අශාන් ඩයස් නිර්මාණ තුළ දකින්න ලැබෙන්නෙ බොහොම අඩුවෙන්. නමුත් ඔහු රංගනයෙන් දායක වුණ දැවැන්ත නිර්මාණ කිහිපයක්ම තිරගත වීමට නියමිතව තියෙනව. මේ දවස්වල අශාන් කරළියට එන්නෙ අශෝක හඳගමගෙ ‘රාණි’ සිනමා නිර්මාණය හරහා. ඒ ගැන වගේම අලුත් තොරතුරු ටිකක් කතාබහ කරන්නත් එක්ක අපි අශාන්ව හමු වුණා.
අශාන් මේ දවස්වල කාර්යබහුලයි?
ඔව්, මම මේ දවස්වල ටීවී ප්‍රෝග්‍රම් එකක් කරනව, ඒ වගේම අශෝක හඳගම මහත්මයාගෙ රාණි චිත්‍රපටය රිලීස් වුණා. ඒකෙ ප්‍රමෝෂනල් වැඩකටයුතුත් එක්ක තමයි ටිකක් කාර්යබහුල වෙලා ඉන්නෙ.
මනි ඩ්‍රොප් වැඩසටහන ගැන කතා කළොත්?
මම අලුතින්ම සම්බන්ධවෙලා ඉන්නෙ මනි ඩ්‍රොප් වැඩසටහනත් එක්ක. මේ වගේ ගේම් ෂෝ එකක නිවේදන කටයුතු කරනව කියන දේ මට අලුත්ම අත්දැකීමක්. මීට කලින් මම මේ වගේ දේකට සම්බන්ධ වෙලා නැහැ. මේ වන විට විශාල ප්‍රේක්‍ෂක පිරිසක් මේ වැඩසටහන සමග සම්බන්ධවෙලා ඉන්නව.
එදා ගත්ත තීරණය ගැන සංතෝෂ වෙනවා - අශාන් ඩයස්
ඔබේ අලුත්ම අත්දැකීමට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
දැනට සෝෂල් මීඩියා වලින් තියෙන ප්‍රතිචාර සහ අපි දන්න කියන අයගෙ ප්‍රතිචාර විතරනෙ අහන්න ලැබෙන්නෙ. ඒ අතරින් දන්න කියන අයනම් බොහොම සතුටුයි, හොඳ ප්‍රතිචාර ලැබෙනව. සෝෂල් මීඩියාවල හොඳ කියනව, නරකක් කියන්නෙ නැහැ. හැබැයි මේකෙ දෙපැත්තක් තියෙනව. මේක මිනිස්සු ආදරය කරපු වැඩසටහනක්. එතැනදි ඔවුන්ට හුරුපුරුදු පූරක වෙනස් වෙද්දි ඊළඟ කෙනාට නෙගටිව් ප්‍රතිචාර ලැබෙන්න පුළුවන්.
එවැනි පරිසරයකදි කොහොමද ඔබ මේ වෙනුවෙන් සූදානම් වෙන්නෙ?
මම චරිතයක් කළත්, වැඩසටහනක් කළත් අනිවාර්යයෙන්ම ඒකට සූදානමක් තියෙනව. නිවේදක භූමිකාව කියන්නෙත් ඇත්තටම රංගනයක් තමයි. මේ මම කරන තවත් කැරැක්ටර් එකක්. ඒ වෙනුවෙන් ගැළපෙන දෙයක් මම හදාගෙන එනව. තවත් විශේෂම දෙයක් වෙන්නෙ මේක ජාත්‍යන්තරයට සම්බන්ධ වැඩසටහනක් වීම. ඒ නීතිරීතිවලට අනුකූලව අපි කටයුතු කරන්න ඕන.
කුකවුට් වැඩසටහනත් ඔබේ නිවේදනයෙන් හැඩවෙනව?
කුකවුට් කියන්නෙ මම නිවේදකයෙක් හැටියට සම්බන්ධ වුණ දෙවැනි වඩසටහන. අවුරුදු තුනක් පුරාවට මෙහෙයවපු ඒ වැඩසටහන මගේ ජීවිතයට හොඳම අත්දැකීමක්. ලංකාව වටේම යන්න වගේම ලස්සන හදවත් තියෙන මිනිස්සු හඳුනාගන්න ලැබුණා. අමුතු අමුතු කෑම වර්ග රසවිඳින්න වගේම ලෝකෙටම පෙන්නන්න අවස්ථාව ලැබුණා. ඒක මගේ ජීවිතයට හොඳම අත්දැකීමක්.
‘රාණි’ ගැනත් කතා නොකරම බැහැ?
මෑත කාලයේ සිනමා නිර්මාණයක් ගැන වැඩිම උනන්දුවක්, කුතුහලයක් ප්‍රේක්‍ෂකයන් අතර ගොඩනැඟුනෙ රාණි චිත්‍රපටය වෙනුවෙන්. ෆිල්ම් එකක් එන්න කලින් ප්‍රේක්‍ෂකයන් මේ තරම් බිල්ඩ්අප් වෙනව මම දැකල නැහැ කාලෙකින්. ඒකට විශේෂ හේතුවක් තියෙනව. මෙයින් කතාකරන්නෙ හොඳ මාතෘකාවක්, නමුත් ප්‍රධානම දේ වෙන්නෙ මේ නිර්මාණය අධ්‍යක්‍ෂණය කරන්නෙ අශෝක හඳගම මහත්මයා, ස්වර්ණා මල්ලවආරච්චි මහත්මිය තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ. මේ සුසංයෝගයම ඇති ප්‍රේක්‍ෂකයන් තුළ උනන්දුවක් ඇතිවෙන්න.
ඔබේ චරිතය වෙනුවෙන් ආරාධනය ලැබුණාම දැනුණ හැඟීම මොන වගේද?
මුලින්ම දැනුණෙ සතුටක් සහ මං වාසනාවන්තයි කියන හැඟීම. අශෝක හඳගම මහත්මයා කතාකරල මගේ ඊළඟ ෆිල්ම් එකට මම කැමතියි ඔයාව ගන්න කිව්වාම ඒකම හීනයක්. මොකද එතුමා සමග වැඩ කරන්න මටත් හීනයක් තිබුණා. ඊට පස්සෙ කරන්න ඕන චරිතය කිව්වාම පොඩි බයක් එනව. ඒ ලෙහෙසි දෙයක් නෙමෙයි. ජීවතුන් අතර හිටපු ප්‍රබල චරිතයක්. එහෙම චරිතයක් කරන්න ගියාම හරි ලේසියෙන් ඒක වරදින්න පුළුවන්, විහිළුවක් වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනව. නමුත් අභියෝගවලට මම කැමතියි. සාමාන්‍යයෙන් එහෙම නැති චරිත මම භාරගන්නෙත් නැහැ. මම හිතනව හැමදේම හොඳින් සිදු වුණා කියල.
මේ දවස්වල රඟපෑම් වැඩකටයුතු කොහොමද?
මම එකවර වැඩ දෙකක් කරන්න කැමති නැහැ. ඒ නිසා මනි ඩ්‍රොප් වැඩසටහන අවසන් වනතුරු මම රඟපෑම් වැඩ භාරගන්නෙ නැහැ.
‘අලිමංකඩ’ දෙස නැවත හැරී බැළුවොත්?
රංගනය කියන දේ පොඩිකාලෙ ඉඳන් මට තිබුණ හීනයක්. නමුත් මේක කවදාවත් හිතපු නැති ගමනක්. අධ්‍යාපන කටයුතු අවසන්වෙලා
රැකියාවක් ගැන හිතද්දි මොන තරම් ආසාවක් තිබුණත් රංගනයෙන් ජීවත් වෙන්න බැහැ කියන දේ තමයි හිතුනෙ. ඉන් පස්සෙ මම ගෘහනිර්මාණ ශිල්පය ඉගෙනගන්නව.
‘අලිමංකඩ’ කියන්නෙ මට අහම්බෙන් ලැබුණ රංගන අවස්ථාවක්. ඒ ලැබුණ තැන ඉඳන් නැවත අවුරුදු දෙකතුනකට පස්සෙ තව නිර්මාණයකට සම්බන්ධවෙලා තමයි වැඩ කළේ. 2016 ‘සරිගම’ චිත්‍රපටයට සම්බන්ධවීමෙන් පස්සෙ මම තීරණය කරනව මේක කරන්න පුළුවන් දෙයක්, ලංකාවට ඇවිත් පූර්ණකාලීනව රංගන ශිල්පියෙක් හැටියට කටයුතු කරනව කියල. අද නැවත හැරී බලනකොට මම එදා ගත්ත තීරණය ගැන ගොඩක් සංතෝෂ වෙනව.
ටෙලි නාට්‍ය භාරගන්නෙ නැද්ද?
ටෙලි නාට්‍ය කරන්නෙ නැහැ කියල දෙයක් නැහැ. නමුත් හේතු දෙකක් තියෙනව. වැඩේ හොඳනම්, චරිතය හොඳනම්, අධ්‍යක්‍ෂවරයා වැඩේ ගැන සීරියස් නම් වේදිකාවේ, ටෙලි නාට්‍යයේ, සිනමාවේ මේ ඕනෑම තැනක මම චරිතය භාරගන්නව. අනෙක් කාරණය අවාසනාවකට බජට් ප්‍රශ්න නිසා ලංකාවේ ටෙලි නාට්‍යය මුලින් චැනල්වලට විකුණලා පස්සෙ තමයි ඉතිරි ටික ෂූට් කරන්නෙ. සමහර වෙලාවට චැනල්වලට ඕන විදිහට කතාව වෙනස් වෙනව. ඒ නිසා මම කැමතියි කතාව ලියල ඉවර වුණ නිර්මාණයක් එක දිගට ෂූට් කරනවනම්. චැනල් එක කියන විදිහට මාරු කරන්නෙ නැත්නම්. මේ ටික වෙනවනම් මම ඒ නිර්මාණය භාරගන්නව.
‘මාරියා’ ප්‍රේක්‍ෂකයා අතරට එන්නෙ කවදද?
අපිත් මේ බලාගෙන ඉන්නෙ ඒ දවස එනකං තමයි. අරුණ ජයවර්ධනගෙ මාරියා, ගොඩක් කල් ඉඳන් බලාගෙන ඉන්න නිර්මාණයක්. සම්පූර්ණයෙන්ම සිනමාවේ දැකලම නැති දර්ශන ටිකක් බලාගන්න පුළුවන් මාරිය ආවම. ඒ වගේම චත්‍ර වීරමන්ගෙ ‘ආයු’, ලක්මාල් ධර්මරත්නගෙ ‘වාළම්පුරි’ත් එනතුරු අපි බලාගෙන ඉන්නව.
මහේෂ් එදිරිසිංහ