සිංහල සිනමාවේ රුවැති පෙම්වතිය උදාරි

 



සිරිලක කතානාද වෘත්තාන්ත සිනමාව සිය හැත්තෑ අටවැනි උපන් දිනය සැමරුවේ නොබෝදා. සෑම වසරකම මේ සැමරුම සිරිලක සිනමාවේ අතීත චමත්කාරය පිළිබඳ කරුණු කාරණා ගෙන හැර දක්වන්නට උත්සුක වනවා. අදත් එසේමයි. මේ අනුව හැත්තෑ අට වසරක සිරිලක කතානාද වෘත්තාන්ත සිනමාවේ වාසනාවන්තම නළු නිළියන් පිළිබඳ සංකථනයකට අවකාශ සලසා ගන්නට පුළුවන්. මෙහිලා තරමක දිගු ලැයිස්තුවක් අප හමුවේ දිගහැරෙනවා.


ඒ ඒ යුග ආලෝකවත් කළ නළු නිළියන් සියලු දෙනාම උචිත අවධාරණය කිරීම් සහිතව මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීම පහසු නැහැ. රුක්මනී දේවි පළමු වැන්නියයි. ඇගේ එකසිය දෙවැනි උපන් දිනයද පසුගියදා සිහිපත් කරනු ලැබුවා. ඇය සේම අනතුරුව සිරිලක සිනමා අඹරේ පෑයූ සෙසු රූපණ තරු හඳුනා ගත හැක්කේ රසික මනාපය ඔස්සේ පමණක්ම නොවන බවයි කිව යුත්තේ. රූපණ හැකියාවද අතිශයින්ම වැදගත් සාධකයක් වනවා. තරුවලට පමණක්ම සිනමාව රැක ගන්නට නොහැකිය යන්නයි ඉන් කියැවෙන්නේ.


මෙසමයේ සිරිලක සිනමාවේ වාසනාවන්තම නිළිය සේ උදාරි වර්ණකුලසූරිය හඳුන්වා දෙන්නටද පුළුවන්. ගෙවුණු වසර දෙක තුන තුළ ප්‍රදර්ශිත නිර්මාණශීලී, විවාදාත්මක හා ආකර්ෂණීය සිනමාපට කිහිපයකම ඇය එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරමින් ප්‍රකට කළේ තමා වාසනාවන්තම නිළියක වන්නේ රුව නිසාම නොව රූපණ හැකියාවද නිසාය යන්නය. උදයකාන්ත වර්ණසූරිය නිර්මාණය කළ ‘පායා එන්න හිරුසේ’ සමඟ ඇගේ සිනමාවතරණය සිදුවනේ නොපැසුණු ලකුණු අවම කරගත් විලාසයකින්.


කෙසේ නමුත් සිරිලක සිනමාව අනාගතය කරා රැගෙන යාමට අසීරුවෙන් වෙර දරන නවක හා තරුණ ප්‍රතිභාසම්පන්න සිනමාකරුවන් උදාරි සම්බන්ධයෙන් තරමක නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවද පෙනී යනවා. උදාරි මහා සිනමාකරුවන්ගේ නිළියකය යන අදහස මෙතැනදී මෝදුවන්නට පුළුවන්. මෙය උදාරි මුහුණ දෙන අභියෝගයක් ද වනවා.




උදාරිගේ රූපණ හැකියාව විචක්ෂණශීලී රසික අවධානයට ලක් කරනු පිණිස සුවිශේෂම කාර්යයක නිරත වූවකු වන්නේ සංජිව පුෂ්පකුමාර. සංජීවගේ පෙර සිනමා පිවිසුම් හා සිනමා අදහස් දැන කියා ගෙන සිටි ඇතැමුනට උදාරි වෙත මෙසේ සිනමාපටයක ප්‍රධාන චරිතයක් ලබා දීමට ඔහු ගත් තීන්දුව විමතියකට තුඩු දෙන්නක් වූවා. මේ සංජීවගේ වෙනස් මඟක් ගත් සිනමාපටයක් වන ‘ආසුය’. උදාරි මෙහි නිරූපණය කරන්නේ සුව කළ නොහැකි රෝගයකින් අසීමිතව පීඩා විඳ අවසන වේදනාබර මරණයක් උරුම කර ගන්නේ ඉහළ මැද පන්තියේ රුවැති කතකගේ චරිතයයි. වෙස් ගැන්වීම් සමඟ සිය සිරුර චරිතයට අතිශයින්ම උචිත පරිදි භාවිත කරමින් ඇය මෙහිදී පෙන්වූ රූපණ සමත්කම විචාරක අවධානයට පහසුවෙන්ම ලක්වූවා.


පෙම්වතියක, හා රුවැත්තියක ලෙස සිරිලක සිනමාවේ තරුවකව සිටියදී මෙබඳු අභියෝගාත්මක චරිතයක් සිනමාකරුගේ අභිලාෂය පරිදිම නිරූපණය කරමින් උදාරි දැක්වූ නොපැකිළීම කියාපාන්නේ ඇගේ වාසනාවන්ත බවයි. වාසනාවන්ත නිළියක නම් මෙවැනි විකල්ප ලකුණුද සහිතව චරිත නිරූපණය ඇවැසිම වන බවයි.


උදාරි හා ‘ආසු’ පිළිබඳ මතකය සමඟ ‘මිදුණු විශ්වය’ හා ‘ක්ෂීර සාගරය කැලඹිණ’ යන සිනමාපට පිළිබඳ මතකයද පැමිණෙනවා. පෙර දැක්වූ ලෙසම මේ සිනමාපට ත්‍රයයි උදාරිගේ වාසනාවන්ත බව මේ මොහොතේදී තහවුරු කරන්නේ. 1960 දශකයේ විසූ ජනාදරප්‍රාප්ත සිනමා නිළියකගේ ශෝචනීය ඇතුළාන්තයයි ‘මිදුණු විශ්වය’හිදී ඇය නිරූපණය කරන්නේ. කල්පිත සමයක, කල්පිත පෙදෙසක, කල්පිත රැජනක සේ ‘ක්ෂීර සාගරය කැලඹිණ’හිදී ඇය නිරූපණය කරන්නේත් පහසු ආකාරයේ චරිතයක් නොවන බව සිහිපත් කළ යුතුයි.


සිනමාපට නිපැයුම හා ප්‍රදර්ශනය අතර පවතින නොපෑහීම් නිසා සිදුවන අගතිය ගැන සිනමා විචාරයේදී අවධානය යොමු කිරීම වැදගත්. උදාරි සම්බන්ධයෙන් මෙය අදාළ වන්නේ ජැක්සන් ඇන්තනිගේ ‘එකගෙයි සොකරි’ නිසා. ‘එක ගෙයි සොකරි’ වසර පහකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රදර්ශන අපේක්ෂාවෙන් රැඳී සිටින සිනමාපටයක්. උදාරි මෙහි නිරූපණය කරන්නේ උඩරට ප්‍රචලිතව තිබූ අපූරු විවාහ බන්ධනයක ස්ත්‍රී පාර්ශ්වයයි. සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පට පවසන්නේ මෙය සුන්දර, රසාලිප්ත සිනමාපටයක්ද විය හැකි බවයි. රූපණය කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන සිනමාකරුවකු වන ජැක්සන්ටද මෙහිලා යම් අගතියක් භුක්ති විඳින්නට සිදුවනවා. මෙයින් අදහස් කෙරෙන්නේ උදාරිගේ ඉරණමට නොදෙවෙනි ඉරණමක් ජැක්සන්ටද, සෙසු ශිල්පීනටද අදාළ වන්නේය යන්නයි.


උදාරි පිළිබඳ මතු බලාපොරොත්තු තබා ගත හැකි තවත් අවස්ථාවක් නුදුරේදීම එළැඹීමට නියමිතව තිබෙනවා. ඒ ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය කළ ‘දේවි කුසුමාසන’ සිනමාපටයෙන්. මේ සිරිලක ඉතිහාසය විෂයෙහි හමුවන අපූර්ව චරිතයක්. කෙසේ නමුදු ජයන්ත මේ අතීත පුවත කවර දැක්මකින් විවරණයට පියවර ගන්නේදැයි යන්න දැන්ම පවසන්නට බැහැ. එනමුදු පළපුරුදු සිනමා නිළියක සේ උදාරි, ජයන්තගේ අරමුණ කුළුගන්වනු පිණිස සමත් වනු ඇති බව ඇගේ රසිකයන් නොවන අයත් පිළිගන්නවා ඇත.


තුසිත ජයසුන්දර



Previous Post Next Post