ගායකයා තණ්හාකාරයෙක් වුණොත් පැවැත්ම අඩුයි- අජිත් විතානගේ




 සීදුව සකුරා සංගීත කණ්ඩායම තුළින් රසික හදවත් තුළ ලැගුම්ගත් ඔවුන් අද දසත පුරා සකුරා මලේ සුවඳ පතුරා හමාරයි. දශක ගණනාවක් පුරා එළිමහන් සංගීත කේෂ්ත්‍රයේ නියැළී සිටි ඔවුන් අද වන විට සීදුව බ්‍රාවෝ නමින්ද සංගීත කණ්ඩායම ආරම්භ කර තිබෙනවා තමන්ගේ සංගීත චාරිකාවේ තොරතුරු රසික ඔබ වෙනුවෙන් බෙදාහදා ගැනීමට අද හදගැස්ම හා සම්බන්ධ වූයේ සීදුව සකුරා – සීදුව බ්‍රාවෝ – සීදුව සිසිලියන්ස් යන සංගීත කණ්ඩායම් ත්‍රිත්වයේම නායක අජිත් විතානගේය. මොනවද මේ දිනවල අලුත් වැඩකටයුතු?


මේ දිනවල ප්‍රසංග වේදීකාවේ වැඩකටයුතු සමඟ කාලය ගතවෙනවා. ඒත් කනගාටුවට කරුණ තමයි මාස හතරක කාලයක් නොකඩවා ඇදහැලුණු වර්ෂාව සහ පසුගිය දෙසැම්බර් මාසය තුළ පැවැත්වූ උසස් පෙළ ළමයින්ගේ විභාග කටයුතු හේතුවෙන් අපේ සංගීත කටයුතු තහනම් කිරීම. දෙසැම්බර් පළමුවැනිදා සිට 31 වැනිදා දක්වා ප්‍රසංග නොපැවැත්වීම ඇත්තටම ලොකු පාඩුවක්.


සංගීත කණ්ඩායමේ ආරම්භය සිද්ධ වෙන්නේ කොහොමද?


මට සංගීත කණ්ඩායම් තුනක් තිබෙනවා. 1991 මාර්තු 01 වැනිදා මුලින්ම සීදුව සකුරා සංගීත කණ්ඩායම ආරම්භ කළා. ඊට පසුව තමයි සීදුව බ්‍රාවෝ සහ සීදුව සිසිලියන්ස් අරම්භ කළේ. සීදුව බ්‍රාවෝ සංගීත කණ්ඩායමට වගේම සීදුව සකුරා හා සිසිලියන්ස් සංගීත කණ්ඩායම් දෙකටම රසික ප්‍රතිචාරවලින් නම් අඩුවක් සිදුවන්නේ නැහැ.


සීදුව බ්‍රාවෝ සංගීත කණ්ඩායම සීදුව සකුරා හා සිසිලියන්ස් කණ්ඩායම අතර තිබෙන්නේ මොන වගේ සුවිශේෂිතාද?


මේ සංගීත කණ්ඩයම් තුනේම තිබෙන්නේ එකිනෙකට වෙනස් රිද්මයක්. සීදුව සකුරා කණ්ඩායමට ඔවුන්ටම වෙන්වුණු ඔර්ජිනල් ගීත තිබෙනවා. සීදුව සිසිලියන්ස් කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදකයා මගේ මුනුපුරා. අද කාලයට ගැළපෙන සංගීත රිද්මයක් තමයි ඔවුන් අනුගමනය කරන්නෙ. සීදුව බ්‍රාවෝ කියන්නේ තරුණ තරුණියන්ට දැනෙන්න දෙයක් කරන බෑන්ඩ් එකක්. මේ සංගීත කණ්ඩායම් තුනම එකකට එකක් වෙනස්.


ඔබේ සංගීත කණ්ඩායම්වලටත් පැරැණි ගීත වෙනස් කරමින් ගායනා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා නැන්ද?


මෙතෙක් කිසිම චෝදනාවක් එල්ල වී නැහැ. මොකද සෑම වයස් කාණ්ඩයමකම පිරිස අපේ ෂෝ බලන්න එනවා. ඉතින් මේ  හැම කෙනකුටම ගැළපෙන රසාස්වාදයක් අපි ලබාදෙනවා. තව දෙයක් තමයි සීදුව බ්‍රාවෝ වගේම මගේ අනිත් බෑන්ඩ් දෙක හරහාත් අපි ජාතිවාදය වගේ දේවල් ප්‍රවර්ධනය කරන්නේ නැහැ. ජාතිභේද නොතකා අපි හැමෝටම ගැළපෙන්න අපේ සංගීත රසය ලබා දෙනවා. ගීත ගායනයේදී හින්දි ගීත, දමිළ ගීත, බටහිර ගීත වගේම බයිලාවටත් තැනක් ලබාදෙනවා.


අපේ අමරණීය කලාකරුවන්ගේ ගීත ගායනත් අපි සිදු කරනවා. අපි සෑම විටම රසිකයාට අවශ්‍ය රසවින්දනය ලබා දෙනවා.


සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යන විට තිබෙන අභියෝග මොන වගේද?


මේක මගේ පෞද්ගලික මතය. සාමාන්‍යයෙන් කාටහරි බෑන්ඩ් එකක් පටන් ගන්න ඕනා කියලා සිතුවිල්ලක් හටගැනීම ඇත්තටම ගිය ආත්ම තුළ කරන ලද පවක් කියලා මට හිතෙනවා. ඉතින් මේ පව කරපු අයගෙන් ලෝකයේ ඉන්න ලොකුම පව්කාරයා මම කියලයි මට හිතෙන්නේ. මොකද මට බෑන්ඩ් 03ක්ම තියෙන නිසා. ඇත්තටම සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යෑම හරිම දුෂ්කර කටයුත්තක්.


මත්ද්‍රව්‍යට සහ වෙනත් අශෝභන කටයුතුවලට ඇබ්බැහි වුණු තමන්ගේ මවුපියන්ටවත් කීකරු නැති තරුණ පිරිසක් සමඟයි අපිට මේ වැඩේ කරන්න සිදුව තිබෙන්නේ. නමුත් අපේ සංගීත කණ්ඩායම තුළදී අපි හොඳ විනයක් සහිතව කටයුතු කරනවා. මේ විනය වේදිකාව තුළත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් මගේ සංගීත කණ්ඩායම් තුනේම සාමාජිකයන් ගැන මම හරිම සතුටෙන් ඉන්නේ. මම හිතන පතනවට වඩා වැඩි යමක් මගේ සාමාජිකයන් තුළින් දකින්න ලැබීම ගැන මට හරිම ආඩම්බරයි.


සංගීත කණ්ඩායම්වල අලුත්ම වැඩකටයුතු ගැනත් කියමු?


අපි ලොකු කානිවල් එකක් සීදුව නගරයේ සංවිධානය කළා. ඒ වගේම මීරිගම කදන්ගම තමයි අපේ ඊළඟ කානිවල් එක ආරම්භ කරන්න සූදානමින් ඉන්නේ. අපේ අලුත් නිර්මාණ වගේම මෙතෙක් අපි සිදු කළ පරණ නිර්මාණ ගැනත් මට සතුටුයි. රණවිරුවන් වෙනුවෙන් කරපු නිර්මාණ සහ සුනාමිය වෙනුවෙන් කළ නිර්මාණ වගේ දැවැන්ත නිර්මාණ ගණනාවක් අපේ බෑන්ඩ් එක තුළින් සිදුවීම අපිට හරිම ආඩම්බරයක්.


ඒ වගේම ඉදිරියෙත් කලාවට හොඳ වැඩ ටිකක් කිරීමට අපි සූදානමින් සිටිනවා.


ක්ෂේත්‍රයට පැමිණෙන නව සංගීත කණ්ඩායම් සඳහා ලබාදෙන උපදෙස මොකක්ද?


වර්තමාන පරපුරේ ජීවත්වන ඇතැම් දරුවන් තමන්ගේ මවුපියන්, ගුරුවරුන්, අදහන ආගම්, වැඩිහිටියන් පිළිබඳ එතරම් තැකීමක් සිදුකරන්නේ නැහැ. ඒ වගේම අන් අයට ගෞරව කරන්න සහ හිස නමන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. එය තමයි මූලික වරද විදිහට මම දකින්නේ. ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ මත්ද්‍රව්‍ය වගේ දේවල්වලට. සෑම පුද්ගලයකුටම ආගමක් තිබෙනවා. ඒ නිසා ආගමානුකූලව ජීවත් වීම හරිම වැදගත්. අනෙක් කාරණය තමයි අම්මා, තාත්තාට, ගුරුවරුන්ට ගෞරව කරනවා වගේම රට ගැනත් හිතන්න ඕනේ. කලාකරුවා කියන පුද්ගලයාව මිනිසුන් ලක්ෂයක් අතරින් කැපිලා පෙනෙනවා. කලාකරුවා සමාජයට වැරැදි නොකරන විට ඔහුගේ අතින් කලාව මැණික් කැටයක් වගේ ඔප දැමෙනවා. අපි ගැන සමාජය වැරැදි සොයන ප්‍රමාණය වැඩි නිසා වැරැදි නොකිරීමට අපි වග බලා ගන්න ඕනෑ. තව දෙයක් තමයි නියමිත වෙලාවට වැඩ කිරීම. එයත් සිදුවිය යුතුම දෙයක්. ඒ වගේම ගායකයෙක් මුදලට තණ්හාව දැක්වුවොත් ඔහුට ඒ කේෂ්ත්‍රයේ බොහෝ කලක් රැඳෙන්න බැහැ. හැබැයි සංගීතය ආගමක් කරගන්න කෙනෙක්ට කවමදාවත් වරදින්නේ නැහැ.


බෑන්ඩ් 03 ඉදිරි සැලසුම් කොහොමද?


සීදුව බ්‍රාවෝ සංගීත කණ්ඩායම වගේම මගේ අනෙක් කණ්ඩායම් දෙක තුළිනුත් කාටත් කරදරයක් නොවී ඉදිරියට යෑමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම සමාජයට ගැළපෙන විදිහට සමාජයේ දුර්වල තැන් ගැන ගීතය තුළින් කතා කරන්න අදහසක් තිබෙනවා.


මත්ද්‍රව්‍ය ව්‍යසනය ගැන ගීත තුළින් සටන් කරන්න ඕනේ කියන මතයක අපි ඉන්නවා. තව කාන්තා හිංසනය ගැනත් ගීතය තුළින් පණිවුඩයක් ලබා දෙන්න අවශ්‍යයි.


දෙව්මි චමීෂා



Previous Post Next Post