දසුන් පතිරණ රංගනයෙන් දායක වන ඕනෑම නිර්මාණයක් ප්‍රේක්ෂකයා ආදරයෙන් වැලඳ ගන්නවා යැයි කීම අතිශයෝක්තියක් නොවේ. ජාතික රූපවාහිනී නාළිකාවේ විකාශය වන ඩබ්ලිව්. රවීන්ද්‍ර අධ්‍යක්ෂණය කරන SEAසෝ ටෙලි නිර්මාණය සහ අරුණ අබේරත්නගේ හේමලයෝ ටෙලි නිර්මාණය ඔස්සේ එකිනෙකට වෙනස් චරිත ද්විත්වයකින් මේ දිනවල ඔහු ඔබ හමුවට එයි. සිනමාවටත් වඩා මේ දිනවල ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයෙහි කාර්යබහුල චරිතයක් වී සිටින ඔහු කලාව සිය දිවියේ පළමු තැන කොට සලකන රංගන ශිල්පියෙකි. තමන් දායක වන ඕනෑම නිර්මාණයකට උපරිම සාධාරණයක් ඉටුකිරීමට නිරතුරුවම වෙහෙසෙන ඔහු තම හැකියාව මුදල් මතම තක්සේරු කරන්නකු නොවන බව බොහෝ දෙනා දන්නා කරුණකි. මහේන්ද්‍ර පෙරේරාගේ ගුරුහරුකම් ඇසුරේ ක්ෂේත්‍රයට පිවිසි දසුන් දායක වන ඕනෑම නිර්මාණයක් හොඳ නිර්මාණයක් ලෙස නිගමනය කිරීමට ප්‍රේක්ෂකයා ද මේ වන විට පෙලඹී සිටියි. අද අපේ කතාබහට එක්වන්නේ සීමා මායිම් නොතකා රංගනයේ යෙදෙන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පී දසුන් පතිරණයි.
දසුන් මේ දවස්වල පුංචි තිරයේ අතිශයින්ම කාර්යබහුල චරිතයක් වෙලා නේද?
ඇත්තටම ඔව්. පහුගිය දවස්වල දවස් 25ක් එක දිගටම ඩෙල්ෆ් දූපතේ රූගත කිරීමකට සම්බන්ධ වෙලා හිටියා. ලලිත් රත්නායකගේ නවතම ටෙලි නිර්මාණය. ඒකත් හරිම ලස්සන අත්දැකීමක්. සම්පූර්ණයෙන්ම රූපගත කළේ ඩෙල්ෆ් දූපතේ. ඊට අමතරව මේ දවස්වල ජාතික රූපවාහිනියේ නිර්මාණ දෙකක් විකාශය වෙනවා. එකක් ඩබ්ලිව්. රවීන්ද්‍රගේ ‘SEAසෝ’. ඒක වැල්ලේ සිදුවීම් ටිකක් පාදක කරගත්ත නිර්මාණයක්. අනිත් එක අරුණ අබේරත්නගේ ‘හේමලයෝ’. ඒක වෙනස්ම ශානරයක්. ඊට අමතරව දිනේෂ් හග්ගල්ලගේ ‘මාව මතකද’ ටෙලි නිර්මාණයේ ෂූටින් කෙරීගෙන යනවා. උදාරිත් එක්ක කරන වැඩක්. ඒ වගේම ධනුෂ්ක රේමන්ගේ තවත් අලුත් නිර්මාණයකට ආරාධනා ලැබිල තියෙනවා. මේ සියල්ල එක්ක ටෙලි තිරයේ මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ.
දසුන් සම්බන්ධ වෙන ගොඩක් නිර්මාණ මුහුදත් එක්ක සම්බන්ධයි. මුහුද කියන්නෙ දසුන්ට ගොඩක්ම සමීප අත්දැකීමක් නේද?
ඇත්තටම මුහුද කියන්නෙ මගේ ජීවිතේට පුදුමාකාර විදිහට බැඳුණු තැනක්. මාත් මුහුදට හරිම කැමතියි. නිකන් හරි මං නළුවෙක් නොවුණා නම් අනිවාර්‍යයෙන්ම මං මුහුද ගාවම ජීවත් වේවි. ඒකයි මං නිතරම කියන්නෙ මුහුද මගේ පස්සෙන් එනවා කියලා. මං සම්බන්ධ වුණු ගොඩක් නිර්මාණ මුහුදත් එක්ක බැඳුණු ඒවා.
‘SEAසෝ’ මේ දිනවල ගොඩක්ම ජනප්‍රිය ටෙලි නිර්මාණයක්. ඔස්කාර් ගැන මොකද හිතෙන්නේ?
‘SEAසෝ’ කියන්නේ වැල්ලේ කතාවක්. මුහුද ආශ්‍රිතව ෂූට් කෙරුණු ඩබ්ලිව්. රවීන්ද්‍රගේ නිර්මාණයක්. මේ දවස්වල ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඔස්කාර් කියන්නේ ටිකක් සෙල්ලක්කාර, පොඩි හීනෙක ජීවත්වෙන ධීවර තරුණයෙක්. මම, කළණ, ආනන්ද කුමාර උන්නැහේ, ප්‍රදීප් රාමවික්‍රම, මල්කාන්ති ජයසිංහ, දිල්කි හංසිකා ඇතුළු දක්ෂ පිරිසක් රංගනයෙන් දායක වෙනවා. ෂූටින් ඉවරවෙලා එද්දි කොහොමහරි අපිත් නියම මාළුකාරයෝ තමයි.
‘හේමලයෝ’ නමත් ටිකක් අමුතුයි. ප්‍රේක්ෂකයන්ටත් කුතුහලය ගෙන එන ටෙලි නිර්මාණයක් කිව්වත් හරි. කොහොමද ඒ අත්දැකීම?
‘හේමලයෝ’අරුණ අබේරත්නගේ වැඩක්. තිර පිටපත ලාල් වසන්තගේ. ඒක වෙනමම ශානරයක්. ටිකක් ට්‍රිලර් ටයිප් එකට යන වැඩක්. සුරංග කියන්නේ සියල්ල නැති වෙලා තියෙද්දිත් ජීවිතේ ගැට ගහගන්න හදන කොල්ලෙක්. මම, සමනලී ෆොන්සේකා, ප්‍රියන්ත සිරිකුමාර, චතුර ඇතුළු විශාල පිරිසක් දායක වෙනවා. ඒක වෙනමම වර්ෂන් එකක වැඩක් කිව්වත් හරි.
ඩෙල්ෆ් දූපතේ ලබපු අත්දැකීම ගැන කතා කළොත්?
ඒක නම් හරියට වෙනම රටකට ගියා වගේ හැඟීමක්. ලලිත් රත්නායක කියන්නේ සියුම්ව හැඟීම් ග්‍රහණය කරගන්න දක්ෂ නිර්මාණකරුවෙක්. ඔහු මට මුලින්ම හමුවෙන්නේ තාත්තා ටෙලි නිර්මාණයේ දී. ඇත්තටම ඔහු දක්ෂයෙක් කියලා මං තේරුම් ගත්තේ එදා. මගේ තුන්හිතකවත් නොතිබුණු තාත්තා කෙනෙක් වෙන්න ඕන කියන හැඟීම මට ඇති කළේ ඔහු. මෙවර ඩෙල්ෆ් දූපතේ රූගත කෙරුණු ටෙලි නිර්මාණය කොටස් 35ක විතර එකක්. ඒක වෙනමම අත්දැකීමක්. මම, සජිත ඇන්තනී, සමනලී ෆොන්සේකා, උමා අසෙනි, සේවියර් කනිෂ්ක ඇතුළු විශාල පිරිසක් රංගනයෙන් දායක වුණා. ලංකාවේ ජනතාවගෙන් 95%ක් විතරම ඩෙල්ෆ්වලට ගිහින් නෑ. රංගන ශිල්පියෙක් විදිහට මට ඒ අවස්ථාව ලැබුණා. මිනිස්සු 3000ක් විතර ජීවත් වෙනවා. දමිළ භාෂාව කතා කරන වෙනමම සංස්කෘතියක් තියෙන්නේ. කරන්ට් එක සම්පූර්ණයෙන්ම දෙන්නේ ජෙනරේටර්වලින්. BOC බෑන්ක් එකක් විතරයි තියෙන්නේ. ලන්දේසි යුගයේ නටබුන් තාමත් තියෙනවා. ඔවුන්ගේ අශ්වයෝ, බළකොටු, උසාවි තාමත් තියෙනවා. ඒ දේවල් අපේ සීන්වලට පුළුවන් තරම් කැප්චර් කළා. කෝමාරිකා වෙරළ, කිංස් ටවර් එක පුදුම ලස්සනයි. හරියට පාරාදීසයක් වගේ. ඒ ගැන ගොඩක් අය දන්නෙ නෑ. නයනතිව්, අන්නතිව් දූපත් තියෙන්නෙත් ඒ ආසන්නයේ. අනිවාර්යයෙන්ම නැරඹිය යුතු තැනක්.
මේ දවස්වල ඔබ සිනමාවේ දකින්න නැති තරම්?
මේ දවස්වල සිනමාවට ලොකුවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණෙ නෑ. අරුණ ජයවර්ධනගේ මාරියා සිනමාපටය මේ වසරේ තිරගත වෙන්න තියෙනවා. මාරියා ජාත්‍යන්තරයේ අවධානයට ලක්වුණු ජාත්‍යන්තර සම්මාන රැසක් හිමිකරගත් නිර්මාණයක්. සම්පූර්ණයෙන්ම රූගත කෙරුණේ මුහුද ආශ්‍රිතව. ඒක වෙනස්ම ප්ලොට් එකක්. දවස් 25ක් ෂූට් කළා. අපි දවස් 10ක් සම්පූර්ණයෙන්ම මුහුදේ ගත කළේ. හේමාල් රණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරිකුමාර සමඟ මම රංගනයෙන් දායක වුණා. ඒක වෙනස්ම අත්දැකීමක් විදිහට ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයින්ට විඳගන්න පුළුවන් වේවි.
දසුන් සෝෂල් මීඩියාවල සැරිසරන චරිතයක් නෙවෙයි නේද?
මං සෝෂල් මීඩියා එක්ක ගනුදෙනු කරන කෙනෙක් නෙවෙයි. මං වැඩකට ගියා වුණත් ෆෝන් එකවත් පාවිච්චි කරන්නෙ නෑ. පහුගිය ටිකේ ඩෙල්ෆ් දූපතේ ගත කරපු දවස් 25න් දවස් හතරක් පහක් වෙන්න ඇති මං වයිෆ්ට වුණත් කතා කරලා ඇත්තේ. ඇත්තම කතාව කිව්වොත් වැඩකට ගියහම මං ඒකෙම ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා බාහිර දේවල් ඔක්කොම මට අමතක වෙනවා. මං භාරගත්ත වැඩේ හරියටම කරන්න විතරයි මට ඕන.
දසුන් පතිරණ කියන්නෙ රංගනයේදී සීමා මායිම් නැති නළුවෙක් කියන කතාව ඇත්තද?
ඒක ඇත්ත. නළුවෙක් විදිහට මම නිර්මාණයට අදාළ ඕනම දෙයක් කරනවා. ඒ නිසා තමයි මං මගේ ලයිෆ් එකේ අංක එක කලාවට දීල තියෙන්නෙ. මගේ ෆැමිලි ලයිෆ් එක වුණත් අංක දෙකේ තියෙන්නේ.
ෆැමිලි ලයිෆ් එකට දෙවැනි තැන ලැබෙද්දි බිරිය හංසිගෙන් ගැටලුවක් වෙලා නැද්ද?
කොහෙත්ම නැහැ. ඇගෙන් පුදුමාකාර සහයෝගයක් ලැබෙනවා. ඒක නම් කියල වැඩක් නෑ. අපි දෙන්න අතර හොඳ කොමිනිකේෂන් එකක් වගේම හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. ඒ නිසාම වෙන්න ඇති අපි මේ තරම් දුරක් ආවෙත්.
ඔබව දරාගෙන ඔබ පසුපසම ඉන්න ඇය හමුවුණු විදිහත් කියමු?
ඒක නම් දැන් මුළු ලෝකෙම වගේ දන්නවා. අපි හමුවෙන්නේ මීට අවුරුදු දොළහකට කලින් ෆේස්බුක් එකෙන්. ඒ කාලෙ එයා හිටියේ ස්වීඩන්වල. දැන් අපිට දරුවන් දෙන්නෙකුත් ඉන්නවා. මං මොන චරිතෙ කළත් ඒක ඇයට ගැටලුවක් නෙවෙයි. සමහරවිට ඒ ඇය ජීවත් වුණු විදිහ නිසා වෙන්න ඇති. ඇය හිතන විදිහ මට හරිම පහසුවක්.
දසුන්ගේ ක්ෂේත්‍රයට පිවිසීම සිදුවෙන්නේ වේදිකාව හරහා?
ඔව්. මං ෆිල්ම් බැලුවට කවදාවත් රංගනයට එන්න හිතපු කෙනෙක් නෙවෙයි. 2004 වසරේ මහේන්ද්‍ර පෙරේරාගේ හමුවීම තමයි මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. ඒක මගේ දෙවනි උපත කිව්වත් වරදක් නැහැ. ඒ වෙද්දි මං මහේන්ද්‍ර පෙරේරා රඟපෑ ‘මිල්ලෙ සොයා’ සිනමාපටයේ ඔහුගේ රංගනයට පිස්සු වැටිලා හිටියේ. ඒක නම් මට කොච්චර බැලුවත් මදි. මේ වෙද්දි මං ඒක තිස්පස් වතාවක් විතර බලල ඇති. ඉස්කෝලෙ ගිහින් ඉවරවුණු ගමන්ම කම්පියුටර් කෝස් එකක් කළා. හොටෙල් කෝස් එකක් කළා. ඒත් මට රංගනයට එන්න ඕන කියන අදහසක් තිබුණෙ නෑ. අපේ මාමා කෙනෙක් මාව චෙෆ් කෙනෙක් විදිහට හොටෙල් එකකට දාන්න කතා කරගෙනත් තිබුණෙ. මගේ ඒ චෙෆ් ඉලක්කයට යන්න දවස් දෙකකට කලින් මං ටීවී එකේ ඩ්‍රාමා එකක් බලනවා. ඒකෙ රංගනයෙන් දායක වුණු ශිල්පීන් අරන් තිබුණෙ මහේන්ද්‍ර පෙරේරාගේ ඇකඩමියෙන්. එදා තමයි මගේ ජීවිතේ කලාව පැත්තට හැරුණු ටර්නින් පොයින්ට් එක වුණේ. ඊට පස්සෙ චෙෆ්කම පැත්තකට දාලා මං මහේන්ද්‍ර පෙරේරාගෙ රංගන ඇකඩමියට සම්බන්ධ වුණා.
ඒ මගේ කලා ගමනේ ඇරැඹුව. ඒ හරහා පොඩි පොඩි රංගන අත්දැකීම් ලබන්න අවස්ථා ලැබුණා. ‘කෑල්ලක් දෙසිය පනහයි’ කියන වේදිකා නිර්මාණයෙන් බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා. ඊට පස්සේ තථාගත, හිමකුමාරි වගේ වේදිකා නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඊටත් පස්සේ තමයි සිනමාවට පිවිසෙන්නේ. ඒ අතරේ ටෙලි නිර්මාණවලටත් ආරාධනා ලැබුණා. මේ වෙද්දි සිනමාපට 15කට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. ටෙලි නිර්මාණ අටකට දහයකට වගේ සම්බන්ධ වෙලා තියෙනවා. ගොඩක් නිර්මාණවලට සම්බන්ධ නොවුණත් මං සම්බන්ධ වුණු හැම නිර්මාණයක්ම ප්‍රේක්ෂකයන්ගේ මතකයේ රැඳෙන නිර්මාණ බවට පත්වීම සතුටට කාරණයක්.
පාසල් කාලේ දසුන් දඩබ්බර චරිතයක් කියන්නෙ ඇත්තද?
ඉස්කෝලෙ කාලෙ මං කොහොමත් බෑඩ් බෝයි. චරිත සහතිකයක් දෙන්න තරම්වත් ඉස්කෝලෙ මට පිළිගැනීමක් තිබුණෙ නෑ. තාමත් මං අස්වීමේ සහතිකය අරන් නෑ. සහතිකයක් කියලා තියෙන්නේ ඩාන්සින්වලටයි, ඩ්‍රාමාවලටයි විතරයි. ස්කූල් කට් කරනවා. ක්ලාස් කට් කරනවා. හැබැයි ඩාන්සින්, ඩ්‍රාමා පොත් දෙක ඕන වෙලාවක සාක්කුවේ තියෙනවා. ගණන් පීරියඩ් එකෙත් මං ඉන්නේ ඩාන්සින් රූම් එකේ. ඩාන්සින්වලින් වෙස් තියන තැනටම ආවා. බෑඩ් බෝයි නිසා තමයි ඒකත් මිස් වුණේ.
පතිරණ කන්කානම්ගේ චතුරංග දසුන් කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය වෙන්නේ දසුන් පතිරණ විදිහට. කොහොමද ඒ පරිවර්තනය සිදුවුණේ?
ඒක මම කරගත්ත දෙයක් නෙවෙයි. ඒ කාලේ පුබුදු චතුරංගත් හිටියෙ අපිත් එක්ක. දවසක් ඔහු කිව්වා උඹටත් චතුරංග කෑල්ලක් තියෙනවා මටත් තියෙනවා. ඒක අවුලක්. එහෙනම් උඹ දසුන් පතිරණ කියල පාවිච්චි කරපන්. මං පුබුදු චතුරංග කියලා පාවිච්චි කරන්නම් කිව්වා. මාත් දසුන් පතිරණ කියන නමට ආස වුණා. අන්තිමට ඒ නම තමයි ජනප්‍රිය වුණේ.