සමරනායක විදිහට සින්ධු නාට්‍යයෙන් ඔබේ ආලින්දයට එන අරවින්ද

 


සියත නාළිකාවේ මේ දිනවල විකාශය වන සින්ධු නාට්‍යය බලන කෙනෙක් නම් ඔබ, අනිවාර්යෙන්ම එහි සමරනායක ගැන දැනගන්න කැමති බව එම නාට්‍යයේ කොටස් අතරට එකතු වෙන කමෙන්ට්වලින් දැනෙනවා. කවුද මේ ඇත්තටම මේ සමරනායක. සමරනායකට ජිවය දෙන්නේ අරවින්ද පාදුක්ක. රසඳුන මේ කෙටි කතාබහ අරවින්ද පාදුක්ක සමඟ.


 මේ දවස්වල සමරනායක නිසා හරි ජනප්‍රියයි නේද?


මං හිතන්නෙ ඒක තමයි හරිම වචනෙ. ප්‍රේක්ෂකයන් ප්‍රිය කරන චරිතයක් ලැබෙන එකත් වාසනාවක්.


 කොහොමද සින්ධුහි සමරනායක වෙන්න අවස්ථාව ලැබුණේ?


මේ නාට්‍යයේ කලා අධ්‍යක්ෂ, මගෙ මිත්‍ර ජගත් එස්. බණ්ඩාර අයියා තමයි මාව මුලින්ම සමරනායක විදියට දකින්නෙ. මේ චරිතයට මාව යෝජනා කරලා අපේ නාට්‍ය අධ්‍යක්ෂ ලසිත කාරියවසම් අයියට මාව සම්බන්ධ කරන්නෙත් එයා, ඒ සියත TV ආයතනෙදි. එතැනදි තමයි ලසිත අයියා මට සමරනායකව මුලින්ම හඳුන්වල දෙන්නෙ. මට දෙබස් කීපයකුත් දීලා, පොඩි ඔඩිෂන් එකකුත් කරලා තමයි මම සමරනායක වෙන්නෙ.


 සින්ධුහි අමතක නොවන අත්දැකීම් ඇති?


සින්ධු කියන්නෙම මට අමතක නොවන අත්දැකීමක්. සාමාන්‍යයෙන් නාට්‍යයකදි මුණ ගැහෙන වෘත්තිකයින්ට වඩා එහා ගිය සහෝදර බැඳීමකින් වැඩ කරන කාර්ය මණ්ඩලයක් රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්. සහය අධ්‍යක්ෂ සුනෙත් අයියා, කැමරාකරණයෙන් හර්ෂ අයියා, ජගත් අයියා, මේශාන් ඇතුළු නම් කියපු නොකියපු හැමදෙනාම දෙන්නෙ ලොකු සහයෝගයක්. විශේෂයෙන්ම ලසිත අයියා ඉතාම නම්‍යශීලි දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. ඊට එහා ගිය අමතක නොවෙන විශේෂ සිදුවීම් නැතුවම නෙමෙයි. එකක් මතක් කළොත්, සමරනායකගෙයි ශේන්ගෙයි ෆයිට් එක, අපි reasel කරගත්තට වඩා වැඩි වෙලාවක් අපිට fight කරන්න වුණා. අන්තිමට කරට උඩින් ශේන්ව වැටිලා පොඩ්ඩක් damage වෙලත් තිබුණා.


 සමරනායක කියන්නේ සටන් පුළුවන් කෙනෙක් කියලානේ කියන්නේ, එතකොට අරවින්දට සටන් ක්‍රම කීයක් පුළුවන් ද?


ඇත්තටම මම එහෙම ලොකු සටන් ශූරයෙක් නෙමෙයි. පාසල් කාලෙදි කරාතේ ක්‍රීඩාව ටිකක් හදාරල තියනවා. ඊට අමතරව ටවර් රඟහල පදනමේ නාට්‍ය හදාරන කාලෙ රංගනයට අවශ්‍ය සටන් ඉරියව්, චලන පුහුණුවෙලා තියනවා


කොහොමද මුලින්ම කලාවට සම්බන්ධ වෙන්නේ?


පාසල් යන කාලෙ ඉඳලම රංගනයට ආසාවක් තිබුණා. උසස් පෙළ කරන කාලෙ ටෙලි නාට්‍ය, චිත්‍රපට කීපයක රංගනයට පොඩි අවස්ථාවක් දෙකක් ලැබුණා. ඒ කාලෙම තමයි මම රංගනය ඉගෙන ගන්න ඕනෙ කියලා හිතුවෙ. ඊට පස්සෙ ටවර් හෝල් රඟහල පදනමේ නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමාව, අධ්‍යාපනවේදී නාට්‍ය හා රංගකලා උපාධිය අධ්‍යාපනපති උපාධිය දක්වා ඉගෙන ගත්තා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ මගෙ කලා ජීවිතයේ අමතක කළ නොහැකි ගුරුවරු කීපදෙනෙක් ඉන්නවා ඩග්ලස් සිරිවර්ධන, සමන් සොයිසා, සම්පත් පෙරේරා මේ ගුරුවරු තමයි මගෙ කලා ජීවිතේට පාර පෙන්නුවෙ


 සින්ධු හැරුණම සම්බන්ධ වුණු නිර්මාණ මොනවද?


මම වැඩිය හිටියෙ ගොඩක්ම ආදරේ කරන වේදිකාව එක්ක. බෙරහඬ, සක්කාය දිට්ඨි, බෝනිකි ගෙදර, මැටි කරත්තය, සුබ සැන්දෑවක්, බූමරංග වර්ශා ඇතුඵ දිගු හා කෙටි නාට්‍ය එක්ක තමයි වැඩියම ජීවිතේ ගෙවුණෙ. ඊට අමතරව facebook, කිරුළි, හීනයකි මේ ආදරේ, රොන් වගේ ටෙලි නාට්‍යවලත් common man, සිංහයා, හැට හතර මායම් ආදී සිනමාපට කීපයකටත් සම්බන්ධ වෙලා තියනවා.


 රංගනය හැරුණම ඔබ ගුරුවරයෙක්නේ. ඒ ගැනත් කිව්වොත්?


මම පනාගොඩ ශ්‍රී පරාක්‍රම මහා විද්‍යාලයේ නාට්‍ය හා රංගකලා ගුරුවරයෙක් විදියට ළමයි එක්ක ගත කරන කාලය ජීවිතේ ලස්සනම කාලයක්. පාසලේ විදුහල්පති මංජුල කරුණාරත්න සර් ඇතුළු කාර්ය මණ්ඩලයෙන්, කලා කටයුතු කරගෙන යන්න ලැබෙන්නෙත් ලොකු සහයෝගයක්. කලා ජීවිතය වගේම සතුටු වෙන්න පුඵවන් වෘත්තියක් ලැබීම ගැනත් තියන්නෙ ලොකු සතුටක්.


 පෞද්ගලික ජිවිතේ තොරතුරු කියමු නේද?


අතහැරපු තැන්වලදි වැටිච්ච තැන්වලදි මගෙ ළඟින්ම ඉඳලා මාව නැගිට්ටපු මගෙ අම්මා තාත්තා ගැනත් සහෝදරිය ගැනත් මතක් කරන්නම ඕනෙ.


මම රංගන කටයුතුවලින් ඈත්වෙලා හිටපු කාලයක් තිබුණා. ඒ කාලේ යන්න කියල කියල බැරිතැන “යන්නැත්තං අපි මෙහෙමවත් ටීවී එකෙන් බලන්නම්” කියලා අම්මලා මගෙ පොටෝ එකක් tv එකේ මුල්ලක අලවගෙනත් හිටියා. මම ආපු ගමනෙ හැම ගෞරවයක්ම එයාලටත් හිමිවෙන්නම ඕනෙ. අනික මගෙ බිරියගෙන් හා එයාලගෙ පවුලේ අයගෙනුත් මට ලැබෙන්නෙ ලොකු සහයෝගයක්.


 ආදරණීය බිරියගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


බිරිය, චන්දි මධුභාෂිනී, එයත් වෘත්තියෙන් නර්තන ගුරුවරියක්. වෘත්තීය කටයුතුත් කරගෙන මගෙ පෙරපාසල් යන දඟකාරයා ආශුත් බලාගෙන මගේ කලා කටයුතු නිදහසේ කරන්න ඉඩ හදල දෙන එකම ලොකු සහයෝගයක්.


 ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


මේ අවුරුද්දත් වේදිකාවෙන්ම පටන් ගන්න ලැබිච්ච එක ගැන සතුටුයි. මැක්සිම් ගෝර්කිගෙ “අම්මා” නවකතාව ඇසුරින් නිර්මාණය වන ආචාර්ය සමන් සොයිසා සර් නිර්මාණය කරන Mother of heart වේදිකා නාට්‍යය ඇතුළු නාට්‍ය කීපයක පුහුණුවීම් ආරම්භ වීමට නියමිතයි. ටෙලි නාට්‍යක් හා චිත්‍රපටයකටත් ආරාධනාවක් ලැබිලා තියනවා. බලමු ඉදිරියෙදි ප්‍රේක්ෂකයන්ට දෙන්න පුළුවන් උපරිම දේ දෙනවා.


 දිගටම රඟපාන්න ද කැමැත්ත…?


ඔව්, හැබැයි රංගනයට අමතරම මම වේදිකා නාට්‍ය කීපයක අංගරචනය කරනවා. පසුතල නිර්මාණය කරනවා.


 අනුෂා රණසිංහ



Previous Post Next Post