නයිට්ස්” රටේ නම ගිය Band එකක් වෙනවා දකින්නයි ඕනෑ-තරිඳු නිර්මාණ

 



වර්තමානයේ නවක සංගීත කණ්ඩායම් අතරින් නයිට්ස් සංගීත කණ්ඩායම ඉතා කෙටි කාලයක් තුළ රසිකයන් අතර ජනප්‍රිය වුණේ ඔවුන්ගේ කැපවීම හා දක්ෂතාව මතයි. එකම සංගීත ශෛලියකට කොටු නොවුණු ඔවුන් ඔවුන්ගේ සංගීත චාරිකාව ගැන රසික ඔබත් සමඟ බෙදාහදා ගැනීමට සූදානම්. ඒ වෙනුවෙන් අද “හදගැස්ම” හා එක් වුණේ නයිට්ස් සංගීත කණ්ඩායමේ නායක තරිඳු නිර්මාණයි.


කොහොමද මේ දිනවල වැඩකටයුතු?


මේ දිනවල වැඩකටයුතු සාර්ථකව කරගෙන යනවා. බෑන්ඩ් එක මඟින් අලුත් නිර්මාණ කිහිපයක් කරන නිසා පුහුණු වීම් කටයුතුවල නිරත වෙලා ඉන්නවා. ඒ නිසා බෑන්ඩ් එකේ සාමාජිකයන් මේ දිනවල ටිකක් කාර්යබහුලයි.


බෑන්ඩ් එක අනුගමනය කරන සංගීත ශෛලිය ගැන කතා කරමුද?


බෑන්ඩ් එකේ සංගීත ශෛලිය එකම ශෛලියකට කොටුවෙලා නැහැ. අපි හැම ශෛලියකින්ම ගීත ගායනා කරනවා. ඉංග්‍රීසි ගීත, සිංහල ගීත, ක්ලැසික් ගීත වගේම වෙනත් භාෂාවල ගීතත් ගායනා කරනවා. බෑන්ඩ් එකේ සියලුම සාමාජිකයන් සංගීතය පිළිබඳ හොඳින් හදාරා තිබීමත් එයට විශේෂ හේතුවක්. සංගීත කණ්ඩායම ආරම්භ කරලා දැනට අවුරුදු දෙකහමාරක් වගේ කෙටි කාලයක් තමයි ගත වුණේ. ඒ කාලයේදී රසිකයන් තුළ ජනප්‍රිය වීමට සංගීත කණ්ඩායමේ සංගීත ශෛලියද හේතුවක් වුණා.


“නයිට් විත් නයිට්ස්” ප්‍රසංගය ගැනත් රසිකයන්ට කියමු?


බෑන්ඩ් එක ආරම්භ කළ පසු අපිම සංවිධානය කරපු ප්‍රථම ප්‍රසංගය තමයි “නයිට් විත් නයිට්ස්” කියන්නේ. ප්‍රසංගය සඳහා නමක් යොදා ගැනීමේදී අපි යම් අසීරුතාවකට මුහුණ දෙන්නත් සිදුවුණා. මොකද වර්තමානයේ ප්‍රසංග සඳහා විවිධ නම් තිබෙනවා. ඒ නිසා අපිට මේ ප්‍රසංගයට වෙනස්ම නමක් යොදන්නයි ඕනෑ වුණේ. මේ ප්‍රසංගය අති සාර්ථක ප්‍රසංගයක් වුණා. අපි බලාපොරොත්තු නොවුණු අන්දමින් ප්‍රසංගයේ ටිකට් පත් සියල්ලම අවසන් වුණා. මොකද ප්‍රසංගය සඳහා අපි තෝරාගත් ශාලාවට හාරසියයක් වගේ පිරිසක් පමණයි සහභාගි කර ගැනීමට හැකි වුණේ. මෙම ප්‍රසංගයට සහභාගි වුණු දක්ෂ ගායන ශිල්පීන් දෙදෙනෙක් වන රුවන් හෙට්ටිආරච්චි හා සුරේන්ද්‍ර පෙරේරා මෙහිදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ. ඔවුන් තමයි අපේ ප්‍රසංගයේ ප්‍රථම ආරාධිත ගායකයන් දෙදෙනා. ඒ වගේම ඔවුන් ප්‍රසංගයකදී ලබාගන්නා මුදල් ප්‍රමාණයෙන් විශේෂ වට්ටමක් අපේ ප්‍රසංගය සඳහා ලබා දුන්නා. ඒ මහඟු උපකාරයට අපේ සංගීත කණ්ඩායමේ  ගෞරවය ඔවුනට හිමි වෙනවා.


“නයිට්ස්” සංගීත කණ්ඩායම කෙටි කාලයක් තුළදී රසිකයන් අතර ජනප්‍රිය වීමට කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?


මේ වගේ කෙටි කාලයක් තුළදී නයිට්ස් සංගීත කණ්ඩායම රසිකයන් අතර ජනප්‍රිය වුණේ අපි සියලුදෙනාගේ තිබෙන කැපවීම හා දක්ෂතාව මතයි. කණ්ඩායමේ සියලුම සාමාජිකයන්ට සංගීත ක්ෂේත්‍රය ගැන පුළුල් අවබෝධයක් තිබෙනවා. බෑන්ඩ් එකේ බේස් ගිටාර් වාදක දනිඳු, ලීඩ් ගිටාර් වාදක ගීසර, ඩ්‍රම්ස් වාදක රුක්ශාන්, කීබෝඩ් වාදක ශිරන්ත හා කවිෂ්ක වගේම ගායන ශිල්පී අරුන් යන කණ්ඩායමේ සාමාජිකයන් සංගීත කණ්ඩායම වෙනුවෙන් විශාල කැප කිරීමක් කරනවා. ඒ වගේම කණ්ඩායමේ ආරම්භක සාමාජිකයන් වන හන්ස ප්‍රනාන්දු මේ වන විට කණ්ඩායමේ පූර්ණ සාමාජිකයෙක් නොවුණත් ඔහුගෙන් කණ්ඩායමට විය යුතු දායකත්වය මේ වන විටත් කණ්ඩායමට ලබාදෙනවා.


සංගීත කණ්ඩායමේ නිර්මාණ ගැන රසිකයන්ව දැනුවත් කරමු?


මේ වන විට අපි ගීත දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. ‘මාතෘ භූමි උදාරවන්ත’ ගීතය තමයි අපේ පළමු ගීතය. ලංකාවේ ලස්සන තැන් සොයා ලංකාව වටේ ගිහින් තමයි මේ සින්දුවට අපි වීඩියෝ එක නිර්මාණය කළේ. සංජය හේරත් ගීතයේ පද රචනය නිර්මාණය කළ අතර එහි තනු නිර්මාණය හන්ස ප්‍රනාන්දු සිදු කළා. ‘ඇයි අපි ලොකු වුණේ.’ ඒ අපේ දෙවැනි ගීතයයි. මේ ගීතය මම නිර්මාණය කළ අතර තනු නිර්මාණය හා සංගීතය කණ්ඩායම මඟින් සිදුකළා.


මෙතෙක් සහභාගි වූ ප්‍රසංග තුළින් ඔබේ කණ්ඩායමට ලැබුණේ මොන වගේ අත්දැකීමක්ද?


කෙටි කාලයක් තුළදී සංගීත ක්ෂේත්‍රෙය් ප්‍රවීණ ගායන ශිල්පියාගේ සිට නවක ගායන ශිල්පියා දක්වා වැඩ කරන්න ලැබුණු එක ලොකු වාසනාවක් වගේම වෙනස්ම අත්දැකීමක් වුණා. මෙතෙක් අපි සහභාගි වූ කිසිම ප්‍රසංගයකින් අපේ සංගීත කණ්ඩායම අසාර්ථකයි කියලා චෝදනා ලැබිලා නැහැ. වාසනාව මත හා අපේ දක්ෂතාව මත අවුරුදු දෙකහමාරක් වගේ කාලයක් තුළ සාර්ථක සංගීත කණ්ඩායමක් විධියට ඉදිරියට එන්න මෙතෙක් සහභාගි වූ ප්‍රසංග ලොකු පිටිවහලක් වුණා.


මේ දිනවල ආරාධනා ලැබුණු ප්‍රසංග ගැනත් කතා කරමු?


මේ වසරේ අපිට ප්‍රසංග ගණනාවකින් ආරාධනා ලැබුණා. ඒ අතරින් මාර්තු මාසය තුළ සම්පූර්ණයෙන්ම ක්සිකල් ස්ටයිල් එකෙන් පැවැත්වෙන ප්‍රසංගයක් පැවැත්වෙනවා. මේ ප්‍රසංගයට ප්‍රවීණ ගායක ශිල්පි ශිල්පීන්ද එකතු වෙනවා වගේම රසිකයන්ටද අලුත් අත්දැකීමක් වේවි. මොකද නයිට්ස් සංගීත කණ්ඩායම ජනප්‍රිය වෙස්ටන් ස්ටයිල් බෑන්ඩ් එකක් විධියටයි.. ඊට අමතරව අපිට ලැබෙන වෙඩින් ඉවෙන්ට්ස් සහ වෙනත් ඉවෙන්ට්ස් අපි සාමාන්‍ය පරිදි භාරගන්නවා.


සංගීත කණ්ඩායම මඟින් පවත්වාගෙන යන යූටියුබ් නාළිකාව ගැන කතා කළොත්?


යූටියුබ් නාළිකාවේ වැඩිපුරම තිබෙන්නේ ගීතවල කවර්ස්. ඊට හේතුව අපේ නිර්මාණ සීමිත පිරිසක් දැන ගැනීම අපි අපේ බෑන්ඩ් එක ගැන යම් කෙනකුට අවබෝධයක් ලබා ගන්න තමයි යූටියුබ් නාළිකාව පවත්වාගෙන යන්නේ. ඒ අතර අපි අපේ නිර්මාණත් කරගෙන යනවා. මොකද තමන්ගෙම කියලා නිර්මාණ නැතිනම් බෑන්ඩ් එකට පැවැත්මක් නැහැ.


නවක සංගීත කණ්ඩායමක් විධියට ඔබේ සංගීත ප්‍රසංග සඳහා සහභාගි වන ප්‍රවීණ ගායක ගායිකාවන්ගෙන් ලැබෙන සහයෝගය ගැන කතා කරමුද?


මෙතෙක් සහභාගි වුණු සෑම ගායක ගායිකාවන්ගෙන්ම ලොකු සහයෝගයක් ලැබුණා. එහිදී ප්‍රවීණ ගායකයන්, නවක ගායකයන් කියලා වෙනසක් නැහැ. ගොඩක් වෙලාවට අපි ගායකයන් සමඟ ප්‍රසංගයක් පවත්වනවා නම් ඊට පෙර ඔහුගේ ගීත පුහුණුවීම් කළ බව ගායකයාව දැනුවත් කරනවා. එතැනදී ගීතයේ වෙනසක් සිදුකරන්න ඕනෑ නම් ඔහුට අනුව එය සිදු කරනවා. ඒ වගේ සම්බන්ධයක් තිබීම ගායකයාට හා කණ්ඩායමට ලොකු පහසුවක් ගෙන දෙනවා ප්‍රසංග හොඳින් කරගෙන යෑමට.


බෑන්ඩ් එකේ ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?


ලංකාවේ සංගීත කණ්ඩායම් අතර “නයිට්ස්” බෑන්ඩ් එක තිබෙන්නේ ජනප්‍රිය වෙමින් පවතින ලැයිස්තුවේ. ඒ නිසා මේ දිනවල බෑන්ඩ් එකේ ජනප්‍රියතාව වැඩි කර ගැනීමත් වගේම අපේ නිර්මාණ එළිදැක්වීම තමයි මූලික අරමුණ වී තිබෙන්නේ. ඊට අමතරව අපේම ඇල්බම් එකක් නිර්මාණය කරගන්නත් අදහසක් තිබෙනවා. “නයිට්ස්” බෑන්ඩ් එක ලංකාවේ නමක් තිබෙන බෑන්ඩ් එකක් බවට පත්කරන්න තමයි අපේ අරමුණ.


දෙව්මී චමීෂා



Previous Post Next Post