නිහාල් නෙල්සන්ගෙ පුතා, තරංග නෙල්සන් ඔන්න අලුත් වැඩකට අතගහල. ඇත්තටම ඒ වැඩේ මොකක්ද කියල දැනගන්න අපි තරංග නෙල්සන් මුණගැසුණා.
තරංග, අලුත් වැඩකට අතගහල කියල ආරංචියි?
ඔව්, අලුත් බෑන්ඩ් එකක් පටන්ගත්තා. මේක බොහෝ කාලයක් තිස්සෙ හිතේ තිබුණා, නමුත් කරගන්න වෙලාවක් නැති වුණා. දැන් ඒ අදහස සාර්ථක කරගන්න පුළුවන්වෙලා තියෙනව.
බෑන්ඩ් එකේ විස්තර ටිකක් කියමු?
අපි බෑන්ඩ් එක නම් කළේ ‘තරංග නෙල්සන් විත් රෙගේ’ නමින්. මුල්ම ෂෝ එක ලබන මාසෙ දෙවැනිදා වෙන්නප්පුව, කඩවත වෙරළ ක්රීඩාංගණයේදී අපි පවත්වන්න සූදානමින් ඉන්නව.
බෑන්ඩ් එකක් පටන්ගන්න හිතුවෙ ඇයි?
මේක මට ඒ කාලෙ ඉඳන් තිබුණ ආසාවක් වගේම තාත්තගෙ වැඩිපුර ඇහෙන්නෙ නැති පැරණි ගීත එළිදක්වන්නත් මේ මගින් අවස්ථාවක් තියෙන නිසයි බෑන්ඩ් එකක් පටන්ගන්න වුවමනාව ඇති වුණේ. මොකද සංගීත ප්රසංගයකට ගියාම අපිට මේ හැම ගීතයක්ම ගායනා කරන්න බැහැ. ජනප්රියම ගීත විතරයි එහිදී ගායනා වෙන්නෙ.
තරංග නෙල්සන් විත් රෙගේ ලෑස්තියි
‘තරංග නෙල්සන් විත් රෙගේ’ අනෙක් බෑන්ඩ් වලින් වෙනස් වෙන්නෙ කොහොමද?
ගොඩක් දෙනෙක් බෑන්ඩ් එකක් පටන්ගත්තාම කියනව අපි මේ විදිහට වෙනස් වෙනව, අපි මේ විදිහට ප්ලේ කරනව කියල. නමුත් ඕනෑම බෑන්ඩ් එකක් එකම සංගීත නෝට්ස්වලට තමයි ප්ලේ කරන්නෙ. මෙතනදි අපිට කියන්න තියෙන්නෙ අහන අයට අහන්නත්, නටන අයට නටන්නත් පුළුවන් විදිහට රසයක් එක්ක ඉදිරිපත් කරන්න තමයි අපි අදහස් කරන්නෙ. අහලම බලන්න, දැකලම බලන්න කියලයි කියන්න තියෙන්නෙ.
රටවටා ගෙනියන්න මොන වගේ සැලසුමක්ද තියෙන්නෙ?
එළිමහන්, ගෘහස්ථ, වගේම මංගල උත්සව ආදියත් ආවරණය වන විදිහට අපි ප්ලේ කරන්න අදහස් කරනව. ඒ ඒ තැනට සුදුසු විදිහට අපි ඉදිරිපත් කරනව.
තාත්තගෙ ගීත රීමේක් කරන්න වැනි යෝජනා ඇවිත් තියෙනවද?
ඔව්, එහෙම ඇවිත් තියෙනව. නමුත් තාත්ත හරිම අමාරුවෙන් නිර්මාණ හදල ජනප්රිය කරගෙන තියෙන්නෙ. ගුවන්විදුලියෙන්, රූපවාහිනියෙන් චාන්ස් ලැබිල ජනප්රිය වෙලා නෙමෙයි. ප්රසංග වේදිකාවෙන් සජීවීවම ජනතාව අතරට ගිහින් ඒ වෙලාවට හොඳනම් හොඳ අහල, නරකනම් නරක අහල තමයි ඒ ගීත මේ තත්ත්වෙට ගෙනාවෙ. අනේ එවාටනම් මුකුත් කරන්න දෙන්නෙ නැහැ ඇත්තටම.
අලුත් ගීත කරන්න අදහසක් තියෙනවද?
ඔව්, ගිය අවුරුද්දෙත් කරන්න හිටියෙ. නමුත් කාලවේලාවේ ගැටලු නිසා මගහැරුණ. කොහොම වුණත් මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් මගේම ගීත පහක් හයක් එළිදක්වන්න බලාපොරොත්තු වෙනව. දැන් බෑන්ඩ් එක තියෙන නිසා ඒක වඩාත් පහසු වෙයි.
වර්තමානයේ සංගීත කණ්ඩායම් අතර ලොකු තරගයක් තියෙනව. ‘තරංග නෙල්සන් විත් රෙගේ’ කොහොමද මේ තරගයට මුහුණ දෙන්නෙ?
ඇත්තටම අභියෝගයක් තියෙනකොට හොඳයි. එතකොට කොහොම හරි ඒක ජයගන්න උත්සාහ කරනවනෙ. නමුත් තරගයක් හැටියට හිතල දුවල දුවල හතිවැටෙන තැනට එන්න අපි උත්සාහ කරන්නෙ නැහැ. සංගීතය කියන්නෙ එහෙම දෙයක් නෙමෙයි.
තාත්තගෙ යහළුවන්ගෙන් ලැබෙන්නෙ මොන වගේ සහයෝගයක්ද?
තාත්තාගෙ යහළුවො අදටත් මට කතාකරල කියනව, පුතා මොහෙම කරන්න, මෙහෙම කළොත් හොඳයි, තාත්ත මෙහෙමයි කළේ කියල. ඒ අදහස්, උපදෙස් මට ගොඩක් වටිනව. ඇත්තටම ඉතාමත් හොඳ සහයෝගයක් ලැබෙනව.
ඔබ තාත්ත වෙනුවෙන් ප්රසංගයක් කළා. නැවතත් එවැනි අදහසක් තියෙනවද?
ඔව්, තාත්ත වෙනුවෙන් ප්රසංගයක් කළා. ලබන අවුරුද්දෙ මගේම බෑන්ඩ් එකත් එක්ක තවත් ප්රසංගයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.
කණ්ඩායමේ සාමාජිකයන් ගැන කතා කළොත්?
මගේ කණ්ඩායමේ සාමාජිකයන් දස දෙනෙක් ඉන්නව. ඒ වගේම ගීත ගායනා කරන්න තුන්දෙනෙක් ඉන්නව. අචල තිවංක (ගායක), චාමික මධුෂාන් (ගායක), අවිශ්ක දුලංජන (ගායක), යොහාන් සුලක්ෂණ (ලීඩ් ගිටාර්), රනිඳු අනූපම (බේස් ගිටාර්), ජයරංග රුක්ෂාන් (ඔක්ටපෑඩ්), සංදීප ධනංජන (ඩ්රම්ස්), නිමේෂ් නදීශාන් (රිදම් ගිටාර්), කවිඳු සචින්ත (කී බෝඩ්), ගාමිණී පෙරේරා (කළමනාකරු).
ඔබේ වාදන හැකියාව ගැන කතා කළොත්?
මට තාත්තා උගන්වලා තියෙනව කී බෝඩ් සහ ගිටාර් ප්ලේ කරන්න. ඔහු නිතරම කිව්වෙ දෙයක් ඉගෙනගෙන කරන්න කියල.
ගෙදර පසුබිමත් එක්ක ගායකයෙක්, වාදකයෙක් වීමේ හීනයක් තිබුණද?
තාත්තා සිංදු හදනකොට අපි ඒව දකිනව, අහනව. රෙකෝඩින් කරන ඒවාටත් සහභාගි වෙනව. පාසල් නිවාඩු කාලෙට ෂෝස් බලන්නත් යනව. මේ දේවල් එක්ක මියුසික් කරනව කියන අදහස තිබුණා. තාත්තා මට බලපෑමක් කරල නැහැ.
නිහාල් නෙල්සන් කියන ගායන ශිල්පියා ඔබ දකින්නෙ කොහොමද?
නිහාල් නෙල්සන් කියන්නෙ හරිම ප්රතිපත්තිගරුක ගායන ශිල්පියෙක්. පෞද්ගලික ජීවිතේදි වගේ නොවෙයි, වෘත්තීයමය ජීවිතයේදී දෙයක් කිව්වොත් කිව්වමයි, ඒක ආයෙ වෙනස් කරන්නෙ නැහැ. ඔහු නිතරම කළේ සමාජයේ සිදුවන වැරදි ගීතයකට නගල ඒ ගීතයෙන් සමාජයට පණිවිඩයක් දෙන එක, මේ දේ කළොත් මේ දේ වෙනව කියල. මේ පිළිබඳව ඒ කාලෙ එකඑක්කෙනා විවිධ අර්ථකථන දක්වල තිබුණා. පත්තරවල පිටු ගණන් බැනපු ඒවත් තාත්ත අපිට පෙන්නල තියෙනව. ඒ බැණපු අයම කාලෙකදි ඒ වගේම පිටු ගණන් හොඳ කියලත් තියෙනව.
ඔබ කරළියට එන්නෙ තාත්තගේ වියෝවෙන් පස්සෙ?
ඒ කාලෙ මට තාත්තා වගේම තාත්තා වටා හිටපු යාළුවොත් කිව්වා ක්ෂේත්රයට එන්න කියල. නමුත් මම හිතුව එකම දේ තාත්තා ගීත ගායනා කරනතුරු මම ගීත ගායනා කරන්නෙ නැහැ කියල. මොකද එහෙම කරල වැඩක් නැහැ.
තාත්තගෙ ගීත තරංගට කටපාඩම්ද?
තාත්තගෙ ගීත දාහක් තියෙනවනම් නවසීයක් නවසිය පනහක් විතර මට කටපාඩම්. තාත්තගෙ හැම ගීතයකටම මම කැමතියි. අකමැතියි කියන්න එකක් නැහැ.
මහේෂ් එදිරිසිංහ