රිචඩ් තිරයෙන් දකිද්දී මම ඇත්තටම ගල් ගැහුණා - රෙහාන් අමරතුංග

 



රෙහාන්... අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ LYCA ආයතනය නිෂ්පාදනය කළ “රාණි”‍ චිත්‍රපටයේ ඔබ රඟපාන්නෙ රිචඩ්ගේ චරිතයයි. ඉංග්‍රීසි වේදිකාවේ හිටපු රෙහාන්ට සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?

ඔව්... මීට පෙර මම සම්බන්ධ වුණේ ඉංග්‍රීසි වේදිකාවට විතරයි. මේ මගේ පළමු සිනමා නිර්මාණයයි. අශෝක අයියාගේ නිෂ්පාදක කණ්ඩායම මාස දෙක තුනක් රිචඩ්ගේ පෙනුම තියෙන, ඒ චරිතයට ගැලපෙන කෙනෙක් හොයමින් ඉඳලා තියෙනවා. මගේ වේදිකාවේ යාළුවෝ වගේම අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකුත් අශෝක අයියට මම ගැන කියලා තිබුණා වගේම මගේ ඡායාරූප පෙන්නලා තිබුණා. ඔය අතරේ අශෝක අයියගෙන් මට ඇමතුමක් ආවා. ඔහු මුණගැසීමත් එක්ක තමයි මට රිචඩ්ගේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණේ.


ඇත්තටම රෙහාන් රිචඩ් වගේ කියලා මේ චරිතය ලැබෙන්න පෙර ඉඳන්ම යාළුවෝ කිව්වද?

මට මගේ පෙනුම ගැන කියන්න අමාරුයි. හැබැයි අශෝක අයියව මට හම්බවුණු ගමන් අශෝක අයියා මගේ මුහුණේ පෙනුම ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ. හැබැයි මම “පොඩ්ඩක් කෙට්ටුයි”‍ කියලා කිව්වා. ඒ නිසාම රිචඩ්ගේ චරිතයට මම කිලෝ තුන හතරක් වැඩි කර ගත්තා. ඉස්සර මම ශේක්ස්පියර්ගේ නාට්‍ය කරද්දි රිචඩ්ව දන්න, දැකලා පුරුදු අය, “ඔයා රිචඩ් වගේමයි”‍ කියලා මට ඇවිත් කියලා තියෙනවා.


ශාන්ත පීතර විදුහලේදි ඔබ මොන වගේ චරිතයක්ද?

පාසලේ ඉංග්‍රීසි නාට්‍ය වේදිකාව මට අවුරුදු දහතුනේ ඉඳන් හොඳට හුරුයි. මම පාසලේ නාට්‍ය නිෂ්පාදනවලට සම්බන්ධ වුණා. පාසලේදී මම පොඩ්ඩක් දඟයි. බාහිර ක්‍රියාකාරම්වල නිරත වුණා. පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර දැරුවා. වැඩසටහන් සංවිධානය කළා. අධ්‍යාපනයට වගේම බාහිර ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙලා හිටියා.


පුංචි කාලේ හීනය වුණේ කවුරු වෙන්නද?

නළුවෙක් වෙන හීනය මට පුංචි කාලේ තිබුණේ නැහැ. හැබැයි පුංචි කාලේ නිර්මාණ පැත්තෙන් නිර්මාණශීලි කෙනෙක් වෙන්න ආසා කළා. දැන් වුණත් මම ව්‍යාපාරික ආයතනවල ව්‍යාපාරික උපදේශකවරයෙක් විදියට කටයුතු කරනවා. ඒ වගේම “මුරණ්ඩු”‍ නමින් මම පරිගණකය ඔස්සේ සංගීතය නිර්මාණය කරනවා.


අපිට රෙහාන්ගේ පවුල විස්තර ටිකක් කියන්න?

මගේ අම්මයි තාත්තයි මම පුංචි කාලෙ ඉඳන්ම හැමදේටම සහයෝගය ලබා දුන්නා. මගේ තාත්තා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවරයෙක් විදියට කටයුතු කරනවා. අම්මා හොඳ ගෘහණියක්. මට අයියා කෙනෙක් ඉන්නවා. එයා මට වඩා අවුරුදු හතක් වැඩිමහල්. පාසල් වේදිකාවේ රඟපෑවාට ගෙදර ඇතුළේ මම ඒවා රඟපෑවේ නැහැ. හැබැයි රඟපෑම තමයි මගේ පළමු ආදරය වෙන්නෙ. මම රංගනය ඉගෙන ගන්න ආසා කළා.




රිචඩ් කියන්නෙ මේ සමාජයේ ජීවත් වුණු, බොහෝ දෙනා දන්නා චරිතයක්. එවැනි චරිතයක් රඟපෑම අභියෝගයක් නේද?

ඔව්... ඇත්තටම ඒක ලොකු අභියෝගයක්. ඒ අභියෝගය මම මුලින්ම බාරගත්තෙ ගොඩක් බයෙන්. මම පොඩ්ඩක් ඔහු ගැන දැනගෙන හිටියා. ඒ නිසා ඔහු දන්න අය, ඔහුට ආදරය කරන අය, ඔහුව කොච්චර ඉහළ තැනක තියෙනවද කියලා දැනගෙන හිටියා. එයාගේ පවුලේ අය පවා මේ චිත්‍රපටය බලයි කියලා මම විශ්වාස කළා. ඒ වගේ මිනිස්සු ආදරය කරන චරිතයක් මම තිරයේ රඟපාන්නෙ කොහොමද කියන දේ මට අභියෝගයක් වුණා. අශෝක අයියාගේ පිටපතේදී මේ කතාවේ ඉලක්කය වුණේ අම්මාගේ චරිතය බව මම තේරුම් ගත්තා. ඒ නිසා රිචඩ්ගේ පෞද්ගලික ජීවිතේ ඔහු කොහොම කෙනෙක්ද කියන දේ පෙන්නන්න මට ලියැවිලා තිබුණා. ඒක දැනගත්තට පස්සෙ මම ඔහු ගැන බොහෝ දේවල් හොයලා බැලු‍වා.


නිර්මාණයේදී අශෝක හඳගම ඔබට මොන වගේ අධ්‍යක්ෂවරයෙක්ද?

මම ඇල්බොරාදා සහ ඔහුගේ චිත්‍රපට දෙක තුනකුත් බලලා තියෙනවා. ඔහුව හමුවුණාට පස්සෙ ඔහු කොච්චර බුද්ධිමත් කෙනෙක්ද කියලා මම තේරුණා. චිත්‍රපටයේ තිර පිටපත්  රචකයා, අධ්‍යක්ෂවරයා විදියට ඔහු ලෝකයක් මැව්වා. අශෝක අයියා මට නිදහස ලබා දුන්නා. වේදිකා නාට්‍යවල රඟපාලා පළවෙනි චිත්‍රපටය විදිහට “රාණි”‍ චිත්‍රපටයට සම්බන්ධ වුණු මම ඔහුගෙන් ප්‍රශ්න අහද්දී, ඔහු හරියට ඒවාට උත්තර දීලා කළ යුතු දේ ගැන කිව්වා. ඔහු ප්‍රවීණයෙක්. ඒ වගේම ඉතා හොඳ අධ්‍යක්ෂවරයෙක්.


රිචඩ්ට අම්මා හරි සමීපයි. රෙහාන්ට ස්වර්ණා මල්ලවආරච්චි කොයි තරම් දුරට සමීප වුණාද?

ඒක නම් කියන්නම ඕනෑ. ඇයගෙන් මට පුදුම සහයෝගයක් ලැබුණා. මේ අම්මාගේ පුතාගේ තියෙන්නෙ වෙනස්ම විදිහේ බැඳීමක්. ඔවුන් හොඳ යාළුවෝ වගේ. ඒක ඇත්ත විදිහට පෙන්නන්න ස්වර්ණා මල්ලවආරච්චි කියන මේ ප්‍රවීණ කලාකාරිය මට පුදුම සහයෝගයක් දුන්නා. පළවෙනි පාරට ස්වර්ණා අක්කව මුණගැහෙද්දී ඇය පුදුම විදියට මාව පිළිගත්තා. අපි දෙබස් පුහුණු වෙද්දී ඇය ගැන මට පුදුම හිතුණා. මේ තරම් ප්‍රවීණ වුණු ඇය, අත්දැකීම් බහුල ඇය, අපි වගේම පිටපත කියෙව්වා. ඒක අධ්‍යයනය කළා. මම පිටපත පුහුණු වෙද්දී පවා ඇය ඇගේ දෙබස් කියමින් මට සහයෝගය දුන්නා. ඇය හරිම කරුණාවන්ත කලාකාරියක්. ඉතින් ස්වර්ණා අක්කා වගේ ප්‍රවීණ කලාකාරියක් එක්ක එකට රඟපාන්න ලැබීමත් මගේ වාසනාවක්.


රාණි රූගත කිරීම් අවසන් කරලා වසර ගණනාවකට පස්සෙ තිරගත වෙනවා. මුලින්ම පුළුල් තිරයේ රිචඩ්ගේ රුව දකිද්දි මොකද හිතුණේ?

පළවෙනි පාරට මාව එහෙම තිරය මත දකිද්දි මම ටිකක් ගල් ගැහුණා. මට හිතාගන්න බැරි වුණා. දෙවැනි පාර බලද්දි අශෝක අයියා එක්ක වැඩ කරපු හැමකෙනාම එයාට තියෙන ආදරේට සහ මේ චිත්‍රපටයට තියෙන ආදරේ නිසාම කොයි තරම් දුරට මහන්සි වුණාද කියලා තේරුණා. මේක ස්වර්ණා අක්කා ඇත්තටම මනෝරාණිට දුන්න පොරොන්දුවක්. ඒ නිසාම අධ්‍යක්ෂවරයා, LYCA ආයතනය ඇතුළු නිෂ්පාදක කණ්ඩායම වගේම හැමෝම මේ කටයුත්තට තම උපරිම දායකත්වය ලබා දුන්නා. ඒ හැමදෙනාගේම ලස්සන එකතුවෙන් හොඳ චිත්‍රපටයක් නිර්මාණයවෙලා තියෙනවා.


ලැබෙන ප්‍රතිචාරත් එක්ක රිචඩ්ට රෙහාන් සාධාරණයක් කළා කියලා හිතනවද?

රිචඩ්ව දන්න හා ආදරය කරන අය එයාව ඉහළ තැනක තියලයි තියෙන්නෙ. ඒකට මම නගින්න ගියේ නැහැ. තව රිචඩ්ව දන්නෙ නැති පරපුරක් ඉන්නවා. එයාලාට රිචඩ් ගැන හොයන්න, කුතුහලයක් ඇති කරවන්න, සම්බන්ධතාවයක් ඇති කරවන්න, මට ඕනෑ වුණා. ඉතින් මට පුළුවන් දේ මම උපරිමයෙන්ම කළා කියලා මම විශ්වාස කරනවා.



Previous Post Next Post