බැඳීම් නැතුව ජීවත් වෙන එක හොඳයි කියල හිතෙනවා -සචින් ලියනගේ

 



රංගනය යනු විනෝදාස්වාදය සඳහා කළයුතු දෙයක් නොවේ. රංගනය පුළුල් ක්ෂේත්‍රයකි. මනා දේහ ලක්ෂණ වලින් සමන්විත වුවත්, කඩවසම් බව, මනා රූපකායක් තිබූ පමණින් රංගන ශිල්පියෙක් ලෙස හැඳීන්විය නොහැකිය. වර්තමානයේ සිනමාව තුළ, ටෙලි නාට්‍ය කලාව තුළ කෙතරම් රූපයෙන් අනූන, කඩවසම් බවින් යුක්ත, දේහධාරී චරිත සිටියත් ඔවුන් අතරින් රංගන කුසලතා මතුවී පෙනෙන්නේ කිහිපදෙනෙකුගේ පමණි.


එහෙත් අතීතයේ සිංහල සිනමාවේ මනා රංග පෞරුෂයකින් හෙබි විශිෂ්ට චරිත සිංහල සිනමාව ස්වර්ණමය යුගයක් කරා ගෙනගිය බව නොරහසකි. අදටත් ප්‍රේක්ෂකයන්ට ඔවුන්ගේ රූපකාය මතකයට නැඟෙන්නේ ඔවුන් සිනමාවේ මැවූ චරිතද සමඟිනි. අප තවමත් සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ගැන කතා කරනු ලබන්නේ එම රංගවේදීන් තුළ තිබූ රඟ සෝබාව නිසාය.


වර්තමානයේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ, සිනමාවේ සිටින දක්ෂතා වලින් හෙබි යොවුන් රංගන ශිල්පීන් අතර ඉදිරියෙන් සිටින ආකර්ෂණීය චරිතයක් මෙවර සරසවිය පිළිසඳරට එක්විය.


විසල් ආදරේ සිනමාපටය හරහා සිනමා නළුවෙක් ලෙස සිනමා තිරයට පා තැබූ ඔහු මේ දිනවල කාගේත් කතාබහට ලක්වූ චරිතයකි. ඔහු ජනප්‍රිය යොවුන් නළු සචින් ලියනගේය. ඔහුගේ රුව දුටු පමණින් කවුරුත් හඳුනන රංගන ශිල්පියෙක් ලෙස සචින්ව හඳුන්වා දිය හැකිය. මේ දිනවල ස්වාධීන රූපවාහිනි සේවය ඔස්සේ විකාශය වන පාරාදීසේ ටෙලි නාට්‍යයේ වගීෂ ප්‍රේක්ෂකයන්ගේ ආදරයට පාත්‍ර වූ චරිතයකි.


පාරාදීසේ වගීෂ ගැන කතා කිරීමට සචින්, සරසවිය සමඟ එක්වූයේ මහත් උනන්දුවකිනි. ඔහුගේ සිනහව යෞවනියන්ගේ හදවත් මොහොතකට නතර කරන්න තරම් ආකර්ෂණීයය. ඔහු තම කතාබහ ආරම්භ කළේ ඔහුගේ ප්‍රථම සිනමා පාතැබුම වූ විසල් ආදරයෙන්ය.


මම මුලින්ම සිනමාවට පා තබන්නේ විසල් ආදරේ චිත්‍රපටයෙන්. එය ලංකාවේ තිරගතවී අවසන් වුවත් කටාර්, ඉතාලි වගේ රටවල තවමත් විශේෂ දර්ශන තිරගත වෙනවා. විසල් ආදරේ නිසා මට ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොඅඩුව ලැබුණා. සිනමාව කියන්නේ පුළුල් ක්ෂේත්‍රයක්. අති දක්ෂ රංග පෞරුෂයන්ගෙන් හෙබි රංගවේදීන් අස්වද්දපු ක්ෂේත්‍රයක්. ඔවුන් අපිට ඉතිරි කරගිය දෑ බොහෝයි. එවැනි අති දක්ෂයින්ගෙන් පෝෂණය ලැබූ සිංහල සිනමාවට මට පා තබන්නට හැකිවීම ගැන මට සතුටක් තියෙනවා. ඒ වගේම නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. ඒක මගේ භාග්‍යයක්. ප්‍රේක්ෂක ආදරය ලැබූ නොමියෙන මතකයන් රාශියක් එක්කළ කලාකරුවන් ගැවසුණ සිංහල සිනමාවේ මටත් කොටස් කරුවෙක් වීම ගැන මගේ හිතේ අභිමානයක් තියෙනවා.




රූපවාහිනී තිරයේ ටෙලි නාට්‍යයක් බලනවාට වඩා තමන්ගේ මුදල් වියදම් කරල චිත්‍රපටයක් බලන්න යනවා කියන එක වටිනවා. එසේ යන්නේ යම්කිසි සිනමා නිර්මාණයකට තමන්ගේ සිතතුළ ඇතිවූ ආසාව, උනන්දුව නිසයි. මම රඟපෑ මුල්ම චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් මාව ආදරයෙන් වැලඳ ගත්තා. මට මඟ තොටේදී හමුවන අයගෙන් ලැබෙන ප්‍රතිචාර වලින් ඒ දේ ඔප්පු වුණා.


” අපි ඔයා නිසා ඒ චිත්‍රපටය බැලුවේ, ඔයාව දකින්න ආස නිසා චිත්‍රපටය බැලුවා ”


ඒ වගේ වචන ඇහුවාම දැනුණේ අප්‍රමාණ සතුටක්. විසල් ආදරේ චිත්‍රපටය නිසා මගේ රංගන ජීවිතයටත් විශාල අත්දැකීම් සම්භාරයක් ලැබුණා.


මම මුලින්ම ක්ෂේත්‍රයට එන්නේ මියුසික් වීඩියෝ, රූපවාහිනි වෙළඳ දැන්වීම් හරහා. ඒ ආ ගමන නැවතුනේ සිනමාවෙන්. ඒ ගැන ආඩම්බරයි.


මේ දිනවල ස්වාධීන රූපවාහිනි තිරය මත දිගහැරෙන පාරාදීසේ ටෙලිනාට්‍යයේ වගීෂ බොහෝ ප්‍රේක්ෂකයන් කතාබහ කරන ආදරය කරන චරිතයක් බවට පත්වී ඇත. වගීෂට පණ පොවන්නේ සචින් ලියනගේ වීම විශේෂත්වයක්. මව්පිය රැකවරණය නොලද අනාථ දරුවෙක් ලෙස ජීවත්වන වගීෂ සිනමා නළුවෙකි. ඔහු වටා සිදුවන සිදුවීම් පාදක කොට ගෙන නිර්මාණය වූ පාරාදීසේ මේ දිනවල වැඩිම පේ‍්‍රක්ෂක පිරිසක් නරඹන ටෙලි නාට්‍යයක් බවට පත්වී ඇත. පාරාදීසේ වගීෂ ගැන සචින් දැක්වූ අදහස් මෙසේය.


පාරාදීසේ මේ දිනවල ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යයක්. එහි වගීෂට පණ දෙන්නට ලැබීම මට සතුටක්. පාරාදීසේ නරඹන පිරිස මුණ ගැසුනහම මට කතා කරන්නේ වගීෂ නමින්. ඒ ඔවුන්ට ඒ චරිතය හිතට දැනුණ නිසා විය හැකියි. ඒත් මම නම් කැමැති මට සචින් නමින් කතා කරනවානම්. වගීෂ කියන්නේ මම රඟපාන චරිතයක් පමණයි. ඒ චරිතය තාවකාලිකයි. මගේ නම සදාකාලිකයි.


ප්‍රේක්ෂකයන් එසේ කතා කිරීම ගැන මගේ හිතේ අමනාපයක් නැහැ. ඔවුන්ගේ ආදරය මට වටිනවා. ඔවුන් එසේ කතා කරද්දී දැනෙනවා පාරාදීසේ වගීෂ චරිතය ප්‍රේක්ෂකයන්ගේ, මට ආදරය කරන රසිකයන්ගේ හදවත් තුළ තැන්පත් වෙලා කියලා. මම රංගනය පැත්තෙන් දැනෙන දෙයක් කරල තියෙනවා කියල මට හිතෙනවා. එහි මගේ මුහුණෙන් ප්‍රකාශ වන හැඟීම් ගැන බොහෝ ප්‍රතිචාර ලැබී තියෙනවා. විශේෂයෙන් සමාජ මාධ්‍ය පිළිබඳ ලියවිලා තියෙනවා. එහි මම නිතරම මගේ ඇහිබැම කසනවා. එය මම චරිතයට ගැළපෙන විදිහට අනුගමනය කරන දෙයක්. වගීෂ කියන්නේ ප්‍රශ්නවලට මුහුණ දෙන කෙනෙක්. බැරෑරුම් අවස්ථාවලදී ප්‍රශ්නයක් ආවහම දෙබස්වලින් කියනවාට වඩා නළල කැසීමෙන් එහි ප්‍රශ්නාර්ථයක් තිබෙන බව හඟවන්න පුළුවන්.


පාරාදීසේ යූ ටියුබ් ඔස්සේ වැඩිම පිරිසක් නරඹන ටෙලි නාට්‍යයක් බවට පත්වී තිබෙනවා. වගීෂ කියන්නෙ මොන වගේ චරිතයක්ද කියල මම කියන්නම්. වගීෂ කියන්නේ මව්පියන් කව්දැයි කියා නොදන්නා තරුණයෙක්. ඔහු සිනමා නළුවෙක්. ඒත් ඔහු සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න නිතර උත්සාහ කරන කෙනෙක්.


වගීෂගෙන් එක් දෙයක් පිළිබිඹු වෙනවා. කතාවේ හැටියට ඔහු රටට වටිනා පුද්ගලයෙක්. සිනමා ක්ෂේත්‍රයට වටිනා කෙනෙක්. එසේ වුවත් ඔහු ඒ බව නොතකා ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. සමාජයේ අපි එවැනි අය දකිනවා. රටට වැඩදායී චරිත වුණත් ඔවුන් ඒ බව නොපෙන්වා ජීවත් වෙනවා. එසේ ජීවත්වීම සරල වුවත් එක්තරා අන්දමකින් හොඳ තත්වයක් නෙවෙයි.


වගීෂ කියන්නෙ මව්පියන් නොමැති අනාථ නිවාසයක ජීවත් වූ දරුවෙක්. ඔහුට කුඩා කාලයේදීම මව්පිය සෙනෙහස අහිමි වෙනවා. ඔහු දන්නේ නැහැ අම්මා තාත්තා කවුද කියලවත්. ඒත් ඒ ගැන ඔහු හොයනවා. ඒ අවස්ථාව හරිම සංවේදීයි. වගීෂට තමන්ගේ කියා කියන්න කවුරුත් නැහැ. ඔහුට ඒ නිසා බැඳීම් නැහැ. එවැනි තරුණයන් ඕනෑ තරම් සමාජයේ ජීවත් වෙනවා. අනාථ දරුවෙක් වුණත් ජීවිතය වරද්දා නොගෙන ඉදිරියට යායුතුයි කියන පණිවිඩය වගීෂගේ චරිතය තුළින් ප්‍රේක්ෂකයන්ට ලබා දෙනවා. එක අතකින් මට හිතෙනවා වගීෂ වැනි අය වාසනාවන්තයි. ඔවුන්ට බැඳීම් නැහැ . බැඳීම් නැති නිසා ප්‍රශ්න නැහැ. ඔවුන්ට තියෙන්නේ තමන් ගැන හිතන එක පමණයි. අපි මේ ලෝකෙන් කවදා හරි යන්නෙ තනියම. බැඳීම් තිබුණත් අපිට යන්න වෙන්නේ තනියම.


මට දුක හිතෙන්නේ අනාථ දරුවන් ගැන නෙවෙයි. මව්පියන්ගේ රැකවරණය යටතේ ඉඳලත් තම ජීවිතය වරද්දා ගන්නා දරුවන් ගැන.


මව්පිය රැකවරණය, ආදරය අහිමි වූ දරුවන් වෙනුවෙන් මට මේ දේ කියන්න අවශ්‍යයි. අම්මා තාත්තා නැහැ කියල ඔයාලගේ ජීවිතය කඩා වැටෙන්න දෙන්න එපා. හැමදේම ලැබුණ දරුවන්ටත් වරදින අවස්ථා තියෙනවා. එහෙම බලද්දී කාත් කවුරුවත් නැතුව ඉන්න ඔයාල සුපිරි වීරයෝ. ඒ විදිහට හිතල සතුටු වෙන්න . ඔබ අසරණ වෙලා නැහැ. අපි වටා කවුරු හිටියත් අපි තනි වෙන වෙලාවල් තියෙනවා. තමන්ට තමන් විතරයි ඉන්නෙ කියල දැනෙනවා. මම ඒ දේවල් කියන්නෙ වගීෂ කියන කෙනා දිහා බලලා. ඔහු වාසනාවන්තයි. ඔහු නිදහස් කෙනෙක්. ඒ පාරාදීසයේ වගීෂ හිතන විදිහ.


සචින් කොයි වගේ ජීවිතයක් ගත කරනවද කියල දැනගන්න අවශ්‍ය නම් මම ඒකත් කියන්නම්.


මට ඉන්නවා මගේ පවුලේ අය. මට ආදරය කරන්න දුෂේනි ඉන්නවා. සචින් ලියනගේ සතුටින් ජීවිතය ගත කරනවා. ජීවිතය විඳීනවා. ආදරය ලබනවා. ඒ විදිහට තමයි මගේ ජීවිතය ගලාගෙන යන්නේ.


අපි නිතරම පුරුදු වෙලා ඉන්නේ කෙසේ හෝ සැබෑ ලෝකය නිරූපණය නොකර ඉන්න. ඒත් නිර්මාණ තුළින් මිනිසුන්ගේ සැබෑ ස්වරූපයත් පෙන්විය යුතුයි. සමාජයේ විවිධ චරිත ජීවත් වෙනවා. විවිධ ජීවන රටා තියෙනවා. රියැලිටි එක තමයි නිර්මාණ හරහා ගෙන ආ යුත්තේ.


පාරාදීසේ වගීෂ ගැන තව දුරටත් කතා කරනවා නම් කතාවේ හැටියට ඔහු දක්ෂ ජනප්‍රිය නළුවෙක්.


ඔහු ක්ෂේත්‍රයට පැමිණෙන්නේ එක්තරා වැඩිමහල් කාන්තාවකගේ පිහිටෙන්. එසේ ආපු වගීෂ දක්ෂ ජනප්‍රිය නළුවෙක් බවට පත්වෙනවා. ඔහුට සිනමා නිර්මාණ ගලාගෙන එනවා.


ඒත් සචින් ලියනගේ කියන මම රංගන ක්ෂේත්‍රයට පැමිණෙන්නේ කාගෙවත් සම්බන්ධතාවයක් නොමැතිව. මගේ කියල කෙනෙක් කලාවට සම්බන්ධ වෙලා හිටියෙත් නැහැ. අමාරුවෙන් ආ ගමනක් මේක. මම මධ්‍යම පාංතික කොල්ලෙක්. මුලදී ප්‍රශ්ණ ඇතිවුණා. ඒක සාමාන්‍ය දෙයක්. ඒ දේවල් දරාගෙන බොහෝම ඉවසීමෙන් ආපු නිසා තමයි මේ වගේ ලස්සනට ජීවත් වෙන්නේ.


මම හැම වෙලාවෙම කෙළින් කතා කරන කෙනෙක්. කියන්න දෙයක් තියෙනවා නම් ඒ වෙලාවෙම එය කියනවා. පසුවට කියන්නේ නැහැ. මම බොරුවට මිනිස්සුන්ට වර්ණනා කරන පුද්ගලයෙක් නෙවෙයි. මම කාට හරි හායි කිව්වත් කියන්නේ හදවතින්මයි. මම කෙළින් කතා කරන නිසා මම ආඩම්බරකාරයෙක් කියලත් හිතෙන්න පුළුවන් ඇතැම් අයට.


සමාජයේ විවිධ මිනිස්සු එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. ඒ අය ආශ්‍රය කිරීමෙන් ඒ අය අතර ගැවසීමෙන් තමයි මම නම් මගේ රංගනය වෙනුවෙන් අත්දැකීම් ලබා ගන්නේ.


මට මේ වෙලාවේ පාසැල් යන කාලේ සිදුවුණ එක්තරා සිද්ධියක් මතක් වෙනවා. මගේ පංතියේ හිටියා මම අකමැති ළමයෙක්. ඒ ළමයා ගැන මම නිතරම ගෙදර අයට කියනවා. දවසක් තාත්තා අපේ ඉස්කෝලෙට ආවා. ඒ ආවේ අර මට අකමැති ළමයාටත් එක්ක කෑම අරගෙන.


මට ඒ වෙලාවේ ලොකු කේන්තියක් ආවා. මම ගෙදර ගිහින් ඇහුවා ඇයි එහෙම කළේ කියලා. ඒ වෙලාවේ මගේ තාත්තා මට හරි අපූරු උත්තරයක් දුන්නා.


පුතේ සමාජයේ ජීවත් වෙනකොට විවිධාකාර මිනිස්සු අපිට මුණගැහෙනවා. අපි ඒ හැමෝම එක්ක එකට ගැටෙන්න ඕන. ඒ හැම කෙනෙක්ගෙන්ම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. එදා තාත්තා කියපු ඒ කතාව මම අද අත්විඳීනවා. මම මුලින් කිව්වා වගේ මගේ වටා බොහෝ පිරිසක් ඉන්නවා. විවිධ තරාතිරමේ අය. ඔවුන්ගේ ජීවන රටාවන් වැදගත් වෙනවා මට නළුවෙක් විදිහට කරන රංගන කාර්යයේදී. ඒ අයගේ හැසිරීම් රටා, ආශ්‍රය කිරීමෙන් ලබන අත්දැකීම් ඉවහල් වෙනවා අපේ රංගන ජීවිතයට.


සචින් බොහෝ කාර්යබහුල කෙනෙක්.ඔහු මේ දිනවල නිරත වී සිටින කලා කටයුතු ගැනද සරසවිය හමුවේ පැවසීමට අමතක නොකළේය.


පසුගිය දිනවල කාර්‍යබහුල ජීවිතයක් තමයි ගතකළේ. රූගත කිරීම් එක්ක.මේ දිනවල පොඩි විවේකයක් ගත්තා. ඒත් මම මේ දවස්වල පිටපතක් ලියන්න පටන් ගත්තා. මට ලියන්න හැකියාව තියෙනවා. බොහෝ විට එය සිනමා නිර්මාණයක් තුළින් එළිදකීවී. එය මට කරන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා.


මට හිතෙනවා මගේ රංගන හැකියාව පෙන්වීමට තරම් මට චරිත ලැබිලා නැහැ. මම චරිත ඉල්ලාගෙන පස්සෙන් යන කෙනෙක් නෙවෙයි. මේ අහවල් චරිතය මට රඟපාන්න ආසයි කියල මම තීරණය ගන්නේ නැහැ . මට කරන්න පුළුවන් ඕනෑම චරිතයකට මම කැමැතියි.


මට හිතෙනවා මගේ හැකියාව අධ්‍යක්ෂකවරු හඳුනාගත්තොත් සිනමාවේ දැනෙන යමක් කරන්න අවස්ථාව ලැබෙයි කියලා.


මේ දිනවල මම රඟපෑමෙන් එක්වෙන ටෙලි නාට්‍ය කිහිපයක් විකාශය වෙනවා. පාරාදීසේ සමඟින් මම රඟපෑ තවත් අලුත් ටෙලි නාට්‍යයක් වන පේ‍්‍රම රස්තියාදුව ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වෙනවා.


ඒ වගේම විශේෂයෙන් සඳහන් කළ යුතුයි පාරාදීසේ කණ්ඩායම ගැන. මට එහි රඟපාන්න තියෙන්නේ ජනප්‍රිය නිළියන් දෙදෙනෙක් සමඟ. දිනක්ෂි සහ නෙත්මී රොෂෙල්. ඔවුන්ගෙන් මට හොඳ සහයක් ලැබුණා. ඒ වගේම අනෙක් ශිල්පීන්ගෙනුත් සහයෝගය ලැබුණා. විශේෂයෙන් එහි අධ්‍යක්ෂවරයා ඇතුළු නිෂ්පාදක කණ්ඩායමට ස්තූති කරනවා.


විසල් අදරේ වගේම, පාරාදීසේ ටෙලි නාට්‍යයේත් මට රඟපාන්න ලැබුණේ නිළියන් දෙදෙනෙක් සමඟ.මම තීරණයක් ගත්තා මින් ඉදිරියට නිළියන් දෙදෙනෙක් ඉන්න නිර්මාණවල රඟනොපාන්න.


සචින් එසේ ප්‍රකාශ කළේ කිසිවෙකු අපහසුතාවයට පත්කිරීමට නොවේ.


ඔහු කවුරුන් සමඟත් සුහදව කටයුතු කරන රංගන ශිල්පියෙකි. වර්තමානයේ ටෙලි නාට්‍යයට, සිනමාවට පිවිසෙන නළුවන් බොහෝය. එහෙත් එහි ස්ථාවරය ගොඩ නගා ගෙන රංගන හැකියාවෙන් පිරිපුන් ශිල්පීන් සිටින්නේ අතළොස්සකි. ඒ අතරින් සචින් ලියනගේ ක්ෂේත්‍රය තුළ ස්ථාවරයක් ගොඩනඟා ගත් ශිල්පියෙක් ලෙස හැඳීන්විය හැකිය.තම කලා ජීවිතය පිළිබඳ සචින්ගේ අදහස් මෙසේය.


ඇත්තටම මම ගැන මට විශ්වාසයක් තියෙනවා. මට රංගනය පැත්තෙන් යමක් කරන්න පුළුවන් ශිල්පියෙක් කියල මට විශ්වාසයි. ක්ෂේත්‍රයේ ඉන්න අය සහ අලුතින් එන අය මට අභියෝගයක් නෙවෙයි. මට තරඟයක් තියෙන්නේ මා සමඟ පමණයි.


අලුතින් කෙනෙක් ආවත් ඔහු ගැන මම හොයන්නේ නැහැ. මට ප්‍රයෝජනවත් මම කරන දේ පමණයි. ලංකාවේ සිදුකරන ලොකුම නිර්මාණයකට අලුතින් ආපු කෙනෙක් ගත්තත් එය මට ප්‍රශ්නයක් නැහැ. මට ලැබෙන දේ සතුටින් බාර ගෙන කැපවීමෙන් කරනවා.


මම නවකයන්ගෙන් දකින දෙයක් තියෙනවා. ඔවුන් ඔවුන්ගේ චරිත ථචඪදබචඪද කරනවා. සමාජ මාධ්‍ය හරහා ඔවුන්ම ඔවුන්ගේ චරිත ඉස්මතු කරන්න උත්සාහ කරනවා. නවක ශිල්පීන් සමාජ මාධ්‍ය තුළ ලොකු අරගලයක යෙදෙනවා ඔවුන්ගේ චරිත රැකගන්න. ඒත් ටැලන්ට් එක තියෙනවා නම් කලබල වියයුතු නැහැ. කාගෙවත් පස්සේ යා යුතු නැහැ. අපේ දක්ෂතා හොඳ නම් අපිට නිර්මාණ ලැබෙනවා.


උදාහරණයක් විදිහට කිව්වොත් චාමර වීරසිංහ ජනප්‍රිය ගායකයාව කවුරුත් හඳුන්වන්නේ හදවතේ ගායකයා විදිහට. ඔහුට ඒ තත්වයට එන්න කාලයක් ගතවුණා. ඒ වගේ ඉවසීමෙන්, සීරුවට මේ කලා ක්ෂේත්‍රයේ හැසිරිය යුතුයි. නිදහස් මනසකින්, කල්පනාවෙන් වැඩ කළොත් කාටත් පුළුවන් ඉලක්ක ජයගන්න. මටත් අවුරුදු ගණනාවක් ගියා මේ ඉන්න තත්වයට එන්න. ඒ වගේම තමයි මට පුළුවන් කල් රඟපෑමේ යෙදෙනවා. ප්‍රේක්ෂකයන් මට ආදරය කරනවා වගේම මාව ප්‍රතික්ෂේප කරන දවසක් ඒවී. අන්න එදාට තවත් පරපුරකට බාර දීලා සතුටින් ක්ෂේත්‍රයට සමුදෙන්න මම සූදානම්.


සචින් ලියනගේ රංගන ශිල්පියෙක් පමණක් නොව ඔහුට කැමරාකරණය, ආලෝකකරණය සහ තිරරචනය පිළිබඳ දැනුමක් ඇති බව සරසවිය සමඟ කතාබහේදී හෙළිකළේය. එය රංගන ශිල්පියෙක්ට බෙහෙවින් උපකාරී වන දෙයකි.


රංගනයෙන් කෙටි විරාමයක් ගෙන විවේකීව සිටින අවස්ථාවේ ඔහු තිර පිටපත් රචනයට යොමුවීම අගය කළයුතු කාරණයකි. නළුවෙක් යන රාමුවේම කොටු නොවී පිටපත් රචකයෙක් ලෙසින්ද ඉදිරියේදී සිනමා නාමාවලිය යටතේ ඔහුව දකින්නට ලැබෙනු ඇත. එය සචින්ගේ සිහිනයකි. ඒ අපූරු සුන්දර සිහිනය සැබෑ වේවා යැයි සරසවිය ප්‍රාර්ථනා කර සිටී.



Previous Post Next Post