විවාහ සංවත්සරය සමරන්න ඔස්ට්‍රේලියාවට ගිය මධූ නිත්‍යානි නැවත ලංකාවට ආවෙ නැහැ. දැන් අවුරුදු අටක් වෙනව. නමුත් කලාව අතනොහැරපු ඇය ඒ අතරතුර නිර්මාණ තුනකට දායක වෙනව. ඔස්ට්‍රේලියාවේ ඉඳන් මධූ, ‘මීවිත’ එක්ක කතාබහකට එකතු වුණේ ලංකාවේ ඇයගේ රසිකයන් ආදරෙන් මතක්කරනගමන්.
මධූ, කොහොමද ජීවිතේ?
ම්ම්… හොඳින් සතුටින් ඉන්නව.
ඔස්ට්‍රේලියාවේ පදිංචියට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?
මම ඕස්ට්‍රේලියාවේ පදිංචියට ආවෙ 2017 අවුරුද්දෙ. අපේ විවාහ සංවත්සරය සමරන්න ඒ ආපු ගමනට මේ මාසයේ 16 වැනිදාට හරියටම අවුරුදු අටක් වෙනව.
ඕස්ට්‍රේලියාවේ ජීවිතය ගෙවෙන්නෙ මොන විදිහටද?
මම මෙහේ ගතකරන්නෙ හරිම බිසී ලයිෆ් එකක්. හරියටම කිව්වොත් නන්ස්ටොප් දුවන්නයි තියෙන්නෙ. මොකද මම රැකියාවන් දෙකක් කරනව. උදේ වරුවෙ මම මෙහේ ළදරු පාසලක (සෙන්ටර් මැනේජර්) තනතුරක වැඩකරනව. ලංකාවෙ විදිහට ගත්තොත් විදුහල්පති තනතුරක් වගේ. මගේ යටතේ ගුරුවරු හත්දෙනෙක් වැඩකරනව. නයිට් ටයිම් එකට රෙස්ටුරන්ට් එකක චෙෆ් කෙනෙක් හැටියට වැඩකරනව. ඒ ජොබ් දෙක ඉවරවෙලා ගෙදර ආවම ගෘහණියගෙ රාජකාරිය. ඉතිං හරිම බිසී.
‘චාරුලතා’ දැන් ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ
නැවත ලංකාවට එන්න අදහසක් නැද්ද?
ලංකාව කිව්වොත් මට ඊට වඩා දෙයක් නැහැ. ලංකාවට මම හරිම ආදරේ කෙනෙක්. නමුත් ලංකාවේ ඉන්න කාලෙ මට හිතුණා, දැන් ලංකාවෙ හිටිය ඇති, පිටරටකට ගිහින් හොඳට ඉගෙනගන්න ඕන, හොඳ ජොබ් එකක් කරන්න ඕන, පිටරටක ඉන්න ආසයි වගේ දේවල්. දැන් ඒකෙ අනෙක් පැත්ත. මම වගේම මේ රටවල ඉන්න බොහෝදෙනෙක් ඒක අත්විඳිනව. මේ රටේ ජීවත්වෙන්න ගත්තට පස්සෙ අපිට හිතෙන්නෙ දැන් මෙහේ හිටිය ඇති ලංකාවට යන්න ඕන, වැකේෂන් යන්නෙ කවදද කියල ඇඟිලි ගැන ගැන ඉන්නෙ. ඒ වුණාට ඉතිං දැන් අපි දෙන්නටම ස්ථාවර රැකියා තියෙනව. ආර්ථික අතින් ශක්තිමත්. මේ රටේ රැඳී ඉන්න අපිට තියෙන එකම හේතුතමයි ඒ. අපි මෙහේ හිටියට අපේ හැම බැඳීමක්ම තියෙන්නෙ ලංකාවෙ. ලංකාව තමයි හැම වෙලාවෙම එක.
ඇයි ලංකාවෙන් යන්න හිතුනෙ?
ලංකාවෙදි මම කළේ ගුරු වෘත්තිය. ඒ අතරතුර තමයි රඟපෑවෙ. මගේ වෘත්තියෙන් ඉදිරියට යන්න නම් තවදුරටත් මගේ දැනුම වැඩිකරගන්න ඕන, ඒ වෙනුවෙන් සුදුසුකම් එකතුකරගන්න ඕන කියල. මගේ අම්මත් කැමති වුණේ මම රඟපෑමේ ඉදිරියට යනව දකිනවට වඩා ගුරු වෘත්තියෙන් ඉදිරියට යනව දකින්න. ඒ අනුව උසස් අධ්‍යාපනයෙන් ඉදිරියට යන්නයි මම ඕස්ට්‍රේලියාව තෝරාගන්නෙ. ඒ කටයුතු අවසන් වෙලා නැවත ලංකාවට එන්න තමයි මගේ අදහස තිබුණෙ. අවසානයේ මට නතර වෙන්න සිදු වුණා.
‘සිහින වසන්තයක්’, අද මොන වගේ මතකයක්ද?
ඒ මගේ පළමු ටෙලි නාට්‍යය. එදා අතීතයට අද යනකොට දැනෙන්නෙ හරිම සුන්දර බවක්. හරිම සැහැල්ලුවෙන්, සතුටින්, ජීවිතයට අලුත් අත්දැකීම් ලබමින්, අලුත් අභියෝගයන්ට මුහුණදෙමින් ගතකළ කාලයක්. ‘සිහින වසන්තයක්’ ටෙලි නාට්‍යයේදී මං එක්ක වැඩකළ හැමදෙනාටම ස්තූතිවන්ත වෙන්න මම මේක අවස්ථාවක් කරගන්නව. එයාලව ආදරෙන් මතක් කරනව.
එදා ඔබත් සමග සිටි අය කවුද?
මම මේ නාට්‍යයට සම්බන්ධ වුණේ නවකයෙක් හැටියට. නිරෝෂන් අයියා, කාංචනා මෙන්ඩිස්, සචිනි අයේන්ද්‍රා වගේ කලා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් එක්ක තමයි එදා මට වැඩකරන්න ලැබුණෙ.
එහිදී මම වඩාත් සතුටු වුණේ ටෙලියෙ අවසන් කොටස රූගත කරන දවසෙ.
‘ගැහැනු ළමයි’ ටෙලි නාට්‍යයේ චාරුලතා නිසා වඩාත් ජනප්‍රිය වුණා කිව්වොත්?
ඔව්, ඒ කතාව හරි. ‘ගැහැනු ළමයි’ ටෙලි නාට්‍යය විකාශය වෙන්න පටන්ගත්ත දවසෙ ඉඳන්ම ප්‍රේක්‍ෂකයන් අතරට ගියා වගේම ඔවුන් ආදරෙන් වැලඳ ගත්තා. ඒ අනුව ජනප්‍රිය නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබුණ නිසා මටත් වාසනාවක් ලැබුණා ප්‍රේක්‍ෂකයන් අතරට යන්න, ඔවුන්ගේ ආකර්ෂණය ලබාගන්න. ඒ නිසා චාරුලතාව හරිම ආදරෙන් මතක්කරනව.
අනෙකුත් නාට්‍ය අතරින් ඔබට විශේෂ වූ නිර්මාණයක් තියෙනවද?
ඔව්, මුලින්ම නාලන් මෙන්ඩිස් මහත්මයාව විශේෂයෙන්ම මතක් කරන්න ඕන. එතුමා මගේ නිර්මාණ දැකල එතුමාගේ ‘ඔබ කවුද’ කියන ටෙලි නාට්‍යයට මට කතා කළා. එහිදී මම ජගත් චමිල අයියගෙ පෙම්වතියගේ චරිතය නිරූපණය කළේ. ඒක ගොඩක් ප්‍රේක්‍ෂකයන් අතරට ගියා වගේම ඔවුන් ඒ චරිතයේ ජීවත් වුණා. මට මතකයි පාරෙ යනකොට සමහර අය මට බැණල තියෙනව.
ලංකාවෙ යාළුවො මගහැරිලද?
නැහැ… නැහැ… ඒ කාලෙ තිබුණ යාළුකම්, බැඳීම් අදටත් එහෙම ම තියෙනව.
පාසල් කාලයේ ආදර කතාව විවාහයකින්ම කෙළවර වුණා?
ඔව්, ඒක හරිම යුනික් කතාවක්. අපි දෙන්න පෙරපාසල් ගියේ එකට. එතකොට අපිට අවුරුදු දෙකහමාරයි. එක දවසක් හරිම දෛවෝපගත සිදුවීමක් වුණා. ඔහුගෙ උන්දිනයක් දවසෙ කේක් එකක් ගෙනැත් යාළුවොත් එක්ක එකතුවෙලා කේක් එක කපනව. එයාට එහාපැත්තෙ ඉන්නෙ මම. කේක් එක කපල එයා මුල්ම කෑල්ල කවන්නෙත් මට. අද ඒ ෆෝටෝ එක දැක්කම පුදුම හිතෙනව. ඒ ගමන සාමාන්‍ය පෙළ දක්වාම අපි එකට ඉන්නව. ඒ අතරතුර නවය වසරෙදි යාළුකම ආදරයකට පෙරළෙනව. ඒ මගේ පළමු සහ අවසන් ආදරය. අද ඔහු මගේ සැමියා විදිහට මගේ ළඟින් ඉන්නව. අදට ඒ ආදර කතාවට අවුරුදු විසි දෙකක්.
රඟපෑමට ඔහුගෙ විරුද්ධත්වයක් නැද්ද?
රඟපෑම ගැන මහත්තයගෙ විරුද්ධත්වයක් හෝ තහංචියක් නැහැ. ඒ කාලෙ ෂූටිං යද්දි මගේ අම්ම වගේම ඔහු තමයි මාව ඒ ගොඩක් තැන්වලට එක්කගෙන ගියේ.
ඔස්ට්‍රේලියා ගමනෙන් පස්සෙ ඔබ දායක වුණ නිර්මාණ මොනවාද?
මෙහෙට ආවට පස්සෙ මම නිරාශා ටෙලි නාට්‍යයට, පෝදා ටෙලියකට වගේම වේදිකා නාට්‍යයකටත් සම්බන්ධ වුණා. ඉදිරියේදී ඔස්ට්‍රේලියාවේ රූගතකිරීම් කරන චිත්‍රපටයකට, ටෙලි නාට්‍යයකට වගේම වේදිකා නාට්‍යයකටත් ආරාධනා ලැබිල තියෙනව.
මහේෂ් එදිරිසිංහ