකින් ප්‍රේක්ෂකයා අතරට එන පළමු වතාව නේද?


මීට ප්‍රථම ‘කතුරු මිතුරු’ සිනමා පටයේ සුළු චරිතයක් රඟපාලා තිබුණත් ප්‍රධාන භූමිකාවක රංගනයේ යෙදෙන්නේ කාසිවාසි සිනමා පටයයි. ඒ පූර්ණ ගරුත්වය හිමි විය යුත්තේ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතාටයි. ඔහු එදා ඒ චරිතය මට නොදුන්නා නම් අද ප්‍රධාන භූමිකාවක රංගනයේ යෙදෙන්නට අවස්ථාව හිමිවන්නේ නැහැ.


තාත්තාගේ හිතේ තිබුණු ආසාව නේද දුව සිනමාවට ගෙන එන එක?


එහෙම විශේෂ ආශාවක් හා ඇල්මක් තාත්තාගේ හිතේ මාව සිනමාවට ගේන්නට තිබුණේ නැහැ. මට පෞද්ගලිකව රඟපාන්න ආසාවක් සහ නිළියක් වීමේ ආසාව තිබුණා.රංගන ශිල්පිනියක් කියන වපසරියට වඩා මගේ වපසරිය තිබුණේ ගායිකාවකගේ වපසරියයි. ඒ හරහා විවිධ ආශාවන් ඉදිරියට ක්ෂේත්‍රය ගෙන යෑමට අවස්ථාව හිමි වුණා. තාත්තගෙ හිත ඇතුලේ තිබ්බෙත් රංගනය පැත්තෙන් ඉදිරියට එනවා ඇරෙන්න සිනමාවට ගේන බලාපොරොත්තුව ඔහුට කිසිසේත්ම තිබුණේ නැහැ. ඔහු හරිම ළෙන්ගතු ආදරණීය චරිතයක් දරුවන් වෙනුවෙන්.


⁣කාසිවාසී සිනමා පටය තාත්තා සමග එකට රඟපාන්න ලැබීම ගැන කොහොමද දැනෙන්නේ?


ජීවිතේ කීයෙන් කීදෙනාටද එවැනි අවස්ථාවක් හිමිවන්නේ. ඒ වටිනා අවස්ථාව භාග්‍යය මට හිමි වුණා. තමන්ගේ තාත්තාගේ දුව ලෙසම රංගනයේ යෙදෙන්න. ඒක මගේ ජීවිතේ මම ලද පිනක් ලෙසයි මම හැමදාම සිතන්නේ. කලා ක්ෂේත්‍රයේ කලා පවුල් ඕනෑ තරම් ජීවත් වුවත් තමන්ගේ මව සමග දුව ලෙසත්, තාත්තාගේ දුව ලෙසත් රංගනයේ යෙදෙන පිරිස අතළොස්සකි. ඒ පූර්ණ ගෞරවය හිමිය යුත්තේ තිර පිටපත ලියපු තිර පිටපත් රචකයාට සහ අධ්‍යක්ෂකවරයාට කියන එක මම හැම වෙලේම සඳහන් කරන්නේ හරිම ගෞරවාන්විත ලෙසයි. හරිම සුන්දර අත්දැකීමක් බවට මේ අවස්ථාව පත්වුණා.


ඔබ නිළියක් කරනවාට වඩා ගායන ක්ෂේත්‍රයේ රැජිනක් කරන්නට අවශ්‍යතාවය තාත්තට දැඩි ලෙස තිබුණේ නේද?


මගේ කුඩා අවධියේ සිටම මගේ හැකියාවන් දෙදෙනාම හඳුනාගෙනයි සිටියේ. කලා ක්ෂේත්‍රයේ ගායන ශිල්පිනියක් ලෙස ඉදිරි ගමනක් යනවා දකින්න ඔවුන් කැමැත්තෙන් සිටිය බව පසුකාලීනව මට දැනගන්නට අවස්ථාව හිමිවුණා. ඔවුන් දෙදෙනාගේ බලාපොරොත්තුව අද ඉෂ්ඨ සිද්ධ වෙලා තියෙනවා. මවුපියන්ගේ සතුට වෙනුවෙන් දරුවන් යුතුකම් හා වගකීම් ඉටු කරන්න පුළුවන් නම් මේ ලෝකයේ උතුම්ම දේ ඒ ලෙස මම දකින්නේ. ගායන හැකියාවන් තිබෙන බව හොඳටම තේරුම් ගත්ත නිසා රංගන හැකියාවත් තිබෙන බව පසුකාලීනව ඔවුන් දෙදෙනාම හඳුනාගත්තා. ඒ හඳුනා ගැනීම නිසා අද මට ඔවුන්ගේ සෙවණේ සිටම දුර ගමනක් එන්න ලැබිලා තිබෙනවා.


කාසි, වාසී සිනමා පටය මොන වගේ අත්දැකීම් ද ලැබූවේ?


සිනමා පටයේ එක් දර්ශනයක් තිබෙනවා සංගීත් ප්‍රභූ මාව බයිසිකලේ තබාගෙන පදින අවස්ථාවක් එහිදී දෙදෙනාම බයිසිකලයෙන් ඇද වැටෙනවා. සිනමා පටයට රංගනයෙන් දායක වන විට කිසිම අයුරකින් බයිසිකල් පැදීමේ හැකියාවක් මට තිබුණේ නැහැ. එනිසා පුරුදු වෙලා තමයි මම දර්ශනය වෙනුවෙන් බයිසිකල් පැද්දේ. මේ අත්දැකීම් සමග විවිධ විවිධ අත්දැකීම් ලබන්නට විවිධ නිර්මාණ ඔස්සේ අවස්ථාව හිමිවුණා.


ඔබ රඟපාන මේ චරිතය හරිම වෙනස් චරිතයක් කියලා ප්‍රේක්ෂකයන් කියනවා ඒ ගැන මොකද කියන්නේ?


ප්‍රේක්ෂකයා බලන කෝණය අනුව වෙනස් චරිතයක් බවට ඔවුන්ට දැක ගන්නට හැකියාව තිබෙන්න ඇති. සිනමා පටයක ගැහැනු ළමයෙක් කියන්නේ වෙන වෙන විධි සහ චරිතවලින් දකින්නට පුළුවන් ශිල්පිනියක් ලෙසයි. ඇය සැබැ චරිතයෙන් ඇත්වෙලා රංගනයේ යෙදෙනවා ඇති. ගෙදර කරනු ලබන ව්‍යාපාර කටයුතුවලට උදව් වෙමින් පොඩි කෙල්ලෙක් වගේ චරිතයක් ලෙස රංගනයේ නිරත වෙනවා ඇති. ආදරණීය චරිතයක් ලෙස රංගනයේ නිරත විමම අද ප්‍රේක්ෂකාගාරය බලාපොරොත්තු වෙන්නේ. ආදරය අනුකම්පාව බලාපොරොත්තුව දහසකුත් පැතුමන් සමඟ බාධක කම්කටුලු මැඩගෙන ඉදිරියට පියවර තැබීමත් පොළොවේ පය ගහලා හැමවිටම ඇවිදින චරිතයක් ලෙස ඔවුන් දකිනවා ඇති. සැබෑ ලෝකයේ ද මගේ ජීවන රටාව එලෙසමයි. මේ පිටපත කියවද්දී මට හැමවෙලේම දැනුණේ ශක්තිමත් ගෙදරට උදව් කරන ආදරණීය චරිතයක් ලෙසයි.


කලාවත් එක්ක ගෙවන ජීවිතය දැනෙන්නේ කොහොමද ඔබට දැන්?


කලාවත් එක්ක මම ගෙවන ජීවිතය හරිම සුන්දරයි. අවුරුදු ගණනාවක් පෞද්ගලික ආයතන සමඟම වැඩ කරලා ඉවත් වෙලා පූර්ණ කාලීනව කලාව සමඟ ජීවිතය ගෙවන්නට තීරණය කළේ.කලාකරුවකුට තම ජොබ් එක කරන එක ගැන සතුටු වෙන්න පුළුවන්. සාපේක්ෂව අද වෙනත් රැකියා වලට වඩා ආත්ම තෘප්තියක් තිබෙනවා කියලා කියන්න පුළුවන්. රංගනය හා ගායනය අතින් හිමින් ගමනක් යන ගමන් එහි අස්සක් මුල්ලක් නෑරම එහි තොරතුරු හොයමින් අධ්‍යයනය කරන්නටයි මම හැම මොහොතම නිරතුරුවම උත්සාහ දරන්නේ. අපි සතුටින් ජීවිතය ගෙවන්නයි.


2025 වර්ෂයේ ඔබ සිනමාවට වැඩි ඉඩන් කඩක් වෙන් කරලද?


මම පළමුවෙන්ම රංගනයෙන් දායක වන්නේ සිනමාපටක් ලෙස ‘කාසි වාසි’ සිනමා පටයටයි.ඉන් අනතුරුව සම්බන්ධ වන්නේ ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ ‘කපුටු කොහෝ’ සිනමා පටය සඳහායි. එම සිනමා පටයද මගේ ජීවිතේ සුවිශේෂීම සන්ධිස්ථානයක් බවට පත් වෙයි කියලා සඳහන් කරන්න පුළුවන්. වෙනස්ම ආකාරයේ කතා තේමාවක් වේදිකා නාට්‍යයක් සිනමානුරූපී කාචයකින් සිනමාවට ගෙන ඒමයි මෙතනදී සිදු වෙන්නේ. එය ප්‍රේක්ෂකයන්ට අලුත්ම අත්දැකීම් ගෙනෙන සිනමාපටයක් බවට පත්වනු ඇත. මෙම සිනමා පටය ගීත නාටකයක් ලෙසයි දක්නට පුළුවන් වෙන්නේ. මෙහි ගීත විසි හයකට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙලා. සිනමාවට නැවුම්ම අත්දැකීම් සම්භාරයක් ගෙන ඒමට ආචාර්ය සෝමරත්න දිසානායකයන් මේ වන විට සමත් වී තිබෙනවා. මගේ චරිතයට අදාළව සියලූම ගීත මා විසින් ගායනා කරනු ලබනවා. ඒ ද සුවිශේෂී අවස්ථාවක් ලෙස සඳහන් කරන්නට පුළුවන්.මිස්ටර් ඇන්ඩ් මිසිස් සිනමා පටය උද්දික ප්‍රේමරත්න සමඟ යුග ගිතයක් ගායනය කිරිමේ අවස්ථාවද මට හිමි වීමද මා ලද භාග්‍යයක්. මේ සියලු නිර්මාණ මේ වසර මැද භාගයේදී තිරගතවීමට නියමිතයි.


ඔබ සමාජ මාධ්‍ය ජාලයේ සක්‍රීය චරිතයක් නේද? ඒ හරහා ලැබුණු වටිනාකමක් තිබෙනවද?


රැජිනට ඇන්දා ගීතයෙන් පස්සේ තමයි මම සමාජ මාධ්‍ය පරිශීලනයට ටිකක් නැඹුරු තාවයක් දැක් වේ. ලොකුවට මගේ නිර්මාණකරණය සමාජමාධ්‍ය හරහා ප්‍රචලිත කිරීමට මට කිසිසේත් වුවමනාවක් තිබුණේ නැහැ. නමුත් මේ දුවන රැල්ලත් එක්ක සමාජ මාධ්‍ය පරිශීලනය හා නිරතවීම මට අවශ්‍ය ආකාරයට මගේ වාපසරියේ පමණක් මම නිරත වීමට උත්සාහ ගන්නවා. මෙහිදී හොඳ සහ නරක දෙකම නිරතුරුවම ලැබෙනවා. රංගන ශිල්පිනියක් හෝ ගායන ශිල්පිනියක් ඒ සියල්ල එක ලෙස භුක්ති විඳීමට බලාපොරොත්තුවෙන්ද සිටිය යුතුයි. අපේ යම් නිර්මාණයක් ප්‍රේක්ෂකයාට ක්ෂණිකව ළඟා කිරීමේ හැකියාව හා ප්‍රතිචාර සෘජුව දැනගැනිමට අද ලැබෙන්නේ සමාජ මාධ්‍ය ජාලා හරහායි. එනිසා එහි දිසානු ගතිව අනුව හොඳ ගමනක් යාමට තමන් තීරණය කළ යුතු වෙනවා. මේ වන විට කුමන හෝ නිර්මාණවලට දායකත්වය සපයනවාද කියන එක නිරතුරුවම සංවාද සටහනේ යෙදෙන්නට හැකියාව මෙමඟින් උදාවෙනවා. අපි යම් නිර්මාණයකට දායක විමේදි ඒ නිර්මාණයෙන් සියලුම දේවල් ප්‍රකාශ කිරීමට හා ඉදිරිපත් කිරීමට හැකියාවක් නැති අවස්ථාවල හොඳ මාධ්‍යයක් ලෙස සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේ හැකියාව මේ වන විට උදා වෙලා තිබෙනවා.


මේ වසර රංගනයේ හැරුම් ලක්ෂ්‍යයක් වුණු වසරක් නේද ?


මගේ ජීවිතේ මේ වසරේ විශේෂ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වන බව නිසැකයි. අලුතින් තිරගතවීමට නියමිත සිනමාපටයක් මේ වසර තුළ දැක ගන්න පුළුවන් වෙනවා. එය අලුත්ම අත්දැකීමක් වෙනවා. හොඳ තිරපිටපතකට අනුව කාලින මාතෘකාවක් තුළ මෙගා නොවන කලාත්මක ටෙලිනාට්‍යයකටද සම්බන්ධ වීමටත් මේ වකවානුවේ බලාපොරොත්තුවෙන් සිටිනවා.


අමන්ද්‍යා සහ රන්වල බලකාය අතර ඇති සම්බන්ධතාවය කුමක්ද?


මමයි රන්වල බලකායයි අතර තියෙන්නේ විග්‍රහ කරන්න අමාරු කතන්දරයක් ,පුංචි කාලේ ඉඳන්මයි මම රන්වල බලකායට එකතු වෙන්නේ. 2007 වර්ෂයේ සිට අද වෙනතාක් කාල් ඒ බැඳීම ගහට පොත්ත හා සමානයි. රන්වල බලකායේ නිත්‍ය සාමාජිකාවක් බවට පත්වන්නේ 2011 වර්ෂයේ සිටයි.අද වන විට වසර දහයකටත් වැඩි කාලසීමාවක් ගතවෙලා. මේ පදනමත් එක්ක එකතු වෙනවා කියන්නේ වයස් පරතරය කොපමණ වුවත් ඒ ඒ කාලසීමාවට අයත් වයස් කාණ්ඩවලට කරන්න තියෙන වැඩ කොටස් සමාජය, රට, වෙනුවෙන්, සංස්කෘතිය වෙනුවෙන් කරල නිම කරන්න බැ.


රන්වල බලකායෙන් තමයි මම සමාජගත වෙන්නේ කලා ක්ෂේත්‍රයට මුලින්ම, එහි පූර්ණ ගෞරවය හිමිය යුත්තේ රන්වල ගුරුතුමාටයි. ජන සංගීතය ප්‍රාසංගික කලාව ගැන පූර්ණ අධ්‍යාපනයක් ලැබෙන්නේ මට රන්වල බලකායෙන්. වේදිකාවේ තමන්ව හසුරුවන්නේ කොහොමද? විශාල ප්‍රේක්ෂාගාරයක් ඉදිරියේ ප්‍රාසංගිකව යමක් ප්‍රේක්ෂකයා ග්‍රහණයට නතුකර ගනිමින් ඉදිරිපත් කරන්නේ කොහොමද? මේ වගේ දැනුමෙන් පෝෂණය වෙච්ච දේවල් ගොඩක් ඉගෙන ගත්තෙ මම මේ රන්වල බලකාය හරහායි. කිසිදු මූල්‍යමය දෙයක් ලබාදීලා නෙවෙයි මම මේ අධ්‍යාපනය ලබා ගත්තේ. ඒ ලබාගත්ත දැනුම පෙරළා බලකාය වෙත ලබා දෙන්නේ කොහොමද? ඒ ඉගෙන ගත්ත දෙය පෙරළා බලකායට මම ලබාදෙන්නට කිසිසේත්ම දෙපාරක් සිතන්නේ නැහැ. මේ පදනමේ සිටින සියලු දෙනාගේම ජීවිතවල කොටස්කරුවන් දෙදෙනෙක් වෙනවා. සහන් රන්වල ගුරුතුමා සහ මෙලනි රන්වල ගුරුතුමියයි. මගේ ජීවිතයේ දෙවැනි මව සහ පියා වෙන්නේ ඔවුන් දෙපළයි. සාමාන්‍යයෙන් කණ්ඩායමක සාමූහිකත්වයෙන් වැඩ කරන විට අපිව බලාගන්න, අපිට හොඳ ආරක්ෂාවක් සපයන්නේ මේ බැඳීම හරහායි. අපි සියලු දෙනාම එකට බැඳුණු පුරුක් හා සමානයි. ඒ බැඳීම තමයි අපේ ගමන හැමදාම තීරණය කරන්නේ ඉදිරියටත්. මම ජීවිතයෙන් සමුගන්නා තෙක් මේ බලකායත් සමඟ හැමදාම එකට කටයුතු කරයි.


ඔබ ලාංකේය ජන සංගීතය ඉදිරියට ගෙනයාම වෙනුවෙන් ඔබේ පරම්පරාවත් සමග විශාල වෙහෙසක් දරනවා නේද?


මේ කාරණාවේදී ඇත්තටම සතුටු වෙන්න පුළුවන් හොඳ සමාජයක් අපි ගොඩනගාගෙන තිබෙනවා. අපේ පරම්පරාවෙන් ඉදිරියේ ඊ පරම්පරාව කියන කොට්ඨාසය ඉතාම උනන්දුවෙන් ජන සංගීතය ප්‍රවර්ධනය හා ප්‍රගමනය වෙනුවෙන් ඉදිරියට ගෙන යන්නට විශාල වෙහෙසක් දරනවා. අපි සියලු දෙනාම එකතුවෙලා ලාංකේය කියන හඩ අන්තර්ජාතික මට්ටම දක්වා ඉදිරියට ගෙන යාමට තමයි උත්සාහ දරන්නේ. මමත් මේ වන විට ගොඩක් මගේ ගීත නිර්මාණවලින් ජන සංගීතයට මුල් තැන දීලා තමයි තනු නිර්මාණ කටයුතු කරන්නේ. අපේ උරුමයන් වැනි දේවල් පිටරටට ගෙනිහිල්ලා අපේ ළමයි වෙනුවෙන් උගන්වන්න, ඔවුන් සමඟ දැනුම බෙදා ගන්න ලොකු අරමුණ හා ප්ලෑන් එකක් තිබෙනවා. මේ අවුරුද්දේ සහ ලබන අවුරුද්දේ මේ සියලු කාර්යයන් කිරීම සඳහා අපි සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කටයුතු කරනවා.


ආචාර්ය සෝමරත්න දිසානායකයන් සමඟ කළ අලුත් නිර්මාණය ගැන කරමුද?


මේ සිනමා පටය මෙතෙක් නොදුටු සිනමාපටයක් බවට පත් පත්වෙනවා. කපුටු පවුල සහ කෝහෝ පවුල ඇතිවන සම්බන්ධතාවයක් මේ කතාව පුරා දිව යනවා. වේදිකාවෙන් සිදුවන රංගනය සිනමාකාචයෙන් ගෙන සිනමාවෙන් ප්‍රේක්ෂකයාට රසවිඳීමට ඉඩ ප්‍රස්ථාව සලසා තිබීමයි. මෙහි ගීත විසි හයක් ඇතුළත් වෙනවා. ජන සංගීතය මුල් කරගෙන සියලු දෙබස් ගීතමය ස්වභාවයෙන් ගෙනහැර දැක්වීම තමයි මෙහිදී සිදුවන්නේ. මහාචාර්ය සමන් පනාපිටියගේ සංගීත අධ්‍යක්ෂණය සමඟ මෙහි ගීතවලට නව අරුතක් ගෙන එනවා. නර්තනය සහ ගායනය මෙහි මූලිකම අරමුණක් වෙනවා. චන්දන වික්‍රමසිංහගේ නර්තන වින්‍යාසය කපුටු කො⁣හෝ සිනමාපටයට නව ජීවයක් ලබා දුන්නා කියන්න පුළුවන්. අභියෝගාත්මක සිනමාපටයක් ලෙස මෙය ගෙනහැර දක්වන්නට පුළුවන්. තිරපිටපතින් ප්‍රේක්ෂකයා සොයන බොහෝ දේ අන්තර්ගත කරලා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදන කටයුතු මේ වනවිට අවසන් කර තිබෙනවා. තව නොබෝ දිනකින් දිවයින පුරා තිරගත වීම ආරම්භ කිරිමට නියමිතව පවතිනවා.


ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු කෙසේ සිදු වෙයිද ?


ඉදිරියේදී ප්‍රසංග කිහිපයකටම මෙරට සහ විදේශීයව සහභාගි වීමට සූදානමින් සිටින්නේ. නව නිර්මාණ ගීත කීපයක් ද නිර්මාණය කිරීමට මේ වන විට කටයුතු යොදාගෙන යනවා. මෑතකදී ස්වාධීන රූපවාහිනියේ රාග ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගායනා කරන්නටත් අවස්ථාව ලැබුණා. ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂණයක් වන අතර ගිහාන් මුතුතන්ත්‍රීගේ සංගීතය වන අතර ඩිල්ෂාන් පතිරත්න ගේපද රචනයක්. වෙනස්ම ආරක ගීත නිර්මාණයක් බවට මෙය පත් වුණා. මෙතෙක් ‍මා ගැයූ ගීතවලට වඩා වෙනස්ම ආරක ගීතයක් බවට පත්විම මෙහි ඇති සුවිශේෂී ලක්ෂණයකි.




Previous Post Next Post