දිනිති වල්ගමගේ සිය රංගන හැකියාවෙන් රසික ආදරය නොඅඩුව දිනූ සුරූපී දක්ෂ රංගන ශිල්පිනියක්. රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම රංගන ශිල්පිනියන් තිදෙනා අතරට නිර්දේශ වූ ඇය පණ පෙවූ “සුසුම් රස්තියාදුව” ටෙලි නාට්‍යයේ ‘ගිම්හානි’ කාටත් හුරුපුරුදු බව නම් නොරහසක්. මෙවර හදගැස්මට මේ සොඳුරු කතාබහ ඇයගෙන්.
මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කොහොමද?
මේ දවස්වල චිත්‍රපටයක වැඩ කටයුතුවලට සූදානම් වෙමින් ඉන්නේ. ඒ වෙනුවෙන් තමයි විශේෂයෙන් කාලය වෙන් කරලා තිබෙන්නේ. ඉතින් මගේ හස්බන්ඩ් එක්ක බිස්නස් වැඩ කටයුතුත් බලාගෙන සතුටින් ඉන්නවා.
“සුසුම් රස්තියාදුව” ටෙලි නාට්‍යයේ ‘ගිම්හානි’ නිසා ඔබ රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම නිළිය ලෙස නිර්දේශ වීම ගැන දැනෙන හැඟීම?
ඇත්තටම ගිම්හානි කියන්නේ මහා පෙරළි බොහොමයකට මුහුණ දුන්න තරුණියක්නේ. ගැහැනු ළමයකු විධියට ඇය ඒ වගේ හැලහැප්පීම් ගොඩක් විඳදරා ගැනීමම ලොකු දෙයක්. ඒ වගේ චරිතයකට මට රංගන දායකත්වය ලබාදීමට ලැබීම ගැන හරි ආඩම්බරයි. කෙනකුට එවැනි චරිතයක් ලැබෙන්නේ වාසනාවට. ඒක එහෙම වාසනාවට මට ලැබුණු චරිතයක්. මම ඒ චරිතයට සාධාරණයක් කරන්න ඇති කියලා හිතනවා. ඔවුන් කියන විධියට එහිදී ටෙලි නාට්‍යය 85කට වැඩි ප්‍රමාණයක් ඇගයීමට ලක් කරලා තිබෙනවා. ඒ අතරින් තුන් දෙනෙක් තමයි විශිෂ්ටතම නිළිය කියන කැටගරි එකට නොමිනේට් වෙලා තිබෙන්නේ. ඉතින් මම ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙක්. මට ඒ නොමිනේට් වීමම ප්‍රමාණවත්. මම හිතන්නේ නොමිනේට් වුණු හැම කෙනෙක්ම ජයග්‍රාහකයෙක්. මොකද මේ ෆීල්ඩ් එක ලොකු තරගයක් තිබෙන ෆීල්ඩ් එකක්.
කලාකරුවන් ඇගයීම ඔවුන්ගේ ඉදිරි ගමනේ සාර්ථකත්වයට කොතරම් අභිප්‍රේරණයක්ද?
අපි හැමෝම අගයනවට කැමැතියි. ඕනෑම කෙනෙක් තමන් ලස්සනට ඇඳුමක් ඇන්දම ඒක වුණත් ලස්සනයි කියලා අගයනවට කැමැතියි. අධ්‍යක්ෂවරයකු හෝ රංගන ශිල්පීන් හෝ ඕනෑම කෙනෙක් වෘත්තීයමය වශයෙන් තමන් කළ වැඩ කටයුතු කවුරුන් හෝ අගයනවා නම් ඒක තමයි බලාපොරොත්තු වන්නේ. එයින් තමයි අපව දිරි ගැන්වෙන්නේ සහ ඊළඟට තවත් වැඩ කටයුතු කරන්න හිතෙන්නේ. හොඳ නිර්මාණයක් කරලා ඒ දේ හොඳයි කීවාම තමයි තවත් ඒ වගේ නිර්මාණ කරන්න හිතෙන්නේ. සම්මාන උළෙලවලින් කලාකරුවන් ඇගයුමට ලක් කිරීම තවත් නිර්මාණ බිහි කරන්නට කලාකරුවන්ට ශක්තියක්. මම හිතන්නේ එවැනි ඇගයීම් කරන එක හොඳයි.
මනීඩ්‍රොප් තරගාවලිය තුළින් ඔබ දෙපොළ ලැබූ ජයග්‍රහණය ගැන මොකද හිතුණේ?
මනීඩ්‍රොප් තරගාවලියේ ස්වභාවය තමයි තරගයට එන ඕනෑම කෙනකුගේ ෆීල්ඩ් එකට අදාළ ප්‍රශ්න තමයි ඔවුන් අහන්නේ. එහිදී අපේ ෆීල්ඩ් එකට අදාළ ප්‍රශ්න වගේම සමහර ප්‍රශ්න නම් අපි අහලාවත් නැති ප්‍රශ්න. නමුත් සමහර දේවල් මම සහ මගේ හස්බන්ඩ් ටිකක් කියවලා දේවල් දැකලා තිබෙන නිසා දැනුමට එකතු වුණ දේවල්. ඒ නිසා තමයි මම හැමවෙලේම ඕනෑම කෙනකුට කියවන්න සහ බොහෝ ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් වෙන්න කියන්නේ. ඒ දේවල් තමන්ගේ ජීවිතයේ කුමන මොහොතක හෝ ඕනෑ වෙනවා. එහි අන්තිම ප්‍රශ්නය මම අවසන් තත්පර ගණනෙදි තමයි වෙනස් කළේ. ඒක මට මතක් වුණේ මම පුංචි කාලයේ රූපයක් දැකලා තිබුණා ක්ලියෝපැට්රා සර්පයකුට කියා දෂ්ට කරගෙන තමයි මැරුණේ කියලා. පුංචි හරි මතකයක් වුණත් කොහේ හරි කියවලා තිබෙනවා නම් ඒ දේ කොහෙදි හරි ඕනෑ වෙනවා.
වර්තමානයේ ආදරය නිසා සියදිවි නසා ගැනීම් වැඩියි. ඔබගේ අදහස?
ඒ දේවල් වෙන්නේ අපි අපේ සතුට හොයන්නේ වෙනත් කෙනෙක්ගෙන්. අපේ සතුට අපි තුළින් හොයාගන්න පුළුවන් නම් තවත් කෙනකු අත්හරින්න පහසුයි. ඕනෑම කෙනකු ආදරය කරන්න ගත්තම පොඩි ඊර්ෂ්‍යාවක් දැනෙනවා. නමුත් ඒ පොඩි ඊර්ෂ්‍යාව, තණ්හාව අඩුකර ගන්න පුළුවන් නම් ජීවිතය ගෙවන්න පහසුයි. නමුත් ඒක පහසු නෑ. මම නම් කියන්නේ අතහැරලා යන කෙනාට යන්න දෙන්න ඕනෑ. මොකද ඉන්න කෙනා කොහොමත් ඉන්නවා. අතහැරලා යන කෙනකු බලෙන් තබාගන්න එපා. ආදරයේදී දෙන්නට දෙන්නා කැපකිරීම් කරන්න ඕනෑ. ඇත්තටම ආදරය කියන්නේ හැමවෙලේම ලස්සනට පෙනෙන දෙයම නෙවෙයි. ලස්සනට පෙනෙන්නට හේතු වුණ දෙය වෙන්න පුළුවන්. ඉතින් ආදරයේදී සමහර වෙලාවට ගොඩක් සම්බන්ධකම් බොහෝ විට නැති වෙන්නෙ මිනිස්සුන්ගේ තිබෙන ආඩම්බර, මාන්නයෙන් පිරි ගති පැවතුම් නිසා. මම නම් කියන්නේ එක්කෙනකුට තරහ යනකොට අනෙක් කෙනා නිවෙන්න. අපි ජීවත් වෙන කෙටි කාලය තුළ බොරුවට රණ්ඩු නොවී සතුටින් ඉන්න ඕනෑ. තමන්ගේ ජීවිතය ගැන ෆෝකස් කළාම තමන්ට ඉදිරියට යන්න පුළුවන්. දියුණු වෙන්න නම් හරියට තමන් කෙනෙක් තෝරා ගත්තා නම් ඒ කෙනා සමඟ ඉන්න. ආදරය හරි ලස්සනයි. හැමවෙලාවකම අනෙකාට ආදරය ප්‍රකාශ කරන්න. ජීවිතය විඳින්න. දවසක කෙනෙක් අහිමි වුණත් ඔවුන් සමඟ ගෙවපු මතකය අපිව ජීවත් කරවනවා. ජීවත් වෙන්න ඒ මතක වුණත් හොඳටම ඇති.
සමාජ මාධ්‍ය හරහා ලැබෙන හොඳ නරක ප්‍රතිචාර ඔබ භාරගන්නේ කෙසේද?
නැවක් ගිලෙන්නෙ නැව ඇතුළට වතුර ආවොත් නේ. නමුත් නැව තිබෙන්නේ වතුරේ. තමන් ඒ දේවල් භාරගන්නේ නැතිව හිටියොත් මේ ගමන යන්න හරිම පහසුයි. අපිට හැමෝම සතුටු කරන්න බෑ. මොකද අසතුටු වන කවුරුම හරි කෙනකු ඉන්නවා. ඒ නිසා හැමවෙලේම මුලින්ම තමන්ව සතුටු කරන්න බලන්න ඕනෑ. නැත්නම් අන්තිමේදී තමන් සතුටු වෙලත් නෑ අනෙක් අය සතුටු වෙලත් නෑ. කෙනකුට බනින්න ඕනෑ නම් සෝෂල් මීඩියාවල බනින්න ඕනෑ නෑ. මොකද කෙළින්ම කෝල් කරල බනින්න පුළුවන්. නමුත් කෝල් කරන්න නම්බර් එකවත් නෑ කියන්නෙ ඔවුන් බනින්න තරම් ඒ කෙනා ගැන දන්නෙ නෑ.
“පාවී එන්න ආසයි” ටෙලි නාට්‍යයේ ඔබේ රංගනයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?
ඒ ටෙලි නාට්‍යය බොහෝදෙනකු නරඹපු ටෙලි නාට්‍යයක් සහ ඒ කැරැක්ටර් එක ගොඩක් වෙනස්. ඇත්තටම මම ඔ්ස්ට්‍රේලියාවේ ඉද්දි තමයි සිවගුරුනාදන් අයියා මට ඒ නිර්මාණයට කතා කළේ. මම ලංකාවට ආව දවසට පස්සෙ දවසෙම ෂූටින් ගියා. ඇත්තටම ප්‍රතිචාර ගොඩක් හොඳයි. බොහෝදෙනකු “යාරා” කියන චරිතයේ නමින් කතා කරන්න පටන් ගත්තා.
ඔබේ සැමියාගෙන් කලා කටයුතුවලට ලැබෙන සහයෝගය කොහොමද?
ඔහුගේ සහයෝගය මට හැමදෙයකටම ලබා දෙනවා. හරිම සපෝර්ටිව් කෙනෙක්. අපි දෙන්නෙක් කියලා කවදාවත්ම හිතෙන්නේ නෑ.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන මතක් කළොත්?
මම නැවත විදේශගත වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. භාර ගත්ත වැඩකටයුතුත් කරමින් ඉදිරියටත් ලැබෙන හොඳ නිර්මාණවලට දායක වෙන්න ආශාවෙන් ඉන්නවා. මගේ හස්බන්ඩ් නම් දිගටම වැඩකටයුතුවලට සම්බන්ධ වෙමින් ලංකාවේ ඉන්නවා. මම විදේශගත වෙලා මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා නැවතත් එනවා. ඒ අතරතුරේ දිගටම කලා කටයුතුත් කරගෙන යනවා.
රුවිනි අමරකෝන්