දර්ශන තලයට ගියාමයි සමහරු පිටපත ලියන්නේ - චන්ද්‍රසෝම බිංදුහේවා

 



ප්‍රතිභාන්විත රංගනයෙන් ප්‍රේක්ෂකයන්ගේ හදවත් සියුම්ව ස්පර්ශ කරමින් ඔහු කලා ක්ෂේත්‍රයට මහඟු මෙහෙවරක් කොට හමාරයි. ඔහු වේදිකාවෙන් ගමන්මඟ ආරම්භ කොට ඇතත් මේ වන විට ඔහුව ටෙලිනාට්‍යයට, චිත්‍රපටයට නැතුවම බැරි චරිතයක් බවට පත්ව තිබෙනවා. මේ රංගන ශිල්පියා රංගනයට පමණක් නොව ලී කැටයම් ශිල්පයට, ගායනයට, උඩරට නර්තනයට ද උපන් හපන්කම් ඇත්තෙකි. බොහෝ දක්ෂතාවලින් පරිපූර්ණ මෙම රංගධරයා නමින් චන්ද්‍රසෝම බිංදුහේවායි.


‍කොහොමද ඔබේ මේ දිනවල වැඩකටයුතු?


කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ලී කැටයම් කිරීම තමයි මගේ වෘත්තීය. විවේකී වෙලාවට නොකඩවා ගෙදර සිට ලී කැටයම් වැඩ කරගෙන යනවා. ඊට අමතරව මේ දිනවල තවත් නිර්මාණ වැඩකටයුතු කිහිපයක නිරත වෙලා ඉන්නවා.


ඔබේ පවුලේ විස්තර හා ළමා කාලය ගැන කතා කරමු?


මගේ තාත්තා බී.ඒ. හේන්රි ද සිල්වා. ඔහු ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවෙක්. මව කැතරින් කොඩිකාර. මගේ පවුලේ 12 දෙනකු ඉන්නවා. ඒ 12 දෙනා අතරින් තාත්තාගේ පළමු විවාහයෙන් දරුවන් 4 දෙනෙක් හා දෙවැනි විවාහයෙන් දරුවන් 8 දෙනෙක් ඉන්නවා. මම පවුලේ 9 වැනියා. සහෝදරයන් 7ක් වගේම සහෝදරියන් 5ක් සිටින ලොකු පවුලක් තමයි මට තිබෙන්නේ. නමුත් අපේ පවුලේ කලා කටයුතු සඳහා සම්බන්ධ වුණේ මම විතරයි. අනෙක් සහෝදර සහෝදරියන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් කොට වෙනත් රැකියාවල නියැ‍ළෙනවා.


පළමුවෙන්ම ඔබ නිෂ්පාදනයෙන් දායක වුණු පුංචි ඔරුව වේදිකා නාට්‍ය ගැන අද මොකද හිතෙන්නේ?


පුංචි ඔරුව කියන්නේ ළමා නාට්‍යයක්. මෙම ළමා නාට්‍යය දැනට එංගලන්තයේ ජීවත් වන වෛද්‍ය සුමනසීල ද සිල්වා මහතාගේ. මොහු මගේ සමකාලීනයෙක්. ඔහුයි මමයි එක පාසලේ ඉගෙන ගත්තේ. ඔහු විද්‍යා අංශයේ. මම කලා අංශයේ. මගේ මිත්‍රයා පුංචි ඔරුව වේදිකා නාට්‍යයේ පිටපත මට ලබාදීලා මේ නාට්‍යය කරමුද ඇහුවා. එතැනදී මම මෙම වේදිකා නාට්‍යයට ගීතය නිර්මාණය කළා. පුංචි ඔරුව වේදිකා නාට්‍යයට රංගනයෙන් දායක නොවුණු අතර එහි නිෂ්පාදනය තුළින් තමයි සම්බන්ධ වුණේ.


වර්තමාන ටෙලි‍නාට්‍ය කලාව ගැන ඔබට තිබෙන්නේ මොන වගේ අදහසක්ද?


‍ටෙලිනාට්‍ය කලාව තුළ යම් කඩාවැටීමක් තිබෙනවා. මේ සඳහා රටේ ආර්ථිකයත් එක පැත්තකින් බලපානවා. ඉස්සර ටෙලිනාට්‍යයකට ආරාධනා කිරීමේදී අධ්‍යක්ෂවරයා, නිෂ්පාදකවරයා, කළමනාකරුවා හා කලා අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් පෞද්ගලික අපව හමුවීමට පැමිණෙනවා. එතැනදී නාට්‍යයේ පිටපත ගැන පැහැදිලි කිරීමක් කරලා තමයි බොහෝම ගෞරවනීය විදිහට අපිට ආරාධනා කරන්නේ. දැන් එහෙම තත්ත්වයක් නැහැ. අපි දර්ශන තලයට ගියාට පසුවයි දැන් පිටපත ලියන්නේ. ඇත්තටම ඒ ක්‍රමය සාර්ථක නැහැ. කලා කෘතියක් නම් පෙර සූදානමක් තිබෙන්න ඕනෑ. එවැනි ආරාධනා පිළිගැනීමට මම සූදානම් නැහැ. තව දෙයක් තමයි ගෙවීම් කිරීම් සම්බන්ධයෙන් තිබෙන ගැටලුව. සාමාන්‍යයෙන් ටෙලිනාට්‍යයක් සඳහා අපිට නියමිත මුදලක් තිබෙනවා. එම මුදලට සාධාරණයක් ඉටුකරන්න ඔවුන් සූදානම් නැතිනම් මම ඒ ආරාධනය ප්‍රතික්ෂේප කරනවා. නමුත් කලාවේ හොඳ නිර්මාණයක් සඳහා සම්බන්ධ වීමේදී එහි මුදල පිළිබඳ තැකීමක් කරන්නේ නැහැ.


එදා සහ අද කලා ක්ෂේත්‍රය ගැන ඔබට මොකද හිතෙන්නේ?


අපේ කාලයේ විශ්වවිද්‍යාලවල විෂයක් ලෙස රංග කලාව තිබුණේ නැහැ. මෑතකදී තමයි මෙම විෂය ආරම්භ කරන්න යෙදුණේ. ඒ පහසුකම් අපට නොතිබුණාට දක්ෂ අධ්‍යක්ෂවරුන් යටතේ ශිල්පය හැදෑරීමෙන් බොහෝ දේ ඉගෙන ගැනීමට අපට පුළුවන් වුණා. මෑතකදී ‍හෝ මේ ක්ෂේත්‍රයට පැමිණි අයකුට කලාව පිළිබඳ මගෙන් උපදෙස් අවශ්‍ය වුවහොත් එය මම කරන්නේ ඉතා කැමැත්තෙන්. අම්බලන්ගොඩ සිට කොළඹ ඇවිත් ම‍ගේ රංගන කටයුතු ආරම්භ කළා. මහාචාර්ය සරත්චන්ද්‍ර මහතාගේ සිට දයානන්ද ගුණවර්ධන මහතා ඇතුළු බොහෝ පිරිසකගේ ඇසුරේ කලාව පිළිබඳ ලැබුණු දැනුම අප්‍රමාණයි. දැන් ඉන්න පිරිස මේ ක්ෂේත්‍රය ගැන ඉගෙන ගෙන පැමිණියත් සමහරුන් මේ පිළිබඳ හරි අවබෝධයකින් නොමැති නිසා ඔවුන් සමඟ වැඩකටයුතු කිරීම හරිම අපහසුයි.


මේ දිනවල ඔබ රංගනයෙන් දායක වන වේදිකා නාට්‍ය ගැනත් කතා කරමුද?


මම මේ දිනවලත් වේදිකා නාට්‍ය සඳහා සම්බන්ධ වෙනවා. බුද්ධික දමයන්තගේ ‘වෙරෝනිකා ආපසු ඇවිත්’ වේදිකා නාට්‍යය ඉන්දියානු භාරත් රංග මහෝත්සව නාට්‍යය උළෙලට තෝරාගෙන තිබෙනවා. එයට සහභාගිවීමට පෙබරවාරි 04 වැනිදා ඉන්දියාව බලා පිටත්වීමට සූදානමින් සිටිනවා.


2014 වස‍රේදී තමයි මම මුලින්ම ඉන්දියාව බලා පිටත් වුණේ. ඉන්දියානු රජය එරට වේදිකා නාට්‍යය සඳහා විශාල වියදමක් දරනවා. ඉදිරියේදී අපේ වේදිකා නාට්‍යය සඳහාත් ආණ්ඩු‍වෙන් වැඩි අවධානයක් යොමු කරලා ඉන්දියාව වගේ තත්ත්වයකට අපේ නාට්‍ය කලාවත් රැගෙන එන්න හැකිවේවි කියලා මම විශ්වාස කරනවා.


මෙතෙක් ඔබ මේ ක්ෂේත්‍රය තුළ ලැබූ අත්දැකීම් සහ ඔබේ ගමන ගැනත් කතා කරමු?


මට දැන් වයස අවුරුදු 78ක්. තරුණ පිරිසත් මාව ඇසුරු කරන්නේ යාළුවන් වගේ. ගොඩක් දෙනෙක් මාත් එක්ක කාලය ගතකිරීමට හරි කැමැතියි. මෙතෙක් පැමිණි මගේ ජීවිත කතාව මේ වන විට මම ලියමින් ඉන්නවා. ඉතින් නුදුරු අනාගතයේදී මගේ ජීවිත කතාව ඇතුළත් පොතක් එළිදැක්වීමට හැකිවේවි. ඉතින් මෙතෙක් පැමිණි කලා ජීවිතය ගැන මම හරිම තෘප්තිමත්.


ඔබට සක්‍රීය දේශපාලන ජීවිතයකුත් තිබුණා නේද?


මම දේශපාලනය ආරම්භ කරන්නේ  ජනතා විමුක්ති පෙරමුණ තුළින්. 1970 සුභසීල කොඩිකාර සහෝදරයා හරහා තමයි මට ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වීමට හැකිවුණේ. පක්ෂය වෙනුවෙන් මට ගීතයක් නිර්මාණය කරන්න සිදු වුණා. අදටත් ඒ ගීතය පක්ෂයේ තිබෙනවා. මට හරිම ආඩම්බරයි මේ පක්ෂය සමඟ සිටීම ගැන.


කලා ක්ෂේත්‍රය තුළ ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ කලා මණ්ඩලයේ ආරාධනාවක් මත එහි අනුකමිටුවක් භාරගැනීමට සූදානමින් සිටිනවා. ගම්බද පිරිසගේ කලා හැකියාවන් දියුණු කිරීමට නගරයට සීමා නොවී කලාව ගමට ගෙනියන වැඩසටහනක් දැනට යෝජනා වී තිබෙනවා. ඒ ‍වගේම ගම්බද පිරිසකට සිනමා රසය විඳීමට නගරයට එන්න වෙන නිසා අර්ධ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව සිනමා රඟහල් කිහිපයක් තැනීමටත් යෝජනා වී තිබෙනවා. ඒ වගේම පාසල් අධ්‍යාපනයේ යෙදෙන දරුවන්ට හස්ත කර්මාන්තය පිළිබඳ දැනුවත් කිරීමත් විශේෂයෙන් ලී කැටයම්, සාම්ප්‍රදායික වෙස්මුහුණු කලාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් අදහසක් තිබෙනවා. ඉදිරියේදී  අධ්‍යාපනය තුළින් වෙනසක් ඇති වීමයි ඇත්තටම වැදගත්.



Previous Post Next Post