දරාගත්ත පීඩන හුඟාක් තියෙනවා - ඉෂාදි අමන්දා

 



මනරම් රූ සපුවෙන් ලොවක් වසඟ කරමින් “ලෝක විවාහක රූ රැජන - අනුශූරතාවය”‍ ලක් මාතාවට දිනා දුන් රූ රැජන ඇයයි. මන බන්ධනීය රූ සපුවක සොඳුරු හිමිකාරිය වූ, ලක් රූ රැජන ඉෂාදි අමන්දා සමඟ කෙරන සුහද කතාබහයි මේ.


ඉෂාදි අමන්දා කියන්නෙ කවුද?

ඉෂාදි අමන්දා කියන්නෙ ලංකාවේ ඉපදිලා පුංචිම කාලේ ප්‍රංශයට ගිය කෙනෙක්. මගේ ජීවිතයේ විශේෂ අවස්ථා, අධ්‍යාපනය, උපාධිය, රැකියාව වගේ වැදගත් දේවල් බොහොමයක් සිදුවන්නෙ ප්‍රංශයේදී. මම ලෝකය දිහා වෙනස් විදියට බලන, වෙනස් ආකල්පවලින් හිතන කෙනෙක්.


ඉෂාදි... ඔබ ලොවක් දිනූ රූ රැජනක්. මේ ජයග්‍රහණයේ සතුට වචන කළොත්?

Mrs World අනුශූරතාවය ශ්‍රී ලංකාවට දිනා දීම ගැන මට තියෙන්නෙ නිහතමානී සතුටක්. මේ ජයග්‍රහණයත් සමඟ මට ලැබුණු ලොකුම තෑග්ග තමයි ශ්‍රී ලාංකිකයන්ගෙන් මට ලැබුණ ආදරය. ඒ වගේම විදේශිකයන්ගෙන්, විනිසුරු මඩුල්ලෙන් මට ලැබුණු ආදරය මට ගොඩක් වටිනවා. මගේ බාහිර සුන්දරත්වයට වැඩිය, මම පිරිසත් එක්ක වැඩ කටයුතු කරපු ආකාරය, මම මිනිසුන්ට සලකපු ආකාරය එක්ක ඒ අයගේ හිතේ ඇතිවුණු ආදරය, පැහැදීම මට ගොඩක් වටිනවා.


එදා වේදිකාව උඩදී ඔබට දැනුණු හැඟීම් මොන වගේද?

Mrs Worldවේදිකාව කියන්නෙ ඇත්තටම ලොකු වගකීමක්. ඒ වෙලාවේ මට ලොකු බයක් තිබුණා. ඒක සමහර වෙලාවට මගේ වීඩියෝ බලනකොට මගේ හිනාවෙන් තේරෙනවා. මොකද රටක් නියෝජනය කරනවා කියන්නෙ මුළු රටක්ම මම දිහා බලාගෙන ඉන්නවා. Mrs Sri Lanka World Committee එකේ ‘බ්‍රෑන්ඩ්’ එකේ නමත් මම ආරක්ෂා කරන්න ඕනෑ. මේ හැමදේකම වගකීම දරාගෙන ඒ මොහොත ආසාවෙන් විඳින ගමන් තමයි මම වේදිකාවේ හිටියේ.


ආරම්භයේ සිට Mrs World අනුශූරතාවය දිනා ගැනීම දක්වා ඔබ ආ ගමන් මඟ ගැන කතා කළොත්?

ඇත්තටම මේක ලේසි ගමනක් නෙවෙයි. හැමදේම හරිම ඉක්මනට සිද්ධ වුණා. Mrs  Sri Lanka World තරගයට ලංකාවට එන්න ඕනෑ කියලා, ඉක්මන් තීරණයක් අරගෙන හස්බන්ඩ්වයි බබාවයි ප්‍රංශයේ තියලා මම ලංකාවට ආවා. ඒ වගේම මගේ ව්‍යාපාර කටයුතු සියල්ලම ප්‍රංශයේ තියලා ආවේ. ඉතින් මේ ගමන ලේසි වුණේ නැහැ. එහෙම ආපු ගමනේ අවසානයේ Mrs Sri Lanka World කිරුළ හිමි කරගන්න මට හැකියාව ලැබුණා. ඉන්පසු තමයි Mrs World සඳහා පිවිසුණේ. ගොඩක් අමාරු තීරණ සහ විශාල කැපකිරීම් ප්‍රමාණයක ප්‍රතිඵලයක් විදිහට අද මම මේ ජයග්‍රහණය දකිනවා.


ඉෂාදි මේ තරගයට සූදානම් වූ ආකාරය ගැනත් කතා කරමු?

Mrs World තරගාවලියට සූදානම් වෙන්න බොහොම පොඩි කාලයයි තිබුණේ. Mrs World කිරුළ හිමි කරගත් Mrs Africa තමයි මගේ කාමර සහකරු වුණේ. එයා 2023 වසරේ Mrs Africa කිරුළ හිමි කරගෙන තිබුණා. ඉතින් ඇයට තරගයට සූදානම් වෙන්න අවුරුද්දකට වැඩි කාලයක් හිමිවුණා. නමුත් මට සූදානම් වීමට තිබුණේ මාසයක පමණ කාලයක්. ඇත්තටම මාසයක් ඇතුළත තරගාවලියට සූදානම් වීම, අවශ්‍ය දේවල් සූදානම් කරගැනීම ඇතුළු බොහෝ දේවල් සිදුකර ගැනීම හරිම අමාරු සංකීර්ණ දෙයක්. මාසයක කාලයක් ඇතුළත මේ දේවල් කරගන්න මම ගොඩක් මහන්සි වුණා. පුහුණුවීම් ගැන කතා කළොත් මම උදේ, රෑ නොබලා ඒ දේවල්වලට මහන්සි වුණා. දවල් කාලයේ ප්‍රංශයේ තිබෙන මගේ ව්‍යාපාර කටයුතු ගැනත් අවධානය යොමු කළා. ගොඩක් දවස්වලට රාත්‍රී කාලය තමයි පුහුණුවීම් කටයුතුවලට තෝරා ගත්තෙ. Outfit Fiton ඇතුළු තවත් වැඩ කටයුතු රැසක් තිබුණා.

ඒ අතරතුර කෑමෙන් පරිස්සම් වෙලා, ඇතැම් අවස්ථාවලදී නින්ද අඩු වුණාට පුළුවන් තරම් විවේකීව ඉඳලා සූදානම් වුණා. මොකද මනස, ශරීරය, මුහුණ, කොණ්ඩය හැමදේම බලපානවා මේ තරගයට. ඉතින් මේ හැමදේම නිසියාකාරව පවත්වා ගනිමින් සූදානම් වුණා. ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට Mrs World අනුශූරතාවය ශ්‍රී ලංකාවට දිනා දෙන්න මට හැකියාව ලැබුණා. නමුත් මම හිතනවා, මට ප්‍රමාණවත් කාලයක් තිබුණා නම්, මීට වැඩිය දෙයක් තරගාවලිය වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් කරන්න හැකියාව තිබුණා කියලා.


මෙතෙක් දුරක් ආ ගමනේ ඔබ මුහුණ දීපු අභියෝග මොනවද?

ඇත්තටම මට අභියෝග ගොඩක් ආවා. පළවෙනි දේ තමයි ප්‍රංශයේ මට හුරුපුරුදු පරිසරයෙන් ඈත් වෙන්න සිදුවීම. මම ලංකාවට ආවේ නිවාඩුවට විතරයි. Mrs Sri lanka world තරගය වෙනුවෙන් මට ලංකාවේ තනියම ජීවත් වෙන්න සිදුවුණා. නැන්දලා මාමලා පුංචිලා හිටියට මගේ සැමියා, පුතා, දෙමව්පියෝ, යහළුවෝ හැමදෙනාම හිටියේ ප්‍රංශයේ. ඉතින් ඒ හැම පීඩනයක්ම දරාගෙන, මගේ ප්‍රතිරූපය ආරක්ෂා කරගෙන, මමත් පරිස්සම් වෙලා හැමදේම නිවැරදිව තනියම කරගන්න එක මට තිබුණු ලොකුම අභියෝගයයි. ඇත්තටම මට ගොඩක් සතුටුයි මම ඒ අභියෝග සියල්ලටම සාර්ථකව මුහුණ දීම ගැන.


ඉෂාදිට පවුලෙන් ලැබුණු සහයෝගය මොන වගේද? ඔබේ ජයග්‍රහණය පවුලේ අයට දැනුණේ කොහොමද?

මුල ඉඳලම මගේ පවුලෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. පවුලේ අය නැතිනම් මට මෙතැනට එන්න ලැබෙන්නෙ නැහැ. මගේ සැමියා, දරුවා, දෙමව්පියන් ඇතුළු පවුලේ අයයි මගේ ශක්තිය වුණේ. යහළුවන්, නෑදෑයන් ඇතුළු මට වචනයකින් හරි ශක්තියක් වුණු සියලු‍ දෙනාටම මම මේ අවස්ථාවේ බොහොම ස්තූතිවන්ත වෙනවා. මගේ සැමියා මාව විශ්වාස කරලා පුතාව බලාගත්තා. ඒ වගේම මගේ නෑදෑ හිතවතුන්, නැන්දා, මාමා, පුංචි, ලොකු අම්මා ඇතුළු සියලු‍ම නෑදෑ හිතවතුන් මට ලොකු ශක්තියක් වුණා. මාව දිරිමත් කළා. මම මොනවා හරි හේතුවක් නිසා කඩා වැටෙන හැම තැනකදීම මගේ හයියට එයාලා හිටියා.


ඉෂාදි... මේ වෙනකොට ශ්‍රී ලංකාවේ බොහොමයක් යුවතියන්ට තියෙන ගැටලු‍වක් තමයි තමන්ගේ හමේ පැහැය. Mrs World තරගාවලියේ ප්‍රථම ස්ථානය සහ දෙවැනි ස්ථානය ලබාගත් දෙදෙනාම තළෙළු සමක හිමිකාරිනියන්. සමේ පැහැය සුදු කරගන්න වෙහෙසෙන යුවතියන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද?

සමේ පැහැය ගැන කතා කළොත් මම ක්ෂේත්‍රයට එන්නත් පෙර සිටම කියන දෙයක් තමයි ශ්‍රී, ලංකාවේ අපට තිබෙන සමේ පැහැය හරිම ලස්සනයි. අපි කරන්න ඕනෑ සුදු වෙන්න උත්සාහ කරන එක නෙවෙයි. තමන්ට උපතින් හිමිවෙලා තිබෙන සමේ පැහැය හරියාකාරව පවත්වාගෙන රැකබලා ගැනීම කළ යුතුයි. අද මට මේ තැන ලැබෙන්න මගේ පැහැයත් එක හේතුවක් කියලා මම විශ්වාස කරනවා. මගේ ස්වයං විශ්වාසය ගොඩනැගුණේ සමේ පැහැය නිසා.

නමුත් වර්තමානයේදී ගොඩක් අය හිතනවා ලස්සන කියන්නෙ සුදු පැහැති සම කියලා. නමුත් මම කියනවා ඒක එහෙම නෙවෙයි. මටත් මුල් කාලයේ මගේ පැහැය ගැන ප්‍රශ්න තිබුණා. සුදු සම තමයි ලස්සන කියලා මටත් හිතුණු අවස්ථා තිබුණා. පසුව මම තේරුම් ගත්තා සමේ පැහැය මතම නෙවෙයි කෙනකුගේ ලස්සන සුන්දරත්වය තීරණය වෙන්නෙ කියලා. මම තේරුම් ගත්තා, මට ලැබිලා තියෙන ස්වභාවික පැහැය ගොඩක් ලස්සනයි සහ මම ඒක නිරෝගීව වැඩිදියුණු කරගත යුතුයි කියලා.

ඒ නිසා මම හිතනවා මේ තරගාවලියේ මමයි මගේ කාමර සහායක වගේම කිරුළ හිමි කරගත් Mrs Africa, පළවෙනි සහ දෙවැනි ස්ථාන ජයග්‍රහණය කරගෙන ලෝකයක් ඉස්සරහ ඔප්පු කරලා පෙන්නුවා, හැමෝම ලස්සනයි කියන සුදු සම විතරක්ම නෙවෙයි, තළෙළු සමෙත් සුන්දරත්වයක් තියෙනවා කියලා.

ඉතින් මම ශ්‍රී ලංකාවේ යුවතියන්ට කියනවා මුලින්ම තමන්ට ලැබිලා තියෙන තමන්ගේ ආවේනික සුන්දරත්වය පිළිගන්න. තමන්ටම ආදරය කරන්න පටන් ගන්න සහ තමන්ගේ සමේ පැහැය සුදු කරගන්නම උත්සාහ කරන්නෙ නැතුව, ඒක නිසියාකාරව පවත්වාගෙන යන්න කියලා.


ඔබගේ අනාගත බලාපොරොත්තු මොනවාද?

ප්‍රධාන වශයෙන් විවාහක කාන්තාවන්ට උපදේශන සහ දිර්ගැන්වීම් සපයමින් මගේ සමාජ මාධ්‍ය ඔස්සේ යම් යම් වැඩසටහන් නොමිලයේ පවත්වාගෙන යනවා. ඒ වගේම මම ආසම ක්ෂේත්‍රයක් තමයි රූපලාවණ්‍ය ක්ෂේත්‍රය. ඉතින් ඒ ක්ෂේත්‍රයෙනුත් ගොඩක් දුර යන්න බලාපොරොත්තු වෙනවා.

මම ලංකාවට ආපු දවසේ ඉඳලා මගේම ‘බ්‍රෑන්ඩ්’ එකක් හදන්න මහන්සි වෙනවා. ව්‍යාපාර සැලසුමකට අනුව ඒ ගැන අධ්‍යයනයක් කරලා ඒ දේවල් කරගෙන යනවා. ඊට අමතරව රඟපාන්න කැමැත්තෙන් ඉන්නවා.


• මංගලා පවිත්‍රානි



Previous Post Next Post