කියන්න බැරි තරමට කැපිලි කෙටිලි තියෙනවා-සවිනි යකුපිටිය

 



මාස්ටර් සර් කියන්නේ මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වන ටෙලි නාට්‍යයක්. ටෙලි නාට්‍යයේ වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ අසිනි. අසිනි චරිතය නිරූපණය කරන්නේ නවක ජනප්‍රිය රංගන ශිල්පිනි සවිනි යකුපිටිය. ඇයට ලැබෙන දැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාම අද  ඇය වෙනුවෙන් ඉඩ හසර වෙන් කරන්නට අමතක කළේ නැහැ.




කොහොමද මේ දිනවල වැඩකටයුතු ?




මේ දවස්වල මාස්ටර් සර් ටෙලිනාට්‍යයේ රංගන කටයුතු සමග තමයි වැඩකටයුතු කරගෙන යන්නේ.




මාස්ටර් සර්හි සවිනිගේ චරිතය වැඩි කතා බහට ලක්වෙලා නේද?




මාස්ටර් සර් ඩ්‍රාමා එක ආරම්භ වෙලා දැනට සති දෙකක් විතර ඇති. හතරවෙනි එපිසෝඩ් එක විකාශය වීමත් සමග මාර අමුතු විධියේ ප්‍රතිචාර ලැබෙන්න පටන් ගත්තා. ඒ වෛරල් වුණු විඩියෝ එක සමාජය වැරැදි විධියට තේරුම් අරන් වැරැදි මතවාදයක් අද වෙද්දි ගොඩ නැඟිලා තිබෙනවා. ඔවුන්ට ඒ විඩියො එකෙන් පෙනෙන්නේ පිටින් කෙනෙක් ඇවිල්ලා ඒ සර්ව බදා ගන්නවා කියන එක විතරයි. එහෙම වෙන්න හේතුවක් තියනවා සහ එයින් ළමයින්ට ගන්න ආදර්ශ ගොඩක් තිබෙනවා. ඒ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව මිනිස්සු ඒක තව තවත් වැරැදි දෙයක් විධියටම කතා කරනවා.




සවිනි මේ ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?




මම මුලින්ම වෙළෙඳ දැන්වීම්වලට තමයි සම්බන්ධ වෙන්නේ. ඊට පසුව තමයි ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබුණේ. මම ගැන ප්‍රේක්ෂකයා කතා කරන්නේ හිත ළඟ හිනැහුණා ටෙලිනාට්‍යය තුළින්. ඊට පසුවයි ලොක්කි ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්නේ. ඊට අමතරව අළුපාට දේදුණු ටෙලිනාට්‍යයටත් සම්බන්ධ වුණා. ප්‍රධාන චරිතය නිරූපණය කළ ටෙලිනාට්‍යයක් ඉදිරියේදි එන්නට නියමිතයි. අවසානෙට තමයි මාස්ටර් සර් ඩ්‍රාමා එකට සම්බන්ධ වෙන්නේ.




කෙටි කාලයකින් ලැබුණු ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?




කෙටිකාලයකින් මට ජනප්‍රියත්වයක් ලැබුණා කියන්න බැහැ. මොකද මම ක්ෂේත්‍රයට එන්නේ 2021 වර්ෂයේ. ඒ හිතළඟ හිනැහුණා ටෙලිනාට්‍යයෙන් . . ඒ ඩ්‍රාමා එක ඉවර වෙලා අවුරුදු එකහමාරක් විතර වුණත් එයින් ලැබුණු ජනප්‍රියත්වය තවම අඩුවක් නැහැ. දැන් මාස්ටර් සර් නිසා ඒ ජනප්‍රියත්වය තව වැඩිවෙලා තිබෙනවා.




සවිනි වෘත්තීය වශයෙන් රංගන ශිල්පිනියක්ද?




ඔව් මම මේ වෙද්දි වෘත්තීය වශයෙන් රංගන ශිල්පිනියක් .




අද ක්ෂේත්‍රය තුළ නවකයෙක්ට හිමි තැන පිළිබඳ නවකයෙක් විධියට ඔබේ අදහස කොහොමද?




දැන් ක්ෂේත්‍රය තුළ ලොකු තරගකාරීත්වයක් තිබෙනවා. ක්ෂේත්‍රයට ඇතුළු වෙන්න තිබෙන ඉඩ ප්‍රමාණයත් ගොඩක් වැඩියි. සමාජ මාධ්‍යය ටික්ටොක් තුළින් ගොඩක් අය මේ ෆීල්ඩ් එකට එනවා. බොහෝෆ අය අවුරුදු කුමාරි තරග පවත්වලා ඒ දේවල්වලිනුත් ෆීල්ඩ් එකට එනවා. එහෙම බැලුවොත් සෑම අතකින්ම කෙනෙකුට ෆීල්ඩ් එකට එන්න තිබෙන මාර්ග වැඩියි. නමුත් රඳා පැවැත්ම කියන දෙය අඩුයි. රඳාපැවැත්ම තීරණය වෙන්නේ තමන් කරන වැඩ ප්‍රමාණය, හැකියාව සහ තමන්ගේ පර්සනලිටි එක මතයි.










ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහය පිළිබඳ ඔබේ මතය කතා කළොත්?




ප්‍රවීණයන් කියන්නේ ඇත්තටම අපිට දේවල් ඉගෙන ගන්න ඉන්න අය. මම කරපු හැම ඩ්‍රාමා එකකම වගේ මට ප්‍රවීණයෝ හමුවෙලා තිබෙනවා. ඔවුන් ඇත්තටම අපිට ලොකු සහයෝගයක් දෙනවා. අඩුපාඩු කියලා දෙනවා. අඩුපාඩු හදනවා. සීන් එකට යන්න කළින් රියසල්ස් කරනවා. ඔවුන් සමග අපිට වැඩ කරන්න පුළුවන්. ඔවුන්ගෙන් අපිට අත්දැකීම් ගන්න තිබෙනවා.








සවිනිට එන කැපිලි කෙටිලිවලට දක්වන ප්‍රතිචාර කොයි වගේද?




කැපිලි කෙටිලිනම් කියන්න බැරි තරම් තියෙනවා. මම ෆීල්ඩ් එකට එන්න උත්සහ කරන කාලේ ඉඳන්ම සහ ආපු පළමුවෙනි දවසේ ඉඳන්ම කැපිලි කෙටිලිනම් එමටයි. අපි ඒ වෙලාවට කොච්චර හිතින් ශක්තිමත් වෙලා හිටියත් සමහර සිටුවේශන් දරා ගන්න අමාරුයි. මට විරුද්ධව කවුරු හරි හිටියොත් ආ එයාට පේන්න මම මේ දේවල් කරන්න ඕන කියලා හිතලා මම ආයේ නැගිටිනවා. ප්‍රතික්ෂේප වීම් ගොඩක් තිබුණත් ඒ දේවල් මම අවස්ථාවක් කරගෙන තව අඩියක් ඉස්සරහට තියනවා. ප්‍රතික්ෂේප වීම් සහ කැපිලිකෙටිලි මාව තව තවත් ශක්තිමත් කරනවා.




චරිතවල වගේම සවිනි ඇත්ත ජිවිතේත් අහිංසක කෙනෙක්ද?




අනිවාර්යයෙන්ම. ගොඩක්ම ටෙලිනාට්‍යයන් තුළින් පෙන්වන චරිතවලට වඩා මම ඇත්ත ජිවිතේ ගොඩක්ම අහිංසකයි. ගොඩක් සංවේදියි. ඒ නිසා ගොඩක් ඉක්මන්ට දුක හිතෙනවා සහ පොඩ්ඩක් තරහත් යනවා. නමුත් පොඩි වෙලාවයි. ඒ අහිංසක කම නිසා පරාර්ථකාමී වෙලා ප්‍රශ්නවලට මුහුණ දීපු අවස්ථාත් තියෙනවා.








පවුලෙන් ලැබෙන සහයෝගය කතා කළොත්?




මගේ පවුලේ අක්කා අම්මා සහ අප්පච්චි තමයි ඉන්නේ. මගේ අප්පච්චි ඉන්නවා කියලා තමයි මම කියන්නේ. නමුත් ඔහු අපෙන් වෙන් වෙලා දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක්. කොතනකවත් ඔහු නෑ කියලා කියන්න මම කැමති නැහැ. ඉතින් අපි හතර දෙනාම ඉන්නවා. මම ෆීල්ඩ් එකට එන කාලයේ ගෙදරින් පොඩ්ඩක් අකැමැති වුණත් දැන්නම් උපරිම සහයෝගය ඔවුන්ගෙන් ලැබෙනවා.




Previous Post Next Post