අද එන අයගේ නම් හෙට අමතකයි කාලෙකට පස්සේ මැණිකේ කතා කරයි

 


ඇය මෙරට කලාවේ සම්පූර්ණ පරිච්ඡේදයක්ම තමන් සතු කරගන්නට සමත් වූ ශිල්පිනියකි. පාසල් වේදිකාවෙන් ඇරැඹි ගමන තුළ කැලණි පාලම තරණය කරමින්, සමුද්‍ර දේවි දැක බලා ගනිමින්, පළිඟු මැණිකේද හමුවී රාණි හරහා වෙනස්ම ප්‍රේක්ෂකයන් පිරිසක් ආකර්ෂණය කරගත් ඇය ගුවන්විදුලියේ පළමු ශ්‍රේණියේ ගායිකාවක් ලෙසින්ද කටයුතු කළාය. මෙරට කලාව තුළ ස්වර්ණමය සලකුණු රාශියක් සටහන් කළ ඇය ප්‍රවීණ අතිදක්ෂ රංගන ශිල්පිනී මැණිකේ අත්තනායකයි.


මේ දිනවල තොරතුරු කියලම කතාව පටන් ගමු?


විශේෂයක් නැහැ. විවේක සුවයෙන් ගෙදරට වෙලා ඉන්නවා. ඉඳලා හිටලා කලා කටයුතු සම්බන්ධ දේවල්වලටත් සහභාගි වෙනවා.


එවකට මෙරට කලාසූරි සම්මානය හිමිවුණු ළාබාලම කලාකාරිනිය ඔබ. ඒ මතකය  අවදි කළොත්?


ඇත්තටම මම සතුටු වෙනවා 1987 වර්ෂයේදී එවකට ඒ හිටපු අය අතරින් ළාබාලම කෙනා වුණු මට කලාසූරි සම්මානය හිමිවීම ගැන. ඒ වෙද්දී මම විවිධාකාර කලා කටයුතු රාශියකට සම්බන්ධ වෙලා හිටියේ. වේදිකාවේ, සිනමාවේ, රූපවාහිනියේ වගේම ගුවන්විදුලියේ පළමු ශ්‍රේණියේ ගායිකාවක් විධියටත් කටයුතු කළා. ඒ වගේම ඒ වන විට  පළිඟු මැණිකේ ටෙලි නාට්‍යය විකාශය වෙලා අවසන්. වේදිකා නාට්‍ය ගත්තොත් කැලණි පාලම, සමුද්‍රදේවි, දික්තල කාලගෝල වගේ නාට්‍ය රැසකට සම්බන්ධ වෙලා හිටියා. මේ දේවල් එක්ක තමයි මට කලාසූරි සම්මානය හිමිවුණේ.


මැණිකේ අත්තනායක කියන්නේ ලාංකේය කලාවේ වෙනම පරිච්ඡේදයක්.  අතීතයේදී ඒ ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර මතක් කළොත්?


මගේ ජීවිතයේ ඒ ගෙවුණු කාලය ඉතාමත් රසවත්. පාරට බැස්සත්, තැනකට ගියත් කට්ටිය වට කරගෙන කතා කරනවා. ගොඩක් වෙලාවට මැණිකේ අත්තනායක කියනවට වඩා කට්ටිය කතා කරන්නේ පළිඟු මැණිකේ කියලා. මම දන්නවා අදටත් ඒ ජනප්‍රියත්වය තිබෙනවා. ඒක මම ලබපු භාග්‍යයක්.


අද වෙද්දි පළිඟු මැණිකේ වගේ විශිෂ්ට ටෙලි නිර්මාණ බිහිවෙන ප්‍රමාණය අඩුයි. ඒ ගැන ඔබේ අදහස?


අඩුයි නෙවෙයි, එහෙම නිර්මාණ ඇත්තේම නැහැ. මම නිදහසේ ඉන්න වෙලාවට රූපවාහිනිය බලන්න හදනවා. ඒත් කිසිම නාලිකාවක බලන්න පුළුවන් ටෙලි නාට්‍යයක් නැහැ. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ පුදුම පසුබෑමක් තිබෙන්නේ. අනෙක් කාරණය ඒවාට යොදලා තිබෙන නම් ඇහුවමත් බලන එක එපා වෙනවා. අපේ සංස්කෘතියට ගැළපෙන නිර්මාණ කළාම ප්‍රේක්ෂකයෝ ඒවාට විශාල අගයක් දෙනවා. අපි ඒ කාලේ කළ නිර්මාණ අද පවා සිහි කරන්නේ ගෞරවයෙන්, ඒ ගෞරවය රැකගෙන ආපු ගමනේ විශාල පසුබෑමක් තිබෙනවා. දරුවෙක්ට වුණත් මේ නාට්‍ය හොඳයි මේක බලන්න පුතේ කියලා කියන්න තරම් නිර්මාණයක් නැහැ.


වර්තමාන රංගන ශිල්පීන් රංගනයට වඩා පෙනුමට මුල් තැන දෙන බවට චෝදනාවක් තිබෙනවා. මේ ගැන අදහස?


රූපලාවණ්‍ය කියන එක ඉස්මතු වෙලා ආවට පස්සේ ඕනෑම කෙනෙක් මුල්තැන දෙන්නේ රූපය හදාගන්න. එහි කිසිම වරදක් නැහැ. ගැහැනු වේවා පිරිමි වේවා ප්‍රසන්නව ඉන්න ඕනෑ. නමුත් එයට මුල් තැන දීම මම එතරම් අනුමත කරන්නේ නැහැ. මම දකින විධියට තමන්ට ස්වභාවධර්මයෙන් ලැබුණු දේවල් යම් තරමකට ඔපමට්ටම් කරගැනීම ප්‍රමාණවත්. මම එහෙමයි පුරුදු වුණේ. නමුත් මෙතැනදි වරද  රංගන හැකියාව ගැන සැලකිලිමත් නොවී


වෙනත් දේවල්වලින් ඉස්මතු වීමට උත්සාහ ගැනීම. රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් වුණාම වඩා වැදගත් වෙන්නේ තමා කළ රංගනය හා එයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේ දේවල්. නමුත් ඒ පිළිබඳව අවධානය නොදී රූපය විතරක් පවත්වගෙන හිටියට වැඩක් නැහැ. ඒක නෙවෙයි කලාකාරියක්ගෙන්, කලාකරුවෙක්ගෙන් බලාපොරොත්තු වන්නේ. රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් වුණාම මූලිකත්වය දෙන්න අවශ්‍ය රංගනයට.


රංගනය පිළිබඳව හැදෑරීමක් රහිතව මේ ක්ෂේත්‍රයට පය තබන අය ගැන ඔබේ අදහස?


අද කාලේ පුරුදු වෙලා තිබෙනවා නිකමට පෙනී හිටියත් නළුවෙක්, නිළියක් කියන්න. මම ඒවා බැහැර කරන්නේ නැහැ. තමන්ට හැකියාවක් තිබෙනවා නම් එයට අවස්ථාවක් ලැබිය යුතුයි. නමුත් අද කාලේ  බහුතරයක් රංගනය ගැන හැදෑරීමක් කරන්නේ නැහැ. අඩුගානේ පිටපතවත් සම්පූර්ණයෙන් කියවන්නේ නැහැ. අපි ඒ කාලේ පිටපත ලැබුණම දෙපාරක් විතර කියවලා  අපේ චරිතය ගැන විතරක් නෙවෙයි අපිට සම්බන්ධ අනෙක් චරිත ගැන වගේම, ඒ චරිතවලට අපේ චරිතයත් එක්ක තිබෙන සම්බන්ධය ගැනත් අවබෝධයක් ලබා ගන්නවා. ඒ වගේම ඒ ඒ කොටස්වලදී අපි පෙන්නන්න අවශ්‍ය වන හැඟීම ගැන පවා අවබෝධයක් ලබා ගන්නවා. නමුත් අද බහුතරය රංගනය පිළිබඳව හැදෑරීමක් කරනවා තබා තමා දායක වන චරිතය පිළිබඳවවත් නිසි අවබෝධයක් ලබා ගන්නේ නැහැ.


කලාවට ඔබේ සක්‍රිය දායකත්වය ලබා දුන් අවධියට වඩා අද වන විට නිර්මාණකරුවන් සහ නිර්මාණ විශාල ප්‍රමාණයක්  දකින්න තිබෙනවා. ඒ වෙනස දකින්නේ කොහොමද?


මම මේක කියන්නේ කිසිම පුද්ගලයෙක් සමඟ තරහකින් නෙවෙයි. නමුත් අද වෙද්දි නිර්මාණ කියලා දෙයක් දකින්න නැහැ. ඒ නිර්මාණ තුළ  මොකක් හෝ කරලා චරිත ටිකක් දාගෙන, දෙපිට කැපෙන වචන ටිකක් කියලා. චරිත අතර ඝට්ටනයක් ඇති කිරීම තමයි තිබෙන්නේ. සමහර නිර්මාණ දකිද්දි මට හිතෙනවා ඇයි මේ තත්ත්වයට පත් වුණේ කියලා. සමහර නිර්මාණකරුවන් එතරම් නිර්මාණාත්මකව නෙවෙයි වැඩ කරන්නේ.


ඉදිරියේදි නැවතත් කලා කටයුතුවලට දායක වීමේ බලාපොරොත්තුවක් තිබෙනවද?


වැඩවලට නම් කිසිම කෙනෙක්ගෙන් ආරාධනාවක් ලැබිලා නැහැ. කොච්චර වුණත් අපි කලාවට ආදරෙයි. කලාව රැකගන්න නම් එහි ක්‍රියාකාරීව ඉන්න ඕනෑ.නමුත් සෑහෙන කාලයකින් හොඳ නිර්මාණයකට දායක වෙන්න ලැබිලා නැහැ. ඒ ගැන හිතේ කනගාටුවක් තිබෙනවා. ඉදිරියේදීවත් ඒ සඳහා අවස්ථාවක් ලැබෙයිද කියන එකත් අවිනිශ්චිතයි. අද කාලේ දක්ෂ නිර්මාණකරුවන් ප්‍රමාණයත් අතළොස්සයි. අද කාලේ  බිහිවෙන ශිල්පීන්ගේ නම්වත්


සමහර වෙලාවට මතක හිටින්නේ නැහැ. අතීතය ගැන කතා කරද්දි මාලනී ෆොන්සේකා, රවින්ද්‍ර රන්දෙණිය, සිරිල් වික්‍රමගේ, ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම වගේ විශිෂ්ට ගණයේ ශිල්පීන්, ශිල්පිනියන් මේ ක්ෂේත්‍රයේ සලකුණක් තියලා තිබෙනවා. නමුත් අද එන අයගේ නම් හෙට වෙද්දි අමතකයි. මොකද එහෙම මතක හිටින්න තරම් දෙයක් ඔවුන් කරන්නේ නැහැ.


අවසන් වශයෙන් ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තිබෙන්නේ?


ඇත්තටම මගේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරය ඉතාමත් අගය කරනවා. ලංකාවේ හිටියත්, පිටරට ගියත් අපේ ලංකාවේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරයේ කිසිම අඩුවක් නැහැ. ඔවුන්ගේ ආදරයෙන් තමයි අපි ජීවත් වුණේ. වේදිකා නාට්‍යයක් කරද්දි ලැබෙන අත්පොළසන් හඬකින් පවා පුදුම ප්‍රාණයක් ලැබෙනවා. තව කොපමණ කාලයක් ගියත් ඔවුන්ගේ ආදරය මගේ මනසේ තිබෙනවා. එහෙම ආදරයක් ලබන්න මම විශාල භාග්‍යයක් කරලා තිබෙනවා.


අක්ෂි මාපා වීරසිංහ



Previous Post Next Post